[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ජල සම්පත රැක ගනිමු

ජලය යනු අපට අවශ්‍ය සම්පතකි. ජලය මිනිසාගේ ජීවය යි. ජීවයේ යහ පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයෙකි. ගංගා, ඇළ, දොළ, උල්පත් ආදියෙන් අපට ජලය ලබා ගත හැකි ය. එමෙන් ම වර්ෂාව මඟින් ද අපට ජලය ලබාගත හැකි ය. මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ වටිනා සම්පත දූෂණය වීමේ තත්ත්වයට පත් වී තිබේ. කර්මාන්ත ශාලාවලින් ජලයට අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ජලය දූෂණය වීමේ වේගය වැඩි වී ඇත. එම ජලය පරෙස්සමෙන් භාවිත කළ යුතු ය. ජල කරාමය ප්‍රයෝජනයට ගැනීමෙන් පසු කරාමය වැසීම, ජලයට කැළි කසළ නොදැමීමෙන් ද ජල සම්පත රැකගත හැකි ය.

****

තාත්තාගේ ආශිර්වාදය

පුරුදු පාරෙම අදත් යනවා යන්නෙ පුතුගේ කර පිටින්
බරක් වන්නට සිතුවෙ නෑ මම පුතේ නුඹ හට මේ සිතින්
දැනුන මුත් ලොකු දුකක් මා හට මක් කරන්න ද මා ඉතින්
බරයි නම් මම බිමින් තියපන් තරහවෙන්නෑ මා දුකින්

වෙහෙස වී මඟ තනාලා පාර පෙන්නුවානේ පුතේ
දුකක් විඳ හෝ ඉගෙන ගත්තොත් ජයම නුඹටයි මගෙ පුතේ
දුකක් හිතුනම සනසවන්නට මා නැතත් දිවියේ පුතේ
වෙහෙසවීලා නුඹ ව රකිනා මෑණියන් රැකපන් පුතේ

උරුම නොවුණත් අරුම ජීවිත ඇයට මේ සංසාර ගමනේ
කරුම ගෙවමින් එකට සිටිමින් ජීවිතය වින්දාය එකසේ
කරපු පවකට සියල්ලට පෙර වෙන්ව ගිය මුත් ජීවිතේ
පතමි ආසිරි පුතුණි නුඹ හට චිරාත්කල් නුඹ ලොව දිනේ

****

මගේ පාසල

මගේ පාසල මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය යි. එය දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ රස්සන්දෙණිය ප්‍රදේශයේ පිහිටා ඇත. එහි සිසුන් තුන් දහසකට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබයි. මගේ පාසලේ ගුරුභවතුන් එකසිය විස්සක් පමණ වේ. ඔවුහු අපට නිවැරැදිව, පිළිවෙළට ඉගැන්වීම් කටයුතු සිදු කරති. මම එහි 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමි. මගේ පාසල පුස්තකාලයක්, විද්‍යාගාරයක්, ගෘහ විද්‍යාගාරයක්, පරිගණක විද්‍යාගාරයකින් සමන්විත ය. මගේ පාසල වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකරනු ලැබ ඇත. මගේ පාසල තවත් සුන්දර වේවායි කියා මම ප්‍රාර්ථනා කරමි.

****

ශ්‍රී ලංකාව

ඉන්දීය සාගරයේ මුතු ඇටය යනුවෙන් විරුදාවලිය ලබන්නේ මා උපන් රටයි. මගේ රටේ පවතින්නේ මිශ්‍ර ආර්ථිකයකි. ආනයන, අපනයන ද සිදු කෙරේ. එනම්, අප රටට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීම ද, අප රටේ අතිරික්ත නිෂ්පාදන පිට රටවලට අපනයනය ද සිදු කෙරෙයි. ඒ අනුව රටේ ආර්ථිකය ඉහළ නංවන තේ, පොල්, රබර් ප්‍රධාන අපනයන බෝග ලෙස හැඳින්විය හැකි ය.

මගේ රටෙහි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යනාදී විවිධ ජාතීන් සහජීවනයෙන් ජීවත් වෙයි. එමෙන් ම විදේශික සංචාරකයන්ගේ පාරාදීසයකි. අප රටේ ඓතිහාසික නටබුන්වලින් සමලංකෘත අනුරාධපුර, පොළොන්නරුව, සීගිරි, දඹුලු යන පුරාවිද්‍යාත්මක ස්ථානවල ඇති බුදු පිළිම වහන්සේ ඇතුළු විවිධ කලා නිර්මාණ අපේ ප්‍රෞඪ ඉතිහාසය මැනවින් විදහාපායි. ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටකි. දේශගුණික වශයෙන් විවිධ ප්‍රදේශයන්හි මනස්කාන්ත පරිසරයක් මවයි.

