[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උදාර දිවියක පිය සටහන්: අතිපූජනීය පැවිදි දිවියක උදාරත්වය

මෙවර උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කරන්නේ කොළඹ 6 හැව්ලොක් පෙදෙසේ සාම විහාරය ඇතුළු සිව්මහා විහාරාධිපති සද්ධර්මකීර්තී ශී‍්‍ර ධම්මරතනාභිධාන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති ශාස්ත්‍රපති අතපත්තුකන්දේ ආනන්ද නා හිමිපාණන් වහන්සේ ය.

අතිපූජනීය පැවිදි දිවියක උදාරත්වය

* අපේ හාමුදුරුවනේ, ඉතාමත් කෙළිදෙළෙන් ගත කරන ළමාවියට සීමා බන්ධනයක් ඇතිවන ආකාරයෙන් කුඩා කාලයේ දී ම පුංචි හාමුදුරුවන් වහන්සේ නමක් වශයෙන් ශාසනික ජීවිතයට ඇලුම් කිරීමට හේතු වුණු කරුණු මොනවා ද?

මාතර දිස්ති‍්‍රක්කයේ හක්මන මැතිවරණ කොට්ඨාශයට අයත්වන අතපත්තුකන්ද නම් ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ග්‍රාමයෙහි උප්පත්තිය ලබා, එම ප්‍රදේශයට අයත් අතපත්තුකන්ද කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවා. හක්මන ප්‍රදේශයේ දෙනගම මුණසිංහාරාම විහාරාස්ථානය, හක්මන ඇල්ලේවෙල ශී‍්‍ර අස්වත්ථාරාම පුරාණ විහාරස්ථානය, හක්මන බේරුවෙල ශී‍්‍ර සෞගතාරාම පුරාණ විහාරය යන විහාරස්ථාන තුනක විහාරාධිපති වශයෙන් ශාසනික සේවයක නියැළී සිටි අපවත් වී වදාළ නාරන්දෙණියේ ධම්මරතන හිමිපාණන් වහන්සේ ගේ ගිහි ශිෂ්‍යයකු වූ මාගේ බාප්පා ඉතාම සමීප ව උන්වහන්සේ ඇසුරු කිරීම මගේ ජීවිතය වෙනස් මාවතකට යොමුකරමින්, උතුම් වූ පූජනීය පැවිදි දිවියක් උරුමකර ගැනීමේ පුණ්‍ය ශක්තිය උදා කළා.

එවකට ශාසනික ජීවිතයට ඇතුළත්වීමේ දී පැවැති ස්වභාවය වර්තමානයට වඩා වෙනස් තත්ත්වයක් පැවැති බව ප්‍රකාශ කළ යුතුයි. නිවස තුළ සිට විහාරස්ථානයට කැඳවාගෙන ගිය පසු දින කිහිපයකින් පැවිදි කරන තත්ත්වයක් වර්තමානය තුළ පැවැතියත්, එකල එවැනි ස්වභාවයක් දක්නට ලැබුණේ නැහැ. අධ්‍යාපනය ලබා ගන්නා සේ ම, අවම වශයෙන් මාස තුනක්, මාස හයක් හෝ වසරක්වත් ආරාමික අධ්‍යාපන පුහුණුව ලැබිය යුතුයි.

පැවිදිවීමට පෙර මාස ගණනාවක් ලබන පුහුණුව සාර්ථක සාමණේර ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය පසුබිම සකස්වීම නිසා ම වර්තමානයට වඩා ගැටලු අඩු ස්වභාවයක් පැවතුණ බවත් සිහිපත් කළ යුතුයි. ඒ කාල වකවානුව වර්තමානයට වඩා බොහෝ අඩු පහසුකම් යටතේ කටයුතු කළ යුගයක්. විදුලියවත් නොමැති පසුබිමක කුප්පිලාම්පු, පැට්‍රල් ලාම්පු දල්වාගෙන අවම පහසුකම් යටතේ වුවත්, විහාරස්ථානයේ සියලු කටයුතු සූදානම් කළා වගේම නායක හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් ඉටුකළ යුතු ඇප උපස්ථාන වතාවත් සියල්ල ම ඉතාමත් උනන්දුවෙන් ගෞරවයෙන් සිදුකිරීමට වග බලා ගත්තා.

