[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුප්පත් පොහොසත් ඇයි මේ වෙනසක්

දුප්පත් පොහොසත් ඇයි මේ වෙනසක්

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ වැඩ වෙසෙන දිනක දී කොසොල් රජතුමාගේ අගබිසව වූ මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසීමට පැමිණියා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර පැත්තකින් වාඩි වුණා. ඊට පස්සේ මෙහෙම ඇසුවා.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අපේ සමාජයේ ජීවත්වන ඇතැම් ස්ත්‍රීන් අවලස්සන යි. විරූපි යි. දැකීමට පවා අප්‍රසන්න යි. ඒ වගේම ඔවුන් දිළිඳු යි. කිසිදු වත්කමක් නැහැ. අල්පේශාක්‍ය යි. එයට හේතුව කුමක් ද?

ඒ වගේම භාග්‍යවතුන් වහන්ස, තව ස්ත්‍රියක් ඉන්නවා. ඇය අවලස්සන යි. විරූපි යි. දැකීමට අප්‍රසන්න යි. නමුත් ඇය ධනවත්. මහා භෝග තිබෙනවා. එයට හේතුව කුමක් ද?”

“ස්වාමිනි, අනෙක් ස්ත්‍රිය ඉතාමත් රූමත්. දර්ශනීය යි. දුටු දුටුවන්ගේ හිත් පහදිනවා. ලස්සන වර්ණයක් ඇයට තිබෙනවා. නමුත් ඉතා දිළිඳු යි. අල්ප ධන ධාන්‍ය, අල්ප භෝග ඇයට තිබෙන්නේ. අල්පේශාක්‍ය යි. එයට හේතුව කුමක් ද?”

“ස්වාමිනි, අනෙක් කාන්තාව ඉතාමත් රූමත්. දර්ශනීය යි. දුටු දුටුවන් පහදිනවා. උතුම් වූ වර්ණ සෞන්දර්යෙන් යුක්ත ඇය ඉතා ධනවත්. සියලු දෙයින් සම්පූර්ණ යි. මහා බෝග තිබෙනවා. මහේශාක්‍ය යි. එයට හේතුව කුමක් ද?”

භාග්‍යවතුන් වහන්සේ මල්ලිකා බිසවට මෙසේ වදාළා.

“පින්වත් මල්ලිකා, ඇතැම් ස්ත්‍රීන් ක්‍රෝධ සහිත යි. නිතරම කිපුන ස්වභාවයෙන් යුක්ත යි. ගැටෙනවා. කිපෙනවා. තරහා ගන්නවා. දැඩි සිත් ඇති ඇය නිතරම ද්වේශයත්, කෝපයත්, නො සතුට පහළ කරනවා. ඇය ශ්‍රමණයකුට වේවා, බ්‍රාහ්මණයකුට වේවා ආහාරපාන, වස්ත්‍ර, පාවහන්, මල් සුවඳ විලවුන් සයනාසන, ආවාස, ආදිය නො දෙයි. ඊර්ෂ්‍යා කරයි. ද්වේෂ කරයි. පසුකලෙක ඇය මිනිස් ලොවෙන් චුත ව නැවත මිනිස් ලොව ඉපදේ නම්, ඇය අවලස්සන යි. විරූපි යි. දැකීමට අප්‍රසන්න යි. දිළිඳු යි. අල්ප ධන්‍ය, අල්ප භෝග ඇත්තියක්.

මල්ලිකා යම් ස්ත්‍රියක් අවලස්සන වෙයි ද, විරූපී වෙයි ද, දැකීමට අප්‍රසන්න වෙයි ද, දිළිඳු වෙයි ද, අල්ප ධනධාන්‍ය ලැබෙයි ද, අල්ප භෝග ඇත්තියක් වෙයි ද, අල්පේශාක්‍ය වෙයි ද එයට හේතුව මෙයි යි.”

