[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 25 කොටස: නාගදීපයට ගෙන ගිය ත්‍රිරෝද රියටත් බද්දක් නියම කළේ සිංහල සේවකයෙක්

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 25 කොටස:

නාගදීපයට ගෙන ගිය ත්‍රිරෝද රියටත් බද්දක් නියම කළේ සිංහල සේවකයෙක්

ඕමන්ත මුරපොළේදි අවස්ථා කිහිපයක දී කොටි සංවිධානයේ සාමාජිකයන්ගේ බදු ගැහිල්ලට විරෝධය පෑ පදුමකිත්ති හිමියන් සමඟ හොඳ හිතක් කොටි සංවිධානයේ නොවී ය.

එසේ වුවත් දිනක් උන් වහන්සේ කාර්යාලයට කැඳවාගෙන ගොස් සුහද ව කතා කර ඔවුන් පැවසුවේ නාගදීප විහාරස්ථානයට යන එන හමුදා නිලධාරීන්ගේ විස්තර ලබා දෙන ලෙසයි. පදුමකිත්ති හිමියන් ද කොටි සංවිධානයේ තතු හොඳීන් දන්නා නිසා එයින් බේරෙන්නට එම විස්තර ලබා ගැනීම අපහසු බව පැවසූහ. මුරපොළේ නායකයා තම උත්සාහය අත්හැරියේ නැත.

‘‘සාධු උත්සාහ කළොත් බැරි වෙන එකක් නැහැ‘‘ මුරපොළේ නායකයා පැවසුවේ ය.

‘‘බලමුකො...‘‘ පදුමකිත්ති හිමියන් නැඟී සිටියේ එතැන සිටියහොත් කතාවෙන් අමාරුවේ වැටෙන්නට ඉඩ ඇති නිසා ය.

යාපනයට එන තෙක්ම පදුමකිත්ති හිමියන් කල්පනා කෙළේ එම පින්තූර ත්‍රස්තවාදීන් අතට පත්වූයේ කෙසේද යන්න ය. මෙය අනාගතයේ රටටම විශාල තර්ජනයක් විය හැකි බව පදුමකිත්ති හිමියන්ට තේරුම් ගියේ ය. උන් වහන්සේ ඒ බව නා හිමියන්ටද පැවසූහ. නා හිමියන් පැවසුවේ කතාව රහසක් ලෙස තබාගෙන යුද හමුදාවේ හා නාවික හමුදාවේ ඉහළම නිලධාරීන්ට පමණක් දන්වන ලෙසයි.

‘‘ඔය කතාව හමුදාවට කිව්ව කියල උන් දැනගත්තොත් කරදර වෙන්න පුළුවනි. ඒක නිසා හමුදාවෙ ලොකු මහත්වරුන්ට දැනුම් දුන්නහම ඒකට රහසිගත ව අවශ්‍ය දේ කරයි‘‘

එහෙත් පදුමකිත්ති හිමියන් එයින් නැවතුණේ නැත. උන් වහන්සේ යාපනයේ තමන් දන්නා අඳුනන දෙමළ වැසියකුගේ ඡායාරූප ශාලාවක් වෙත ගියහ. සිද්ධිය රහසේ ම විස්තර කළහ.

‘‘අපේ හාමුදුරුවනේ මම කිව්ව කියල කාටවත් දැනගන්න නම් ඉඩ තියන්න එපා, ඔය ත්‍රස්තවාදීන් උතුරේ තියෙන හැම ස්ටුඩියෝ එකකටම කියල තියෙනව ෆොටෝ ප්‍රින්ට් කරන්න දෙන ආරක්ෂක අංශවල අයගේ විස්තර ලියා ගන්න කියල. ඒ වගේම තරු ලකුණු තියෙන ආමි එකේ අයයි නේවි එකේ පොලිසියේ ලොකු මහත්තුරුන්ගෙයි ෆොටෝවලින් හැම එකකින්ම කොපියක් එයාලට දෙන්න කියල. එහෙම නොදුන්නොත් හරි, මේ කතාව කාටහරි කිව්වොත් ඉතින් දඩුවම ලයිට් කණුවක තියල වෙඩි තියන එක තමයි‘‘ එයින් පදුමකිත්ති හිමියන්ට රහස හෙළි කර ගන්නට හැකිවිය. උන් වහන්සේ ඒ පිළිබඳ ව යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයාටත්, ප්‍රදේශය භාර නාවික හමුදා ආඥාපතිවරයාටත් පෞද්ගලික ව දැනුම් දුන්හ.

පදුමකිත්ති හිමියන් ගැන කොටි සංවිධානය ඉතා හොඳීන් දැන සිටියේ ය. උන් වහන්සේගෙන් තමන්ගේ කිසිදු කටයුත්තකට උදව්වක් ලබා ගන්නට නොහැකි බව ඇතැම් විට ත්‍රස්තවාදීන්ට සිතෙන්නට ඇත. එම නිසා ඒ කතාව එතැනින් යටපත් විය. කොටි ත්‍රස්තවාදීන් යළිත් පදුමකිත්ති හිමියන්ගෙන් ඒ ගැන විමසුවේ නැත.