කුඩා දරුවකු ලෙස විහාරස්ථානයේ ආරාමික පුහුණුව ලබන කාලය තුළ දී හුදකලා බවක් දැනුණත්, පාරම්පරික, සාම්ප්‍රදායික පන්සල් අධ්‍යාපනය පිළිබඳව පරිපූර්ණ අවබෝධයකින් යුක්ත වූ නායක හිමිපාණන් වහන්සේ බොහොම කරුණාවෙන්, මෛතී‍්‍රයෙන් අඩුවක් නොදැනෙන ආකාරයෙන් රැකබලාගත් බවත්, මේ අවස්ථාවේ දී ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ඒ අනුව, අපවත්වී වදාළ නාරන්දෙණියේ ධම්මරතන මා හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන්, පණ්ඩිත කෝණ්ගල පඤ්ඤාතිස්ස නා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1964 වර්ෂයේ අගෝස්තු 04 වැනි දින අතපත්තුකන්දේ ආනන්ද යන උතුම් ශාසනික නාමයෙන් පැවිදි ජීවිතයට ඇතුළත්වීමේ පුණ්‍ය මහිමය උදා වුණා. ඒ වගේ ම හැත්තෑව දශකයේ මුල් භාගයේ දී ගලහිටියේ ධම්මාධාරාභිධාන නා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අධිශිල සංඛ්‍යාත උපසම්පදා . ශීලයට පත් වූ බවත් සිහිපත් කළ යුතුයි.

* ඔබ වහන්සේ අධ්‍යාපනය ලැබූ අවධිය පිළිබඳ ව සඳහන් කරනවා නම්,

කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් පල්ලා‍වෙල කීර්තී ශී‍්‍ර තේජෝවරාරාම රාජමහා විහාරස්ථ ශී‍්‍ර සංඝානන්ද මූලික පිරිවෙන තුළින් මූලික පිරිවෙන් අධ්‍යාපනයත්, මූලගිරි විහාර පාර්ශවයට අයත් මාතර ශී‍්‍ර සුදර්ශී පිරිවෙන් විද්‍යායතනයත් තුළින් ද්විතීක අධ්‍යාපනය, ලබාගෙන බෙල්ලන්විල විහාරස්ථානයෙහි වැඩ සිටිමින් ගංගොඩවිල සුභද්‍රරාරාම පිරිවෙන් විද්‍යායතනය හා පැපිළියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විද්‍යාතනය යන පිරිවෙන් තුළින් උසස් අධ්‍යාපනයත් ලබා ගැනීමට කටයුතු කළා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේ දී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාවත් සම්පූර්ණ කර ගනිමින් අසූව දශකය වන විට පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ පිරිවෙන් ආචාර්යවරයකු වශයෙන් සේවය ආරම්භ කළා. පිරිවෙන් ආචාර්යවරයකු ලෙස සේවය කරන කාලය තුළදී ම පාසල් ගුරු සේවයට සම්බන්ධ වුණා. ඒ වගේම බෙල්ලන්විල විහාරස්ථානයෙහි ශී‍්‍ර බෝධිරාජ දහම් පාසලේ සාමාන්‍ය ගුරුවරයකු වශයෙන් ද, අසූව දශකය වන විට එහි ප්‍රධානාචාර්ය වශයෙන් ද, වසර 25 කට අධික කාලයක් කටයුතු කරමින් විශිෂ්ට දහම් පාසලක් බවට පත්කරනු ලැබුවේ අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක මාහිමිපාණන් වහන්සේගේ අධීක්ෂණය යටතේ බවත් සිහිපත් කළ යුතුයි. අපවත්වී වදාළ ආචාර්ය බෙල්ලන්විල ශී‍්‍ර සෝමරතන හිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි හා වර්තමාන විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි යන විනයගරුක, ගුණගරුක, ධර්මධර, විනයධර භික්ෂූත්වය පිළිබඳව ගෞරවනීයව කටයුතු කරන ආදර්ශසම්පන්න සම්භාවනීය ස්වාමීන්වහන්සේලාගේ පැවිදි ජීවිත තුළ පැවැති ආදර්ශවත්බව තුළින් කුඩා අවධියේ සිට ලැබුණු ආභාසය මගේ පැවිදි ජීවිතයට ආලෝකයක් එක්කරමින් භික්ෂු ජීවිතය ඔපවත් කරගැනීමට අවස්ථාව උදාවුණ බවත් මේ අවස්ථාවේ දී ප්‍රකාශ කළ යුතුයි.

* ඔබ වහන්සේ කොළඹ ප්‍රධාන බෞද්ධ පාසලක සේවය කළ විශිෂ්ට ආචාර්යවරයකු වශයෙන් බුදු දහමේ ආභාසය ලබමින් හැදෙන වැඩෙන ළමයින් පිළිබඳ ව සෑහීමකට පත්විය හැකි ද?

