[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෛ‍්‍ර නිකායේ ම සම්භාවනාවට පාත්‍ර වූ අග්‍රගණ්‍ය වියත් පඬිරුවන මකුලෑවේ විමල මහා නා හිමි

තෛ‍්‍ර නිකායේ ම සම්භාවනාවට පාත්‍ර වූ අග්‍රගණ්‍ය වියත් පඬිරුවන

මකුලෑවේ විමල මහා නා හිමි

" වර්තමාන ගිහි පැවිදි සමාජයේ බොහෝ දෙනා තනතුරු සොයා යන යුගයේ අප මහා නාහිමිපාණෝ තමන් වහන්සේට ලැබෙන තනතුරු අත් හරිමින් විශිෂ්ට බුද්ධ පුත්‍රයකුගේ පූර්වාදර්ශ ලක්ෂණ අවස්ථා කිහිපයක දී ම සනාථ කර ඇත. තම තමන් වෙත තනතුරු ලබා ගැනීම සඳහා බොහෝ පිරිස් පසු පස යන මෙවන් කාලයක අප නාහිමිපාණන් වහන්සේට පදවි තානාන්තර බාර ගන්නා ලෙස ආයාචනා කිරීම ද කැපී පෙනේ. මෙම උතුම් පදවියට පත්වීම ද ඊට හොඳම උදාහරණයකි."

අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මහානායක මාහිමිපාණෝ සම්බුදු සසුනටත්, අපවත්වී වදාළ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මාහිමි, අතිපූජ්‍ය නාපාන පේමසිරි වැනි සම්භාවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා පස් නමක් යටතේ තම නිකායටත් අමිල මෙහෙවරක් ඉටුකර ඇති ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම පටිපන්න, දෙස් විදෙස් සුපතළ තෛ‍්‍රයි නිකායේ ම සම්භාවනාවට පාත්‍ර වූ මෙරට සඟ පරපුරේ පහළ වූ අග්‍රගණ්‍ය වියත් පඬිරුවනකි. වර්තමාන භික්ෂු සමාජයට ම ආදර්ශමත් මහ තෙර නමකි.

උන්වහන්සේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ 45, නැඟෙනහිර කෝරළයේ ගල්ගමුව මකුලෑව නම් සුන්දර ගම් පියසේ 1948 ක් වූ අගෝස්තු මස 25 වන දින එච්.එම්. කිරිබණ්ඩා නමින් ජන්ම ලාභය ලැබී ය. හේරත් මුදියන්සේලාගේ පුංචිරාළ හා ඉමිහාමි මුදියන්සේලාගේ කිරිමැණිකේ පින්වත් දෙමාපියන් වූහ. නිතලව ඤාණිස්සර පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූහ.

නිතලව ගම්පියස සසුන් ලැදි, සසුන් කෙත බැබළ වූ පින්වත් පෙදෙසෙකි. එම පෙදෙසට හිමි සසුන් උරුමය අනුව යමින් එච්.එම්. කිරිබණ්ඩා නම් කුල කුමරුවා පූජ්‍ය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා පූජ්‍ය වේවැල්දෙණියේ නන්දසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1960 මාර්තු මස 24 දින මිණිඔළුව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරයේ මකුලෑවේ විමල නමින් උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට පත්වූහ. පැවිදි බිමට පත් වූ උන්වහන්සේ අතිපූජ්‍ය මහෝපාධ්‍යාය කුඹුක්වැවේ විජිතසේන, පූජ්‍ය පණ්ඩිත පිදුමේ රතන, පූජ්‍ය පණ්ඩිත ලෝලුවාගොඩ ඤාණරතන යන මහා තෙරවරුන් වෙතින් පැවිද්දට අදාළ මූලික බණ දහම් ප්‍රගුණ කළහ. අනතුරුව උසස් අධ්‍යාපන කටයුතු සඳහා 1971 අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත්ව එවකට එහි ප්‍රථම පීඨාධිපති පදවිය හෙබවූ අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ, අමරපුර සද්ධම්ම වංශික මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය බලපිටියේ විශුද්ධාලෝක, රත්මලාන පුරාණ විහාරාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය කොටනෙළුවේ චන්ද්‍රජෝති, අතිපූජ්‍ය හපුගොඩ නන්දාරාම, අතිපූජ්‍ය අම්බලංගොඩ පඤ්ඤාවංස, අතිපූජ්‍ය හීන්පැල්ලේ ඉන්ද්‍රවංස යන මහා ස්වාමීන් වහන්සේලා හා අනුනායක මහාචාර්ය අතිපූජ්‍ය කබලෑවේ පියභාරති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැනි පින්වත් වියත් මහා යතිවරු ඇසුරේ උසස් අධ්‍යාපනය ලැබීමට වාසනාවන්ත වූහ.