“මල්ලිකා, දෙවැනි ස්ත්‍රීහු මේ ආකාර යි. ඇය ක්‍රෝධ තැනැත්තියක්. නිතරම කිපෙනවා. සුළු දේට පවා ගැටෙනවා. තරහ ගන්නවා. කෝපයත්, ද්වේෂයත්, නො සතුටත් පහළ කරනවා. නමුත් ඇය ශ්‍රමණයකු වේවා, බ්‍රාහ්මණයකු වේවා, ආහාරපාන, වස්ත්‍ර , පාවහන්, මල් සුවඳ විලවුන් ආවාස ආදිය පූජා කරනවා. ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අනුන්ට ලැබෙන ලාභ සත්කාර, ගෞරව, වන්දන පූජා, කෙරෙහි ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ද්වේෂ නො කරයි. ඇය මිනිස් ලොවින් චුතව නැවත මිනිස් ලොව ඉපදේ නම් ඒ ජීවිතයේ ඇය අවලස්සන යි. විරූපි යි. දැකීමට අප්‍රසන්න යි. නමුත් දන් දුන් නිසා මහ ධනය ඇත්තියක්. මහ භෝග ඇත්තියක්. මහේශාක්‍ය ස්ත්‍රියක්.

මල්ලිකා, ඇතැම් ස්ත්‍රීන් අවලස්සන නම්, විරූපීනම්, දැකීමට අප්‍රසන්නනම් ඇය නිතර තරහා ගන්නා තැනැත්තියක්. නමුත් ඇය දන් දෙන නිසා ධනවත්. මහා බෝග තිබෙනවා. මහේශාක්‍යයි එයට හේතුව මෙයයි.”

“පින්වත් මල්ලිකා, මේ ලෝකයේ තවත් ස්ත්‍රී කොටසක් ජීවත් වෙනවා. ඔවුන් ක්‍රෝධ කරන්නේ නැහැ. කිසි දෙයකට කිපෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. තරහ ගන්නෙත් නැහැ. කවුරු කුමන දෙයක් පැවසුව ද ඒ අනුව ඇය කිපෙන්නේ නැහැ. තරහ ගන්නේ නැහැ. කෝපය, ද්වේෂය, නො සතුට බොහෝ සේ පාලනය කරනවා. එහෙත් ඇය ශ්‍රමණයකුට වේවා, බ්‍රාහ්මණයකුට වේවා ආහාරපාන, වස්ත්‍ර, පාවහන්, මල් සුවඳ විලවුන් ආවාස ආදිය නො දෙයි. ඊර්ෂ්‍යාවෙන් යුක්ත යි. අනුන්ගේ ලාභ සත්කාර, ගෞරව වන්දන, පූජා කෙරෙහි ඊර්ෂ්‍යා කරයි. ද්වේෂ කරයි. ඊර්ෂ්‍යාව ජීවිතයේ කොටසක් කර ගනියි.

ඇය මරණින් මතු නැවත මනුස්ස ලෝකයේ ඉපදුනොත් ඉතා රූමත් වෙනවා. දර්ශනීය වෙනවා. දුටු දුටුවන් පහදිනවා. ඉතා වර්ණ සමක් ලැබෙනවා. නමුත් ඇය දන් නො දුන් නිසා දිළිඳු යි. අල්ප ධාන්‍ය ඇත්තියක්. අල්ප භෝග ඇත්තියක්. අල්පේශාක්‍ය තැනැත්තියක්. නමුත් මල්ලිකා, මේ ස්ත්‍රියක් අභිරූපවත්. දර්ශනීය යි. දුටුවන් පහදිනවා. ඉතා සුන්දර සමක් ලැබෙනවා. නමුත් ඇය දන් නො දුන් නිසා දුප්පත්. එයට හේතුව මෙය යි.

“මල්ලිකා අනෙක් ස්ත්‍රී කොටස මේ ආකාර යි. ඔවුන් ක්‍රෝධ කරන්නේ නැහැ. කිපෙන්නෙත් නැහැ. කුමන ආකාරයෙන් දොස් කීව ද කිපෙන්නේ නැහැ. තරහ ගන්නෙත් නැහැ. කෝපයත්, ද්වේෂයත්, නො සතුටත් පහළ කරන්නේ නැහැ. ඒ වගේ ම ඇය නිරන්තරයෙන් ශ්‍රමණයකුට වේවා, බ්‍රාහ්මණයකුට වේවා, ආහාර, මල් සුවඳ විලවුන් , සයනාසන, ආවාස, පහන් ආදීය පූජා කරයි. ඊර්ෂ්‍යාවෙන් තොරයි. අනුන්ගේ ලාභ සත්කාර ගෞරව, වන්දන පූජා කෙරෙහි කිසිදු ඊර්ෂ්‍යාවක් නො කරයි. ඇය මිනිස් ලොවින් චුත වී නැවත මිනිස් ලොව ඉපදුන විට ඉතාමත් රූමත් වෙයි. දර්ශනීය වෙයි. දුටුවන් පහදිනවා. ඉතා ලස්සන සමක් ලැබෙනවා. මහා ධනවත් වෙනවා. භෝග ඇත්තියක් වගේම මහේශාක්‍යත් වෙනවා.

