[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බමුණු වෙස් ගත් සක් දෙවිඳු සබ්බමිත්ත රජුට මිල කළ අපූරු කළය

කුම්භ ජාතකය:

බමුණු වෙස් ගත් සක් දෙවිඳු සබ්බමිත්ත රජුට මිල කළ අපූරු කළය

එදා කසී රට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය විචාරණ සමයෙහි “සුර” නම් වූ වනවාසී වැද්දෙක් හිමාලය වන පෙදෙසට ගියේ ය.

එහි මහ වන මැද ඇවිදිමින් සිටිය දී පිපාසිත විය. ඒ අතරේ මේ වැද්දා විසින් බිල් තුනකින් යුත් සුවිසල් වෘක්ෂයක් දක්නා ලදී. ඒ බිල් තුන අතරෙහි මහා සැළියක් පමණ වූ වැසි දියෙන් පිරුණු වළක් විය. ඒ ගස් අවට ඇති නෙල්ලි, අරළු, මිරිස් ආදී තුරු ලියෙන් වැටුණු පලතුරු ද ඒ සමීපයෙහි ඇති ස්වයංජාත හැල්ද, වනයෙන් ගිරවුන් විසින් ගෙනා හැල් වී කරලින් වැටුණු කොටස් ද, එම දිය මත වැටී තද හිරු රැසින් පැසී රතුවන් පැහැගෙන තිබුණි.

ගී‍්‍රෂ්ම කාලයෙහි පිසාසිත වූ ගිරා, කොබෝ, සැළලිහිණි ආදී කුරුලු රෑන් මෙම ගස් සිදුරෙහි වූ ජලය පානය කොට මත් වූහ. එහෙයින් ගස පා මුල වැටී බොහෝ වේලාවක් සිට මත සිඳුණු පසු පියාඹා යති.

‘සුර නම් වැද්දා’ විසින් මේ සියල්ල මනාව දක්නා ලදී. ඔහු ඒ ගස පාමුල මුර්ඡා වී වැටෙන තිත් වටුවන්, වලි කුකුලු, දිය කුකුලු ආදී පක්ෂීන් මරා පුළුස්සා මස්කමින් විලෙහි ඇති දිය බොමින් නටන්නට විය. මෙසේ එම ගස පා මුල කල් ගෙවමින් සිටින අතර, දිනක් උණ නලයක එම දිය පුරවාගෙ, අඟුරෙහි පිළිස්සුණු මස් ද සමඟ හිමාලයෙහි ම වසන ‘වරුණ’ නම් තාපසයන් වෙත ගොස් දෙදෙනාම රා බී මස් ද අනුභව කළහ. මෙසේ ‘සුර’ නම් වැද්දා සහ ‘වරුණ’ නම් තාපසයා විසින් පළමු කොට දුටු හෙයින් ‘සුරා’ කියාද ‘වරුණ’ කියා ද එම ගස් බිලයේ දිය නම් විය. කලකට පසු එම වැද්දා සහ තාපසයා උණ නලවල ‘සුරා’ රැගෙන කසී රට විසල් නුවරකට ගොස් එහි දුන්හ. රජ්ජුරුවෝ ද දෙතුන් වාරයක් මෙම සුරා බී මත්ව එහි ලොල් ව නැවත නැවතත් හිමාලයෙන් ගෙන්වාගෙන බීවාහ. හිමාලයට නිතර යන්ට අපහසු නිසා, රුක් සිදුරෙහි තිබූ අරළු, නෙල්ලි වී ආදී ද්‍රව්‍ය ගෙන්වාගෙන නුවර දීම ‘සුරා’ නිෂ්පාදනයට කටයුතු කළෙන් මෙය ව්‍යාප්ත වූ අතර මුළු නුවර වැස්සෝ ම සුරා මතට ලොල් වූහ.