උසස් අධ්‍යාපන කටයුතු නිමවීමෙන් පසු අප මහා නාහිමිපාණෝ කොළඹ ශී‍්‍ර ලංකා විද්‍යාලයේ උපගුරුවරයකු වශයෙන් ද, මිණිඔළුව විද්‍යාවාස මහා පිරිවෙනෙහි උපගුරුවරයකු ලෙසත් පසුව පරිවේණාධිපතිවරයෙකු වශයෙන් ද, අලව්ව ශ්‍රී රාහුල පිරිවෙන් පරිවේණාධිපතිවරයෙකු වශයෙන් ද පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළහ. උන්වහන්සේ සිදු කළ ශාස්ත්‍රීය සේවය අතර ස්වකීය විහාර පරම්පරාවේ විශිෂ්ට යතිවරයෙකු වූ සඤ්ඤා ලේඛකාධිකාරී ධූරයක් හෙබවූ නිතලව ඤාණිස්සර නාහිමියන් විසින් ලියන ලද ධර්ම ශාස්ත්‍රීය ලිපි ලේඛන සුරක්ෂිතව රැකගැනීමත් ඒ ශාස්ත්‍රීය ලේඛනවල ඇති පිටපත් ව්‍යාකරණ රත්නාකරය ඇතුළු ශාස්ත්‍රීය ලේඛන රැසක් මුද්‍රණය කිරීම, සීමා මාලකයේ දී උපසම්පදා ලබන නවක උපසම්පදා ලාභීන් සඳහා පොහොය විනය කර්ම කිරීමේ පිළිවෙල හා වෙනත් විනය කර්ම විධි නම් වූ විනය කර්ම ග්‍රන්ථය මුද්‍රණය කර නොමිලේ බෙදා දීම. පරියත්ති ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහය වැනි ශාස්ත්‍රීය සඟරාවල සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කිරීම කැපී පෙනේ.

මීට අමතරව ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ යාවජීව සාමාජිකත්වයත් පසුව එහි කාරක සභාවටත්, 2000 වර්ෂයේ සිට මහාබෝධි සමාගමේ යාවජීව සාමාජිකත්වයට ද උන්වහන්සේ පත්වූහ.

ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, බුරුමය, තායිලන්තය, ඉන්දුනීසියාව, පකිස්ථානය, කැනඩාව, ඉතාලිය, ඔස්ට්‍රියාව, ඔස්ට්‍රේලියාව ආදී රටවල් රැසක ධර්ම දූත සේවය සිදුකර ඇති උන්වහන්සේ ඉන්දියාවේ සාංචි විහාරයේ දීර්ඝ කාලයක් වැඩවාසය කරමින් විශිෂ්ට ලෝක ශාසනික සේවයක් ඉටුකර ඇත.

අප මහා නාහිමිපාණෝ සිදුකළ ලෝක ශාසනික සේවය අගය කරමින් උන්වහන්සේ වෙත ධර්ම කීර්ති ශ්‍රී සරණංකර, සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍ර විශාරද, සාහිත්‍ය කීර්ති ශ්‍රී පරියත්ති ධර, සිරි සරණංකරෝපසේන වංශාලංකාර, ශාසන සෝභන යන ගෞරව සම්මාන උපාධි රැසක් ද ප්‍රදානය කර ඇත.

වර්තමාන ගිහි පැවිදි සමාජයේ බොහෝ දෙනා තනතුරු සොයා යන යුගයේ අප මහා නාහිමිපාණෝ තමන් වහන්සේට ලැබෙන තනතුරු අත් හරිමින් විශිෂ්ට බුද්ධ පුත්‍රයකුගේ පූර්වාදර්ශ ලක්ෂණ අවස්ථා කිහිපයක දී ම සනාථ කර ඇත. තම තමන් වෙත තනතුරු ලබා ගැනීම සඳහා බොහෝ පිරිස් පසු පස යන මෙවන් කාලයක අප නාහිමිපාණන් වහන්සේට පදවි තානාන්තර බාර ගන්නා ලෙස ආයාචනා කිරීම ද කැපී පෙනේ. මෙම උතුම් පදවියට පත්වීම ද ඊට හොඳම උදාහරණයකි. මෙවැනි උතුම් ආධ්‍යාත්මික ගුණයන්ගෙන් පෝෂිත ශීලාදී නේක ගුණයන්ගෙන් සමලංකෘත අතිපූජ්‍ය මකුලෑවේ විමල මහා නාහිමිපාණන් වහන්සේට චිරං ජයතු....

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]