****

සිනා මල්

මල් කැකුළු වාගෙයි
මේ පුංචි දරු පැටව්
විකසිත ව සුවඳ දෙන
හැටි අගේ.....
මතු දිනෙක මගේ රට
බබළන්න, දිනවන්න
ගුණ දහමින් පිරුණු
දරු කැලක් බිහිවන්න
සිනා මල් පොකුරු
පුබුදන්න....
නඟේ මලේ එන්න
දහම් පාසල වෙත යන්න.....

****

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

ශ්‍රී මහා බෝධීන් වහන්සේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමේ දී සෙවණ දුන් සේක. ඉන්දියාවේ බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වන මෙම බෝධීන් වහන්සේ ක්‍රි.පූ. 3 වන සියවසෙහි ලක්දිවට වැඩම කරනු ලැබුවේ අශෝක අධිරාජ්‍යයාගේ දියණිය වන සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ විසිනි. දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුරය මහමෙවුනා උයනෙහි මෙම ජය ශ්‍රී මහා බෝධිය පිහිටුවන ලදී. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවේ මෙන්ම, ලෝකය පුරා බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍රවන පූජනීය වස්තුවකි. බෞද්ධ ජනතාව අනාදිමත් කාලයක සිට අති පූජනීය බෝධි වහන්සේ වැඳපුදා ගැනීමට දුර බැහැර සිට පැමිණෙති.

බෞද්ධයින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පුද පූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ ජීවිතවලට පින් රැස්වෙන බවත්, ආශිර්වාද ලැබෙන බවත් විශ්වාස කරති. අරමුණු සාර්ථක වන ලෙස ප්‍රාර්ථනා කරමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරියේ විශේෂ පූජා පැවැත්වීමට බෞද්ධයෝ පුරුදු ව සිටිති.

එසේම වසරේ පළමු වී අස්වැන්න ශ්‍රී මහා බෝධියට පූජා කිරීමට අනුරාධපුර ගොවීහු අමතක නොකරති. මෙය “අලුත් සහල් මංගල්‍යය” ලෙස හඳුන්වයි. මෙම බෝධීන් වහන්සේ ගෞරවයෙන් රැක ගැනීම අපගේ පරම යුතුකමක් මෙන්ම වගකීමක් ද වනු ඇත.

****

පුරිසදම්මසාරථි ගුණය

බුදුන් වහන්සේගේ ළඟ තිබූ ගුණ අතරින් විශේෂ ගුණයකි, පුරිසදම්මසාරථී ගුණය, දෙවියන්, මිනිසුන්, යක්ෂයින් හා ප්‍රේතයන් යන පිරිස අතරින් නොහික්මුණු පිරිස හික්මවා ගැනීමේ හැකියාව යි.

අපගේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව මේ පිරිස හික්මවා ඇති බව බුද්ධකාලයේ සිදු වූ ඇතැම් සිදුවීම් ඔස්සේ දැකගත හැකි ය.

අංගුලිමාල නම් දරුණු මනුෂ්‍ය ඝාතකයා තම මෑණියන් මරා ආනන්තරීය පාප කර්මයක් සිදු කර ගැනීමට යන අවස්ථාවේ දී එම ස්ථානයට වැඩම කොට අංගුලිමාල දමනය කොට එම පාපයෙන් බේරා ගත්හ. දෙව්දත් තෙරුන් බුදුන් වහන්සේ විනාශ කරවීම සඳහා රා පොවා එවූ නාලාගිරි නම් දරුණු ඇත්රාජයා දමනය කළහ. එමෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් ආලවක යක්ෂයා දමනය කරනු ලැබූහ.

තමන් වහන්සේ වෙත පැමිණි වෙනත් ආගමිකයන් වන උපාලි ගෘහපති, චංකිය, පොට්ඨපාද ආදී ආගමිකයන් ද දමනය කොට ඔවුන් ද යහමඟට ගැනීමට අපගේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේ කටයුතු කර ඇත. උන්වහන්සේ මෙසේ සියලු සත්ත්වයන් කෙරෙහි කරුණාවෙන් සම මෙත පෑහ.

****

ප්‍රථම විවරණය

මුහුදේ සැඬ සුළඟකට
නැව මුහුදු බත් වූ විට
අම්මා සහ පුතු ට
කිසිවෙක් නොවී සහයට

පුතු බලයි වටපිට
අම්ම හසුව ඇත රළ පහරට
පීනා ගත නොහැක ඇයහට
යන්නට නොහැකි විය එතෙරට

ආදර මෑණියන් තම කර පිටට ගෙන
හැකි වෙර යොදා පිහිනුවා මහ මුහුද මැද
මගේ පුතු බුදු වේවා කී කලට
උතුම් විවරණය ලැබුණා ඒ පුතු ට

****

දහම් පාසල් යමු

අපි උදෙන්ම නැඟිටිමු.
මුහුණ සෝදා පිරිසුදු වෙමු
සුදු ඇඳගෙන මල් අරගෙන
දහම් පාසල් යමු.

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]