සුරාපානයේ ආදීනව කල් නොයවා ම ප්‍රකට විය. මෙසේ සුරාපානයට ගිජුවීම නිසා එ නුවර වැසියෝ කළයුතු දෙයෙහි ප්‍රමාද වීම නිසා දිළිඳු භාවයට පත් වූහ. සුරාව පළමුවෙන් සොයාගත් ‘සුර වැද්දා එනුවරින් නික්ම බරණැස් නුවරට ගියෙන්, බ්‍රහ්මදත්ත රජතුමා වෙත කැඳවනු ලැබ ‘සුරා’ පානයේ රස ගුණ නිසා සුරා නිෂ්පාදනයට රාජකීය භාණ්ඩාගාරයෙන් ධනය ලබා ගත්තේ ය. එම සුරා පානයෙන් මත් වූ බරණැස් නුවර වැස්සෝ ගොවිතැන්, වෙළහෙළදාම් කර්මාන්තාදියේ ප්‍රමාද වූහ. එනිසා බරණැස් නුවර ද පරිහානියට පත්ව විනාශ විය.

‘සුර වැද්දා බරණැස් නුවරින් සාකේක නුවරට ද ගොස් එහි වැසියන් සුරාවට ඇබ්බැහි කරවීම නිසා එම නුවර විනාශයට පත්විය. ‘සුර මීළඟට ගියේ’ සැවැත් නුවරට ය. එදවස එහි රාජ්‍ය විචාළ සබ්බමිත්ත රජතුමාගෙන් අවශ්‍ය කළමනා සපයාගෙන, පන්සියයක් පමණ හැළිවල රා නිෂ්පාදනය කළ අතර, ආරක්ෂාව පිණිස එක් බළලෙකු බැගින් යෙදවීය.

සිදුවූයේ කුමක්ද? පැසී ඉතිරී වැගිරෙන රා බිවූ බළල්ලු මුර්ජා වූ කල උන්ගේ කන්, නාසා වල්ග ආදී අවයව මීයන් විසින් කනු ලැබිණි. මේ නිසා රා විෂ වී බළලුන් මිය ගියේ යැයි ඇසූ රජතුමා රැකවලුන් දෙදෙනාගේ හිස් සිඳවූහ. රා සැලවල් බිඳීමට රාජ නියෝග ලැබුණි. එහෙත් සුරාමද සිඳුණු බළල්ලු නැවත පියවි සිහිය ලබා සෙල්ලම් කරන්නට වූයෙන් මේ සුරා විෂ නො වන බව තීරණය කොට රාජ නියෝගය ඉවත් කෙරිණි.

එකල්හි ශක්‍ර දිව්‍ය රාජයා සිල්වත්, ගුණවත් සත්පුරුෂයන් පරීක්ෂා කරමින් මිනිස් ලොව දෙස බලද්දී සබ්බ මිත්‍ර රජතුමා සුරාපානය කරන්නට සැරසෙනු දැක “මේ රජහු සුරාපානයෙහි පුරුදු ව ගියේ නම්, ජම්බුද්වීපය හැම නසන්නේ ය. එසේ හෙයින්, මේ රජ සුරාපානයෙන් වළකමි’ යි සිතීය. එසේ සිතා බ්‍රාහ්මණ වේශයක් මවා සුරා කළයක් අතින්ගෙන අහසේ සිට රජු අමතා,

සක්දෙව් රජ - මේ කළය මිලදී ගනුව

සබ්බමිත්ත රජ - මේ බමුණු කොහි සිට ආයේ ද? ඔබ ඉතා ශෝභාමත් ය. තව්තිසාවෙන් පැමිණි දෙවියෙක් ද? මේ කළයේ ඇත්තේ කෙබඳු දෙයක් ද?

සක්දෙවි රජු - රජතුමනි, මේ කළය තෙල්, තල තෙල්, උක් පැණි, මී පැණි යන කිසි දෙයක් පිරුණු කළයක් යැයි නො සිතන්න. මේ සුරා පිරුණු කළයෙකි. මේ සුරාවේ දොස් දක්වමි. හොඳින් අසන්න.

රජතුමනි, සුරාපානයෙන් මත් වූ තැනැත්තාට සමතලා බිමෙහිවත් නො වැටී සිටිය නොහැක. අල්ලා ගැනීමට යමක් නැතුවුණොත් ප්‍රපාතයට හෝ ගල් දෙ බොක්කාවකට හෝ කසළ වළකට හෝ අසූචි වළකට හෝ වැටී නසිනු ඇත.

සුරාවෙන් මත් වූ තැනැත්තා කෑ යුතු දේ නො කෑ යුතු දේ නො දැන කන්නේ ය. එබදු සුරාවෙන් පිරුණු කළය විකුණයි. කැමති නම් මිලදී ගන්න.

