Print this Article


පිරිවෙන

පිරිවෙනටත බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

****

සංවරය

හාමුදුරු කෙනෙක් නම් රහත්වීමට මහන්සි විය යුතු වේ. ගිහි ජීවිතය අත්හැර දමා චීවරය පොරවා ගත්තා නම් මහණදම් පුරමින් ඒ අනුව ක්‍රියා කළ යුතු වේ. දැන් ඇතැම්විට සිදු වී තිබෙන්නේ කුඩා කාලයේ මහණ වී, විභාග සමත් වූ පසුව බොහෝ දෙනා චීවරය හැර යෑමයි.

මහණ වී ධර්ම විනය උගෙන ගුණ නුවණ දියුණු කරගත් පසුව මහණදම් පිරිය යුතු ය. මෙකල, රහත් බව ලබා ගැනීමට නොහැකිද? ඇතැම් අය සිතන ආකාරයට රහත්වීම යනු අහසින් යනවා වාගේ වැඩක් නොවේ. කෙලෙස් නැතිකර ගැනීමයි. සංඝයා වහන්සේට අපිස්බව තිබිය යුතු ය.

බුදු දහමේ හැටියට නම් බැස යන තරමට පියගැට පෙළ අඩු වනවා සේ භික්ෂුව ද ගුණ නුවණින් , අධ්‍යාපනයෙන් වර්ධනය වෙන්න වෙන්න කෙලෙස් අඩු කර ගත යුතු ය. උසස් බෞද්ධ අධ්‍යාපනයක් ලබා තිබෙනවා නම්, පඩියෙන් පඩිය අඩුවන පියගැටපෙළ සේ වෙන්නට ඕනෑ බවයි, බුදු දහමේ අවධාරණය කෙරෙන්නේ.

දැන් බොහෝවිට තිබෙන්නේ අපිච්ඡතාව නොවේ. මහිච්ඡතාවයි. අපිස් සතොස් ආදී ගුණයෙන් යුතුවයි සංඝයා වහන්සේ වර්ණනා කළ යුතු වන්නේ. අපිස්බව කියන්නේ ටිකක් ලබා සතුටු වීමයි. බුදුන් පිරූ අන්දමට, භික්ෂූන් වහන්සේලා අපිස් බව අනුගමනය කරනවා නම්, රට බොහෝ සෙයින් සකස් වන්නේ ය. එවිට අනෙක් මිනිසුන් ද හරි මග යයි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට දේශනාකොට වදාළ ලෙස ශාන්ත දාන්තව හැසිරෙනවා නම්, නියම භික්ෂූන් ව සිටිනවා නම් එයයි අනුන්ටත්, තමන්ටත් කරන ලොකුම සේවය කියන්නේ. ඒ නිසා හොඳ සංවරයෙන් යුතුව සිටියා ම ප්‍රමාණවත් ය.

****

රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක මකුලෑවේ විමල නා හිමියෝ

මහා විහාර වංශික ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ ලෙස වැඩ සිටි හුරීකඩුව, මැණික්හින්න විද්‍යා සාගර පරිවෙණාධිපති, අග්ගමහා පණ්ඩිත, අතිපූජනීය නාපාන පේමසිරි මහා නායක මා හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහා නායක ධුරය සඳහා මීරිගම මිනිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති, ශාස්ත්‍රපති, අග්ගමහා පණ්ඩිත,අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේ තෝරා පත් කරගෙන තිබේ.

ගිහි පැවිදි හැමදෙනාගේ ම ජනාදරයට පත්ව සිටින සුපේෂල ශික්ෂාකාමී ගුණයන්ගෙන් හා අනතිමානී ගුණයන්ගෙන් යුත් අපේ නායක හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කරමින් මහා නාහිමිපාණන් වහන්සේගේ ජීවිත ගමනේ අනූපමේය සේවාවන් පිළිබඳ කෙටි සටහනකි.

අප නාහිමිපාණන් වහන්සේ 1974 වර්ෂයේ දී ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවෙන් ති‍්‍රපිටකාචාර්ය උපාධිය ද 1976 දී බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ ති‍්‍රපිටකවේදී උපාධිය ද 1976 දී පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිය ද ලබා ගත්හ. අනතුරුව කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙන්හි සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පැවැත් වූ සද්ධම්මාචරිය සහ විනයාචරිය විභාගවලින් සමත් වූහ. කැලණිය සරසවියට ඇතුළත්ව 1982 දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ උන්වහන්සේ වර්ෂ1990 දී එම සරසවියේ පශ්චාත් උපාධි ආයතනයෙන්, ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත්හ.

