[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය

විවරණයේ අසිරිය

මව්තුමියත් පුතුත් රැකුණේ වෙළෙඳාමෙන්
නැව් නැඟ ගියේ පුරවා බඩු මහ සයුරෙන්
කුණාටුවට හසුවිය නොසිතූ විලසින්
ජීවිත බේරුණේ පෙර කළ පින් බලයෙන්

පුතුනේ මාව අතහැර බේරී යන්න
මව ආයාචනා කළා පුතුහට බේරෙන්න
මව පිට තබා ගොඩබිමකට යන්න
පුතු අදිටන් කළා සයුරේ පීනන්න

සත් දිනක් මෙලෙස සයුරේ පිහිනාලා
මවගේ දිවිය මරුවාගෙන් ගලවාලා
හදවත තුළින් ඒ තුටු කඳුළැලි ගලලා
විවරණ දුන්නෙ පුතුහට බුදුබව පතලා

මවගේ විවරණය පුතු සිත තුළ රැඳුණා
භවයන් පුරා පින් සිත් ගඟුලෙහි ගිළුණා
ගත් අදිටනය වෙනුවෙන් සත වෙත කරුණා
තුන් ලෝකයටම සම්බුදු පුතෙක් වුණා

******

ඉල් පුන් පොහොය දා අසිරිය

මෛත්‍රෙය මහ බෝසත් විවරණ ලැබ සතුටු වීම
ප්‍රථම ධර්ම දූත පිරිස සඟ සැට නම පෙළ ගැසීම
ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භය කිරීම
අගසව් සැරියුත් මා හිමියන්ගේ පිරිනිවන් පෑම

උරුවෙල් සහ නදී ගයා වෙත මෙත් සිත පහළ වීම
ඒ අය දමනය කරන්න සම්බුදු හිමි වැඩම වීම
පසුවස් පවාරණය පිණිස ඇති අන්තිම දිනය වීම
ඉතිහාසෙට එකතු වුණේ ඉල් පෝ දිනකදිය කදිම

******

අගයක හැටි

ඇසට නොපෙනෙන
කුඩා වෛරසයකට
රජවරු සිටුවරු
බිම හෙළිය හැකි
මමකම මගේකම
පිච්චියක්වත්
අගේ නැති හැටි

******

කිරම විමලජෝති නා සමිඳුනි

පහන් සිතක කවි පිටුව පිරෙන්නයි
පහන් හැඟුම් සිත් තුළ පිබිදෙන්නයි
යෙහෙන් සැවොම කවි රසය ලබන්නයි
රසින් රසය දම් රසය විඳින්නයි

ජයගත් පැදියට අගය ලැබෙන්නයි
දහම් පොතින් තුටු පඬුරක් වන්නයි
විමල ජෝති හිමි නම සුදිලෙන්නයි
මෙ පිනෙන් හිමි සඳ නිවන් දකින්නයි

******

පොහොයක වග

පළමු රහත් හැට නම දම් දෙසන ලෙසින්
ධර්ම දූත සේවාවේ නිරත වෙමින්
තුන් බෑ ජටිල පිරිස ද සම්බුදු දහමින්
සරණ ලැබුම ඇරඹුවෙ ඉල් පුර පෝයෙන්

වසරකට වරක් පමණක් සිදු කෙරෙන
කඨින චීවර පින්කම නිමාවෙන
අවසන් දිනය ඉල්මහ පෝයට යෙදෙන
කඨිනය පුදා බුදු බණ අසමු සැවොම

******

වස්සානය

ලා තණ පොඩි සතුන් වැසි කල පා පහසින්
වනසන බවට ඇතමුන් කළ වදන් තුළින්
මහ සඟරුවන මුදවන්නට බුදු සමිඳු විසින්
වදාළා එකතැනම රැඳෙනා ලෙස සිත සතියෙන්

අටවන කුසල් අතරින් ඇති පළමු පින
කඨින චීවරය පිදුමයි වසරකට එන
නානා උතුම් පින්කම් වස්සානෙ වන
පෙන්වයි ගිහි පැවිදි සමඟිය සෑම දින

******

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]