මල්ලිකා, ඒ වගේම යම් ස්ත්‍රියක් අභිරූපවත්, දර්ශනීය මෙන්ම දුටුවන් පහදින ශෝභාවෙන් යුක්ත නම්, සියලු සම්පත් ලබයිනම්, මහා ධනයකට හිමිකම් කියයි නම්, මහා භෝග ඇත්තියක් වෙයිනම් මහේශාක්‍ය නම් එයට හේතුව මෙය යි.”

භග්‍යවතුන් වහන්සේ එසේ වදාළ විට මල්ලිකා දේවිය මෙසේ කියා සිටියා.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම යම් ජීවිතයක ක්‍රෝධ සිත් ඇතිව, බොහෝ සෙයින් නිතර කිපෙන, ගැටුනු සිත් ඇති කාන්තාවක් වෙන්න ඇති. ඒ වගේම භාග්‍යවතුන් වහන්ස, මම ඒ ජීවිතයේ බොහෝ තරහ සිත් ඇති තැනැත්තියක් වෙන්න ඇති. දැඩි සිත් වගේම කෝපයත්, ද්වේෂයත්, නො සතුටටත් නිතර පහළ කළ කාන්තාවක් වෙන්න ඇති. එයට හේතුව මම මේ ජීවිතයේ අවලස්සන යි. විරූපි යි. දැකුමට ප්‍රසන්න නො වන කාන්තාවක්.

එහෙත් භාග්‍යවතුන් වහන්ස, මම පෙර ජීවිතවලදී ශ්‍රමණයකුට වේවා, බ්‍රාහ්මණයකුට වේවා ආහාරපාන, වස්ත්‍ර, පාවහන්, මල් සුවඳ විලවුන්, සයනාසන, ආවාස, පහන් ආදිය පූජා කළ අයෙක් වෙන්න ඇති. ස්වාමිනි, එයට හේතුව මම මේ ජීවිතයේ සියලු සැප සම්පත් ඇතිව, මහ ධනයක් ඇතිව, මහා බෝග ඇතිව යි ජීවත් වෙන්නේ.

ඒ වගේම භාග්‍යවතුන් වහන්ස, පෙර ජීවිතයක මම ඊර්ෂ්‍යාවෙන් තොරව, අනුන්ගේ ලාභ සත්කාර, ගෞරව, වන්දන, පූජා, කෙරෙහි ඊර්ෂ්‍යා නො කළ තැනැත්තියක්. ඊර්ෂ්‍යාව බැඳ නො ගෙන සිටි තැනැත්තියක්. එයට හේතුව මම මේ ජීවිතයේ දී මහේශාක්‍ය වී සිටින නිසා. කොසොල් රජුගේ අගමෙහෙසිය මම යි. මේ රාජ කුලයේ ක්ෂත්‍රීය කාන්තාවෝ, බ්‍රාහ්මණ කාන්තාවෝ, ගෘහපති කාන්තාවෝ සිටනවා. ඔවුන් සැමට වඩා මම ඉසුරුමත්. අධිපතිබවින් කටයුතු කරනවා.”

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම අද පටන් ක්‍රෝධ සිත් නැති, නො කිපෙන, බොහෝ දේ පැවසුව ද නො ගැටෙන , නො කිපෙන, තරහ නො ගන්නා තැනැත්තියක් වෙනවා. කෝපයත්, ද්වේශයත්, නො සතුටත් පහළ කරන්නේ නැහැ. ඒ වගේම ශ්‍රමණයකුට වේවා, බ්‍රහ්මයකුට වේවා, ආහාරපාන, වස්ත්‍ර, පාවහන්, මල් සුවඳ විලවුන් සයනාසන, ආවාස, පහන් ආදිය පූජා කරනවා. ඊර්ෂ්‍යාවෙන් තොරව වාසය කරනවා. අනුන්ගේ ලාභ සත්කාර ගෞරව, වන්දන පූජා කෙරෙහි ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ද්වේෂ කරන්නේත් නැහැ. ඊර්ෂ්‍යාවෙන් මගේ ජීවිතය විනාශ කර ගන්නෙත් නැහැ.”

“ස්වාමිනි, අද පටන් මා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසිකාවක් වශයෙන් පිළිගන්නා සේක්වා!” කියා මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට ඉල්ලා සිටියා.

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]