1969 ජූලි 22 වැනි දින, කොළඹ, තොටළඟ කල්‍යාණි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී, ඉඳුරුවේ උත්තරානන්ද මහා නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත්හ. එතැන් පටන් මේ දක්වා උන්වහන්සේට ලැබුණු තනතුරු බොහෝ ය. උන්වහන්සේ තනතුරු සොයමින් නොගිය අතර අප නාහිමිපාණන් වහන්සේ වෙත ගෞරව නාම තනතුරු ආදිය පැමිණීම ම සුවිශේෂී ලක්ෂණයක් විය. එසේ අප නාහිමිපාණන් වහන්සේට ලැබුණු තනතුරු කිහිපයක් මෙසේ සටහන් කළ හැකි ය.

1984.06.30 ශ්‍රී සරණංකරෝපණ සංඝ සභාවේ ලේඛක ධූරයට පත්වීම.

1984.07.07 ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවට පත්වීම.

1987 කර්මවාගාචාර්යවරයෙකු ලෙස පත්වීම.

1993.03.12 ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මීරිගම සංඝ සභාවේ අනුජක ධුරයට හා පාලක සභාවට පත්වීම

1996 ජ්‍යෙෂ්ඨ අනුජ්ජක ධුරයට පත්වීම.

1996. ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ යාවජීව සාමාජිකත්වයට පත්වීම.

1998.03.28 ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගරුතර කාරක සභාවට පත්වීම.

1991.12.19 ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මීරිගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති ධූරයට පත්වීම.

1998 ශී‍්‍රමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම ග්‍රන්ථ ප්‍රකාශන අනු මණ්ඩලයේ සභාපති පදවියට පත්වීම.

2001 මාර්තු මස 31 - ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය පරියත්ති ලේඛක ධුරයට පත්වීම.

2005 දී චීන භාෂෝපකාර සමාගමේ කාරක සභාවට පත්වීම.

2006.10.03 දින ශී‍්‍ර ‍ලංකා රාමඤ්ඤ මහා නිකායේ පූජ්‍යතර සඤ්ඤා ලේඛකාධිකාරි ධූරයට පත්වීම.

2011.11.26 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහෝපාධ්‍යය පදවියට පත්වීම.

2012.10.19 දින ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ධූරයට පත්විම.

2020.09.25 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනු නායක ධූරයට පත්විම.

2020.11.21 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක ධූරයට පත්විම.

මේ ආදි විවිධ තනතුරු හොබවා ඇති අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායටත්, බෞද්ධයා මාධ්‍ය ජාලය ඇතුළු බොහෝ රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍ය අසුරු කර ගනිමින් සම්බුද්ධ ශාසනයටත්, ජාතික, ආගමික, සාමාජික, අධ්‍යාපනික වශයෙන් කරන මෙහෙවර ඇගයිමක් වශයෙන් පසුගිය වසරේ බුරුම රාජ්‍ය මගින් පිරිනමන අග්ගමහා පණ්ඩිත උපාධිය ද මාහිමියන් වහන්සේ වෙත පිරිනමන ලදී. එසේම ධර්මකීර්ති ශී‍්‍ර සරණංකර, සද්ධර්මකීර්ති ශී‍්‍ර ශාස්ත්‍ර විශාරද, සාහිත්‍ය කීර්ති ශ්‍රී පරියත්තිධර, සිරි සරණංකරෝපසේන වංශාලංකාර, ශාසන ශෝභන, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති ආදි ගෞරව නාම හා සම්මාන උපාධි ලබා තිබෙන ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අතිපූජ්‍ය මහානායක ධුරයෙන් පිදුම් ලැබූ මකුලෑවේ විමල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට චිරාත් කාලයක් සම්බුදු සසුන වෙනුවෙන් කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශක හිමියන් හා පිරිවෙන් අධ්‍යක්ෂ හිමියන් ප්‍රධාන පිරිවෙන් අප හැමදෙනාගේ ආශිර්වාදය පුද කරමු.