Print this Article


වෙහෙරබැඳීකැළේ රාජමහා විහාරය

වෙහෙරබැඳීකැළේ රාජමහා විහාරය

වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොටිඨාසයේ බංගදෙනිය - ආණමඩුව ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය සිට කිලෝමීටර් 02ක් ගිය තැන වෙහෙරබැඳී කැළේ පන්සල් හන්දිය හමුවේ. එතැන් සිට දකුණු දෙසට දිවෙන මාර්ගයේ කිලෝමීටර් 01ක් ගිය තැන වෙහෙරබැඳී කැළේ රාජමහා විහාරස්ථානය හමුවේ.

වෙහෙරක් බැඳීව කැළේ පවතින බැවින් ‘වෙහෙරබැඳී කැළේ ‘ යන නම පටබැ¼දී ඇත. මේ ග්‍රාමයට ව්‍යවහාර කරනුයේ ද ‘ වෙහෙරබැඳී කැළේ ‘ යනුවෙනි. දුටුගැමුණු රජුට සිටි දස මහා යෝධයන්ගෙන් නන්දිමිත්‍ර යෝධයා විසින් මේ විහාරය ඉදිකරවූවේ යැයි ජනප්‍රවාදයේ සඳහන් වේ.

නන්දිමිත්‍ර යෝධයා විසින් දැදුරු ඔය දෑලේ ගව්වෙන් ගව්ව විහාර ඉදිකර ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. පල්ලම නන්දිමිත්‍ර නව වංගුව රාජමහා විහාරය, දැනට දැදුරු ඔයට සේදී යමින් පවතින ආරියගම චේතියගර රාජමහා විහාරය, පුලියන්කුලම රාජමහා විහාරය එම විහාරයන් ලෙස සැලකේ.

‘ වෙහෙරබැඳී කැළේ ‘ රාජමහා විහාර භූමියේ ඉපැරැණි චෛත්‍යයක නටබුන් පවතී. එම වෙහෙර කැළයට යට වී ඇත. තැනින් තැන ගල් පාදම් මතු වී ඇත. වෙහෙර බිමේ පිහිටි බෝධිය ද ඉපැරැණි බෝධිය කි.දශක පහකට අධික කාලයක සිට විහාරාධිපති ධූරය දරනුයේ දිගන්වැවේ ධර්මාලෝක හිමියන් ය.උන්වහන්සේගේ අනුශාසනා පරිදි නව චෛත්‍යයක්, විහාර මන්දිරයක්, දෙමහල් නව සංඝාවාස ගොඩනැඟිල්ලක්, ධර්මශාලාවක් ඉදිකර ඇත.

වෙහෙරබැඳීකැළේ ,මුක්කන්දළුව, දිගන්වැව, බංගදෙනිය, මොරකැළේ , තේක්කවත්ත යන ගම්මානවල පවුල් 630ක් විහාරස්ථානයේ දායකත්වය ලබා ඇත.

ප්‍රදේශයේ බොදුනු දරු දැරියන් සුමගට යොමු කරවීමෙහිලා ‘ ශ්‍රී රතනසාර ‘ දහම් පාසල ක්‍රියාත්මක වේ. විහාරස්ථ දායක සභාවේ ලේකම් ලෙස සුජීවා මිල්රුක්ෂි , සභාපති තරිඳු බණ්ඩාර, භාණ්ඩාගාරික සුරංග ප්‍රභාෂක, උප ලේකම් එන් .එම් ලිලියන් වසන්තා, උප සභාපති ඩී මංජුල ප්‍රදීප් යන මහත්ම ,මහත්මීහු කටයුතු කරති.

ඉපැරැණි චෛත්‍ය සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බවත්, ළඟදීම සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කෙරෙන බවත් විහාරාධිපති දිගන්වැවේ ධර්මාලෝක හිමියෝ පැවසූහ.