සුරා පානයෙන් මත් වූ තැනැත්තා ගොනෙකු මෙන් යන එන මං නො දැන ඉබාගාතේ ඇවිදියි. අවසරයක් නො මැතිව පිරිස් අතරට ගොස් ගී කියයි. යන්ත්‍ර රූපයක් මෙන් විලි නැතිව නටයි. සුරාවෙන් උමතුව නිසා ඇඳි වත පවා අහිමි ව නග්න ව ඇවිදී. ගතට පණ නැති වන බැවින්, දීර්ඝ වේලාවක් වැතිර සිටී. එබඳු සුරාවෙන් පිරුණු මේ කළය විකුණමි. කැමති නම් මිලදී ගන්න.

සුරාපානයට ලොල් වූ තැනැත්තා තම පවුල, පරපුර, ධන, ධාන්‍ය, වස්ත්‍රාභරණ ආදී සියලු සම්පත් විනාශ කරයි. තමන් වැදූ මෑණියන්ට සහ පෝෂණය කළ පියාණන්ට පවා අක්‍රෝශ කරයි. රාගයෙන් රත්ව ළං නො විය යුතු තැදි සොහොයුරියන් ගේ අතින් ගැනීම් ආදී වැරැදි කරයි. සුරාපානය කළ ස්ත්‍රීහු ද දාසාදීන් සමඟ ද වරදට පෙළඹෙති. එබඳු සුරාව පිරි මේ කළය විකුණයි. කැමති නම් මිලදී ගන්න.

සුරාමදයෙන් මත් වූ තැනැත්තා කය, වචනය, සිත යන තිදොරින් ම පව් කරයි. නරකාදී දුක් ලබයි. එබඳු වූ සුරා කළය විකුණමි. කැමති නම් මිලදී ගන්න.

සුරා පානයට පෙර සක්විති රජකම ලැබුණත් බොරු නොකියයි යනුවෙන් කියන්නා සුරා පානය කළ පසු මුතු මැණික් ආදී යමක් දෙන බව කී විට බොරුව කියති. කළයුතු දේ නො කර, නො කළ යුතු දේ කරමින් විනාශයට පත්වෙයි. මේ සුරා පානය නිසා ම තමාට භජනයට නුසුදුසු චණ්ඩාලයන් සමඟ වුවත් එක්ව කති. බොති. මිහිරි රසැති ආහාරපාන නො ලබයි. වැටුණු තැන නිදති. එසේ වූ සුරා කළය මිලදී ගන්න.

අතීතයෙහි දඹදිව දස බෑ රජ දරුවෝ රා බී මත් ව පොලු මුගුරු ගෙන එකිනෙකා ඇන කොටා ගැනීම නිසා හැට තුන් දහසක් වූ රාජධානිය අහිමි කර ගත්තාහු ද, එසේම, තව්තිසා දෙව්ලොව මුලින් විසූ දෙවියෝ ද සුරාපානයන් මත් වීම නිසා දිව්‍ය යස ඉසුරින් පිරිහී වැනසුණහ. කරුණු මෙසේ හෙයින් සුරාපානයෙහි දොස් දක්වා ඔබ ගලවා ගනු පිණිස මෙසේ ඇති තතු ප්‍රකාශ කළෙමි.

සබ්බමිත්ත රජතුමා - ඔබ මවක මෙන් දෙලොව දියුණුවට කළ අවවාද පිළිගනිමි. මේ අගනා අවවාදයට තුටු පඬුරු වශයෙන් වස්ත්‍රාභරණ, ධන ධාන්‍යාදීය මෙන් ම සමෘද්ධිමත් ගම්වර පහක් ද දැයි දස්සන් පන්සය දෙනෙක් ද ආජානීය අශ්වයන් සහිත අශ්ව රථ දහසයක් ද දෙමි. පිළිගනු මැනවි.

ශක්‍ර දේවේන්ද්‍රයා - රජතුමනි, දෙ දෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා වෙමි. ඔබ මට දුන් තුටු පඬුරු සියල්ල ම ඔබට ම වේවා, මා දුන් අවවාද අනුව සුරාපානයෙන් මිදී රස මසවුලෙන් යුතු ආහාර අනුභව කොට දැහැමි ව පින් දහම් කරන්න.

මද්‍යසාරයෙන් මිදෙන්නට මේ උපදෙස් ම ප්‍රමාණවත් ය.

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]