[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආර්ය ශ්‍රාවක ප්‍රතිපදා ලිපි මාලාව 15: අනුත්තර පුරිසදම්මසාරථී බුදුගුණ භාවනාව

ආර්ය ශ්‍රාවක ප්‍රතිපදා ලිපි මාලාව 15:

අනුත්තර පුරිසදම්මසාරථී බුදුගුණ භාවනාව

ලෝකවිදූ බුදුගුණය භාවනා කරල සිතට වශී වුණාට පසුව අනුත්තර පුරිසදම්මසාරථී බුදුගුණය වඩන්න පටන් ගන්න. හයවන බුදුගුණය අනුත්තර පුරිසදම්මසාරථී බුදුගුණය යි. මෙහි අනුත්තර යනු අන් අයට සමාන නොවේ, අන් සියල්ලන්ට වඩා උතුම් ය යන තේරුම යි.

බුදුරජාණන් වහන්සේ හා සමාන වෙනත් අයෙක් මේ තුන් ලෝකයේම නැති නිසා අනුත්තර යනුවෙන් උන්වහන්සේ හඳුන්වා තිබෙනවා. බුදුගුණඅලංකාරය නම් කවි පොත එය හ‍ඳුන්වා ඇත්තේ මෙසේයි.

හැම ගුණයෙන් නදා
සම වැඩි සතෙකු හැමදා
දියතෙහි නැති සදා
අනුත්තර යයි කියති මුනිදා

නොදැමුණු භයානක යක්ෂ, මනුෂ්‍ය, තිරිසන් ආදී ඕනෑම සත්වයෙක් දමනය කිරීමට බුදුරජාණන් වහන්සේට හැකියාව තියෙනවා. ඒ හැකියාවටයි පුරිසදම්මසාරථී කියන්නේ. බුදුගුණාලංකාරය ඒ බව දක්වන්නේ මෙසේයි.

බඹ සුර යකුන් තද
දමනය කළ තමන් ලද
සෙත් දී මුනිදු සඳ
පුරිසදම් සාරථී නම් ලද

භාවනා කමටහන වඩන්න කලින් මේ ගාථාව කඩපාඩම් කර ගන්න.

අනෙකෙහි ගුණොඝොහි
සබ්බසත්තුත්තමො අහූ
අනෙකෙහි උපායෙහි
නරදම්මෙ දමෙසි ච

භාවනා කරන්න සූදානම් වෙලා පූර්වකෘත්‍ය අවසන් වුණාට පසුව මේ ගාථාව කිහිප වරක් ශබ්ද නඟල කියවන්න. ගාථාවේ තේරුම දැනගෙන තේරුමත් සිතමින් කියනව නම් වඩාත් හොඳයි. ගාථාවේ තේරුම මෙසේයි.

“ඒ භාග්‍යවතුන් වහන්සේ සීලාදී අනේක ගුණෝඝයන් හේතු කොටගෙන සියලු සත්වයන්ට උත්තම වූ සේක. නොයෙක් නොයෙක්, උපායන්ගෙන් දමනය කළ යුතු පුද්ගලයන් දමනය කළ සේක.

අනුත්තර පුරිසදම්මසාරථී බුදුගුණය වැඩීම සදහා කෙටි කමටහනක් පළමුවෙන් දක්වන්නම්.

‘මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ, සියලු සත්වයන් කෙරෙන් උතුම් වූ සේක. බඹ සුර යකුන් හැම දමනය කළ සේක. මේ කාරණා නිසා මාගේ බුදුරජාණන් වහන්සේ පුරිසදම්මසාරථී නම් වන සේක. මේ කමටහන දින කිහිපයක් වඩන්න. ඊටපසුව පහත සදහන් මෙම කමටහන් වඩන්න.

1. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ගුණයන්ගෙන් තමන් වහන්සේට වඩා විශිෂ්ට වූ වෙනත් කිසිවෙකු නැති හෙයින් අනුත්තර වන සේක.

2. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා විමුක්ති විමුක්තිඥාන දර්ශනාදී ගුණයන්ගෙන් සියලු සත්වයන් මැඬගෙන පවතින හෙයින් අනුත්තර නම් වන සේක.

3. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දමනය කළ යුතු අය දමනය කරන උපායෙන් උත්තරීතර වන හෙයින් අනුත්තර නම් වන සේක.

4. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අපලාල, චූලෝදර, මහෝදර, අග්ගිසික, ධූමසික,අරවාල යන නාග රාජයන්ය, ධනපාල හස්ති රාජයාය යන තිරිසන් සත්වයන් දමනය කළ හෙයින් පුරිසදම්මසාරථී නම් වන සේක.

5. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සච්චක, නිගණ්ඨපුත්ත, අම්බට්ඨ, පොක්ඛරසාති, සෝණදණ්ඩ, කූටදන්ත බ්‍රාහ්මණවරුන් ද, අංගුලිමාල ආදී මනුෂ්‍යයන් දමනය කළ හෙයින් පුරිසදම්මසාරථී නම් වන සේක.

6. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ආලවක, සුචිරෝම, ඛරරෝම ආදී යක්ෂයන් දමනය කළ හෙයින් පුරිසදම්මසාරථී නම් වන සේක.

7. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ, මිනිස් තිරිසන් යක්ෂ ආදී හැමදෙන ම අදණ්ඩයෙන්, අශස්ත්‍රයෙන්, අනගදයෙන් දමනය කළ හෙයින් පුරිසදම්මසාරථී නම් වන සේක.

8.මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දයාවෙන්, කරුණාවෙන්, මෛති‍්‍රයෙන් ම සියලුදෙනා දමනය කළ හෙයින් පුරිසදම්මසාරථී නම් වන සේක.

මෙම කමටහන් දිගින් දිගට වඩන්න. එවිට ඉතා ඉක්මනින් අනුත්තර පුරිසදම්මසාරථී බුදුගුණය සිතට වශී වේවි.

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]