Print this Article


දැන යායුතු මඟ

දැන යායුතු මඟ

දරුවෙක් බිහි කිරීමට සිටින මව සහ ගැබ තුළ සිටින දරුවා අතර ඇත්තේ කිව නොහැකි තරමේ අන්‍යොන්‍ය සහ සම්බන්ධතාවයකි. මේ ලෝකයේ ඇති උතුම්ම පදවිය මව් පදවියයි. ඒ දරුවකු මේ ලෝකයට බිහි කරන්නට අම්මා කෙනකු විඳින අප්‍රමාණ දුක් ගැහැට පාදක කරගෙන ය.

මෙලොව එළිය දකින දරු පැටවා රෝග සහිත, අංගවිකල දරුවකු බවට පත්වීම කිසිදු මව්පියවරුන් සිහිනෙකින්වත් අපේක්ෂා නොකරන්නකි. කුමන හෝ කර්මයක් පාදක කරගෙන එවැන්නක් සිදු වුවහොත් මව්පියන් විසින් සිදු නොකරන්නක් ද නැත. තම සියලු වස්තු දේපළ විකුණා හෝ තම දරුවා වෙනුවෙන් කළ යුතු යුතුකම ඉටුකරන්නට ඔවුහු පෙළඹෙති. එමෙන් ම තම දරුවා අකීකරු, නොහික්මුණු ගති පැවතුම් ඇති, අශීලාචාර සමාජ විරෝධී පුද්ගලයකු බවට පත් වුවහොත් ද පෙර කී පරිදි ම අනේකවිධ දුක් විඳිමින් කටයුතු කරති. විවිධ වූ පිළිසරණ අපේක්ෂා කරති. දරුවා බිහි වූවාට පසු සිදුවන යම් යම් අපහසුතා මුල්කරගනිමින් මෙලෙස කටයුතු කරනවා වෙනුවට දරුවා මව්කුසට පැමිණෙන්නටත් පෙරම මව්පියන්ගේ මනා වූ සූදානම මෙන් ම අවබෝධය තිබේ නම් තම සිතැඟි පරිදිම ලොවම එළිය කරන පිනැති දරුවෙක් මෙලොවට බිහි කළ හැකි ය.

දරුවෙක් වෙනුවෙන් තම කැමැත්ත, ප්‍රාර්ථනාව තිබීම, මව්කුස පිරිසුදු කර ගැනීම. මව මෙන්ම පියාද කායික ව, වාචසික ව, මානසික ව යහපත් වීම. යන කරුණු කාරණා පිළිබඳව විශේෂ සැලකිල්ලක් සහ අවධානයක් යෙදිය යුතු ය.

බෞද්ධ ඉතිහාසය තුළ දී ද දරුවකු ලැබීමට මත්තෙන් මවගේ සහ පියාගේ පෙර සූදානම පිළිබඳ ව විවිධ තොරතුරු දත හැකි ය. ඒ අනුව, මහාමායා දේවිය බෝසත් කුමරු ඉපදීමට පෙර ඇසළ පොහොය දිනයක දී පෙහෙවස් සමාදන් වී සිල්වත් වීම. බෝසත් මව්පියන් තම පින්වත් දරුවා ලැබීමට මත්තෙන් බොහෝ කාලයක් මානසික වශයෙන් පිවිතුරු වීම. සුජාතා සිටු දියණිය දරුවකු අපේක්ෂාවෙන් කිරිපලු වෘක්ෂයට බොහෝ කාලයක් පුද පූජා පැවැත්වීම. චක්ඛුපාල තෙරුන්ගේ පියා පාලිත වෘක්ෂයට පුද පූජා පවත්වා තම බිරිඳ ගර්භණී වූ පසු ගැබ් පෙළහර දැක්වීම. ආදිය අවස්ථා කිහිපයක් පමණකි.

ඈත අතීතයේ සිටම දරුවකු ලැබීමට මත්තෙන් මවගේ සහ පියාගේ පේ වීම හෙවත් යහපත් මානසික පිරිසුදු භාවය තබා ගැනීම මේ කරුණු තුළින් ද දැකගත හැකි ය.