හත්දහසකට අධික ශිෂ්‍ය පිරිසක් සිටින ආනන්ද විද්‍යාලයේ දිනපතාම ආගමික වැඩසටහන් පැවැත්වූවා. එම ශිෂ්‍යයන් බුදු මැඳුරට වන්දනා නොකොට එම ස්ථානයෙන් ගමන් කරන්නේ නැහැ. ගුරුවරයකු මුණගැසුණු සෑම අවස්ථාවක දී ම බොහොම ගෞරවයෙන් ගුරුවරයාට වැදීමට පෙළඹෙන තරමට ඔවුන් තුළ ශික්ෂණයක් පැවතුණා. ගුරුවරු වශයෙන්, භික්ෂූන් වහන්සේලා වශයෙන් අපගේ කාර්යභාරය විය යුත්තේ ධර්මයට අනුකූල වන රටට, ජාතියට ඇල්මක් තිබෙන, සමාජයට ආදරය දක්වන, ගුණගරුක ශිෂ්‍ය පරපුරක් සමාජගත කිරීමයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සිංහල භාෂා ඒකකයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක වශයෙන් සේවය කළා වගේම 1991 වර්ෂයේ සිට වසර 23 ක කාලයක් කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු, ධර්මාචාර්යවරයකු, විනය කටයුතු හා ශිෂ්‍ය විධායක මණ්ඩලය භාර ආචාර්යවරයකු හා එහි සහකාර විදුහල්පතිවරයකු වශයෙන් සේවය කරමින් විශ්‍රාම ගැනීමට කටයුතු කළා.

* නූතන ළමා පරපුර වගේ ම තරුණ පරපුරට අයත්වන ඇතැම් දරුවන් නොමඟට යොමුවීම ප්‍රකට කරුණක්. එම ස්වභාවය වෙනස් කරගැනීමට පාසල් අධ්‍යාපනයෙහි වෙනසක් හෝ සකස් විය යුතු තැන් හෝ තිබෙනවා ද?

මම 2012 වර්ෂයේ දී විශ්‍රාමගත් කාල වකවානුව තුළත්, අපට නොපෙනෙන ආකාරයෙන් මත්ද්‍රව්‍ය හෝ වෙනත් අයහපත් කටයුතු සඳහා ගොදුරු කරගන්නා කි‍්‍රයාදාමයන් සමාජය තුළ පැවතුණා. වර්තමානය වන විට එම තත්ත්වය වඩාත් බරපතළ ලෙස වර්ධනය වෙලා තිබෙනවා. මෙහිදී විහාරස්ථානයන්හි ස්වාමීන් වහන්සේ, විදුහල්පතිවරුන් සෙසු ගුරුවරුන් සමාජය තුළ පවතින කාලීන තත්ත්වය අවබෝධ කරගෙන දරුවන් එම ග්‍රහණයෙන් වළක්වාගනිමින් ධර්මය හා රට පිළිබඳ ව තිබෙන හැඟීම තවදුරටත් වර්ධනය වන ආකාරයේ වැඩ පිළිවෙළකට යා යුතුයි. එය ප්‍රවර්ධනය කළ යුතු කාලය එළඹී ඇති බවත් සිතිය යුතුයි.

* ඔබ වහන්සේගේ ශාසනික සේවය වගේ ම ධර්ම ශාස්තී‍්‍රය සේවය පිළිබඳ ව කෙටියෙන් පැහැදිලි කරනවා නම්,

ග්‍රන්ථ කිහිපයක් මුද්‍රණය කරල තිබෙනවා වගේම, මේ අවස්ථාව වන විට ග්‍රන්ථයක මුද්‍රණය කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ වගේම කුඩා අවධියේ සිටම පුවත්පත්, සඟරා සඳහා විශාල වශයෙන් ලිපි පළකර තිබෙනවා. රටවල් කිහිපයක ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැළුණා වගේ ම විහාර තුනක විහාරධිපති වශයෙන් කටයුතු අධීක්ෂණය කරමින් කොළඹ 6 හැව්ලොක් පෙදෙසේ සාමවිහාරය ගොඩනැඟීමට කටයුතු කරනු ලැබුවා.

ශී‍්‍ර ලංකා ප්‍රජා සංවර්ධන පදනමේ උප සභාපතිවරයා වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළා. ආගමික ශාසනික සේවය අගය කරමින් මල්වතු මහා විහාර පාර්ශ්වය විසින් ශී‍්‍ර ධම්මරතන ප්‍රඥාතිස්සාභිධාන ගෞරව නාමය සහිත ව දක්ෂිණ ලංකාවේ සමතබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයක් පිරිනමා ඇති බවත් සිහිපත් කළ යුතුයි.

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]