නාගදීප විහාරයට ඒ වන විට තිබුණු එකම වාහනය පාපැදියක් පමණි. දූපතේ එහා මෙහා යන්නට නාහිමියන් මෙන්ම පදුමකිත්ති හිමියන්ට ද එහි අසුන් ගෙන වඩින්නට සිදු විය. මෙය පදුමකිත්ති හිමියන්ට හිසරදයක් වූයේ නා හිමියන් බයිසිකලයේ අසුන්ගෙන යන අපහසුතාවය දැකීම නිසා ය. දූපතේ කොතැනට ගොස් ආපසු වැඩම කළ ද නා හිමියන් කොන්ද අතගානු දැකීම පදුමකිත්ති හිමියන්ට දැඩි වේදනා ගෙන දුන් දසුනක් විය.

ඒ වන විට නාගදීපයට පැමිණෙන බැතිමතුන් විසින් ලබා දී තිබූ මුදල් සියල්ල පදුමකිත්ති හිමියන් විසින් එකතු කර ගෙන තබා ගන්නා ලදී. දඟකාර වයසේ දී මෙන් නොව උන් වහන්සේ ඒ වන විට වගකීම් වැඩි වශයෙන් දරන්නට කටයුතු කළා මෙන්ම නාහිමියන් කෙරෙහිද දැඩි සේ ගෞරවයක් ආදරයක් මෙන්ම අනුකම්පාවක් දැක්වූහ. අනුරාධපුරයට වැඩම කළත් එක් දිනකින් ම ආපසු පැමිණෙන්නට උත්සාහ ගත්තේ ද එහෙයිනි. නාගදීප විහාරයෙන් එකතු කරගත් මුදල් රැගෙන අනුරාධපුරයට ගොස් විහාරස්ථානයට ත්‍රිරෝද රථයක් මිලට ගැනීම පදුමකිත්ති හිමියන්ගේ අරමුණ විය.

ඒ අනුව අනුරාධපුරයේ සිටින හිතමිතුරන්ට තම අදහස ඉදිරිපත් කරන්නට පදුමකිත්ති හිමියන් කටයුතු යොදා තිබුණි. ඒ අනුව 1987 වසරේ අග භාගයේ දී අනුරාධපුරයට වැඩම කළ පදුමකිත්ති හිමියන් විසින් අනුරාධපුරයේ දී ත්‍රිරෝද රථයක් මිලට ගන්නා ලදී

එහි සේවා කටයුතු සියල්ල අනුරාධපුරයෙන් ම කරගත් උන් වහන්සේ රියදුරකු ද සමඟ නාගදීපයට වැඩම කරන්නට විය. ඕමන්තේ කොටි සංවිධානයේ මුරපොළේ දී ත්‍රිරෝද රථය පරීක්ෂාවට භාජනය කළ එල්ටීටීඊ සංවිධානයේ අය අතර සිංහල අයෙක් ද විය.

‘‘ආ හාමුදුරුවනේ‘‘ ඔහු පදුමකිත්ති හිමියන් හා සුහදව කතා කෙළේ ය.

පදුමකිත්ති හිමියන් මඳ සිනහවක් පා ත්‍රිරෝද රථයෙන් බසින්නට සූදානම් විය.

‘‘එපා එපා.. සාධු බහින්න එපා‘‘ සිංහල සේවකයා ඉක්මන් විය.

‘සිංහලයෙක්නෙ ඉන්නෙ. අදනම් මේ යකා ඉන්න හින්ද කරදරයක් නැතිව ඉක්මනට යන්න පුළුවන් වෙයි. ‘‘

ත්‍රිරෝද රථය කඩිනමින් පරීක්ෂා කළ සිංහල සේවකයා කොටි සංවිධානයේ තුවක්කුවක් අතැතිව සිටි තැනැත්තා දෙසට හැරුණේ ය.

‘‘මේක අලුත් ත්‍රීවීල් එකක්, මේකට 17,500ක් ටැක්ස් ගහන්න‘ ඔහුගේ මුවින් නිකුත් විය.

පදුමකිත්ති හිමියන්ට කෝපය නිම්හිම් නැති විය. උන් වහන්සේ ත්‍රිරෝද රථයෙන් බිමට වැඩම කළහ.

‘‘යකෝ උඹ සිංහලයෙක් නේද? පන්සලට ගෙනි යන ත්‍රිවීල් එකට නේද තෝ මේ යක්කුන්ට බදු ගහන්න කිව්වෙ‘‘

සිංහල සේවකයා මඳක් පසෙකට විය.

‘‘තොට නින්ද යන්නෙ නැද්ද යකෝ මේකට ටැක්ස් ගහන්න කිව්වෙ නැත්නම්‘‘ ‘‘අනේ සාධු මේක මගේ රස්සාවනේ‘‘

පදුමකිත්ති හිමියන් ඔහුගේ මුහුණ සමීපයට ම ගියේ පහර දීමේ අටියෙන් යැයි සිතූ ත්‍රිරෝද රථයේ රියැදුරා උන් වහන්සේ ළඟට ගියේ ය.

‘‘අපේ හාමුදුරුවනේ නායක හාමුදුරුවෝ බලාගෙන ඉන්නව, අපි ඉක්මනට යං‘‘

‘නායක හාමුදුරුවෝ බලාගෙන ඉන්නවා‘ යන වදන් පෙළ ඇසෙත්ම නාහිමියන් ලබා දුන් අවවාද පදුමකිත්ති හිමියන්ට සිහි ගැන්විණි.

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]