“පුත්තා වත්ථු මනුස්සානං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මනුෂ්‍ය වර්ගයාට ඇති වටිනාම වස්තුව දරුවන් ලෙස ය. දරුවන්ගේ වටිනාකම බෙහෙවින් ම දැනෙන්නේ දරුවන් බලාපොරොත්තුවෙන් බොහෝ කාලයක් පෙරුම් පුරනා මව්පියන්ට ය. තම දරුවන් වෙනුවෙන් මව්පියන් සිදු නොකරන්නක් නැති තරම් ය. එවැනි කැප කිරීම් සිදු කරන්නේ ම තම දරුවන්ට ඇති අපමණ ආදරය නිසාවෙන් ම ය.

අතීතයේ ගැබිනි මාතාවන් ව සිටින අම්මාවරු විසින් පංච සීලය පවා දෙපාරක් සමාදන් වී ඇති බවට තොරතුරු දැකිය හැකි ය. එනම් එක වාරයක් තමාටත්, අනෙක් වාරය තම කුසෙහි සිටින දරුවාටත් ය. ඒ තරමට ම බිහිකරන දරුවා පිළිබඳව මනා වූ අවබෝධයක් එකල අම්මාවරුන්ට තිබී ඇත. බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි සමයේ සිටම අංගුලිමාල සූත්‍රයෙන් පිරිත් දේශනා කරවා ගැනීම ද අද දක්වාම සිදුවන උතුම් වූ පින්කමකි.

ඒ නිසා දරුවන් මෙලොවට බිහි කරන්නට පෙර මව්පියන් විසින් තම යහපත් මානසික තත්ත්වය මනා අයුරින් ගොඩ නඟා ගනිමින් පිනට දහමට මෙන්ම තම ගුණ දහම් වර්ධනයෙහිලා නිරන්තරයෙන් වෙහෙසිය යුතු ය.

එලෙස කටයුතු කිරීම තුළින් තමන් බලාපොරොත්තු වෙන ලෙසම ජව සම්පන්න, ශක්ති සම්පන්න, මව්පිය ගුණ හඳුනන, නැණයෙන්, ගුණයෙන් හෙබි වටිනා දරු සම්පතක් ඒකාන්තයෙන් ම බිහි කළ හැකි වේ. එමෙන්ම නිදහස් සිතිවිලි ගොඩනඟා ගැනීම තුළින් ප්‍රබුද්ධ මිනිසකු සැකසීමේ හැකියාව ද ඇත. “මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා” යන සතර බ්‍රහ්ම විහරණ බුදුන් වහන්සේ විසින් දේශනා කොට, මහා බ්‍රහ්මයාට මව්පියන් උපමා කරමින්, මව්පියන් සතුව ද එකී ගුණ ඇති බව දේශනා කළ සේක. තම දරුවන් කෙරෙහි එපමණට ම දයාවකින්, කරුණාවකින් කටයුතු කරන්නෝ නම් ඒ මව්පියන්ම ය.

දරුවන්ගේ මුල්ම ගුරුවරු වන්නේ මව්පියන් ය. එනිසා ම ඔවුහු, “පුබ්බාචරිය” යන ගෞරව නාමයෙන් හැඳින්වෙති. එමෙන් ම දරුවන්ට නිවසේ දී මුණ ගැසෙන මුල්ම දෙවිවරු මව්පියෝ ය. එනිසාම ඔවුහු “පුබ්බදේව“ යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙති. මෙම ගෞරව නාමයන්හි අගය මෙන්ම වටිනාකම තේරුම් ගෙන ඒවාට කැළලක් නොවන පරිද්දෙන් දරුවන් උදෙසා කටයුතු කිරීම, ඔවුන් රැක බලා ගැනීම දරුවන් හදන වඩන සෑම මව්පියන්ගේ ම පරම යුතුකමකි.