Print this Article


දුටුගැමුණු රජතුමා 14: අපට අවශ්‍ය උරුමය රැක ගැනීමටයි ගැමුණු කුමරු සෙබළු දිරිමත් කරයි

දුටුගැමුණු රජතුමා 14:

අපට අවශ්‍ය උරුමය රැක ගැනීමටයි ගැමුණු කුමරු සෙබළු දිරිමත් කරයි

අපේක්ෂා පිරුණු මුහුණු සෙනෙවිවරුන් වෙතින් දකින්නට ලැබුණ ද දීඝාභය අයියණ්ඩියගේ ප්‍රකාශය කොතෙක් දුරට අවංකද? එය හදවතින් ම නැඟුණක් ද? යන්න ගැමුණු කුමාරයාගේ සිතෙහි සැකයක් ඇතිවිය.

දිවා භෝජනය වෙනුවෙන් සැමට ආරාධනා ලැබිණි. භෝජනාගාරය වෙත පැමිණි ඔවුන්ට එයින් විහිදෙන සුවඳ ඈතදීම දැනිණි. රාජකීය අමුත්තන් වෙනුවෙන් වෙනම භෝජන කුටියක් සකසා තිබිණි. කුමරු ඒ ගැන විමසූ විට සෙනෙවිවරු පැවසුවේ රජතුමාගේ උපදෙස් පරිදී ආරක්ෂක හේතු මත එසේ කළ බවයි. තමාගේ ආරක්ෂාව වෙනුවෙන් පියරජතුමා කොයිතරම් වෙහෙසේන්නේදැයි ගැමුණු කුමාරයාට සිතිණි.

වැවට ගොස් ජලය ස්නානය කර පැමිණි සෙබළු භෝජනාගාරයට ඇතුළු වුහ. කුමාරවරු දෙදෙන සෙනෙවිවරුන් සමඟ දකුණු පසින් වූ භෝජන කුටියට ඇතුළු වුහ. එදින දිවා භෝජනය වෙනුවෙන් කුරහන් තලප, ඇල්හාලේ බත්, පලා මැල්ලුමක්, එළවළු කිහිපයක්, වැව් මාළු ද අතුරුපස සඳහා පලතුරුද, කිරි පැණි හා කැවිලි වර්ග ද සකසා තිබිණි. “අපි මුවන් ගෝනුන් මරන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ගොඩ මස් නැහැ. වැව් මාළු විතරයි. ගවමස් අපේ ආහාරයට එකතු කරගන්නේ නැහැ” මහනෙල කීය.

“ඔබතුමා මෙහි පැමිණියේ බොහෝම කාලයකට පසුවයි. ඒ නිසා හොඳීන් සංග්‍රහ කරන්නට ඕනේ. ඔබතුමා එවන ශූර තරුණයන් මෙහි හොඳීන් පුහුණුව ලබා දැන් ඉහළ තනතුරු දරනවා. අපට තව නොබෝ දිනකින් අපේ යුධ හමුදාවට විසිදාහක පමණ පිරිසක් අලුතින් එකතු කරන්නට පුළුවන්”. මහනෙල පැවසී ය. “එළාර රජුගේ සෙබළුන්ට මුහුණ දීමට විසිදාහක් නොවෙයි මහනෙල, විසි ලක්ෂයක් ඕන වේවි”.

“කුමාරයිනි, අපේ එක සෙබළෙකුට එයින් දහයකට පහර දෙන්නට පුළුවන්. වේළුසුමන මහ සෙනෙවි තුමා ගැමුණු කුමාරයා ඉපදෙන්නත් කලින් ඒ හපන්කම පෙන්වා තිබෙනවා.” දාඨාසේන පැවසී ය. විහාර මහා දේවියගේ දොළ සන්සිදුවීමේ කතා පුවත සිහිපත් වී සියල්ලෝම සිනාසුණහ.

භෝජන සංග්‍රහය නිමවීමෙන් පසුව දීඝාභය කුමාරයාට සෙබළුන් ඇමතීමේ අවස්ථාව ලැබිණි. යුධ හරඹවලදී සෙබළුන් පෑ දස්කම් තමා බලා සිටි බවත්, යුධ ශක්තියෙන් පිරිපුන් සෙබළා ආත්ම ශක්තියෙන් හා පෞරුෂයෙන් උසස් බවත් කොතරම් ප්‍රබල සතුරකු ඉදිරියේදී වුවද පසු නොබසින බවත් පැවසී ය. රට, ජාතිය ආගම වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කරන මෙම පිරිස ගැන තමන් ආඩම්බර වන බවත් පැවසී ය.

“අපට අපේ දේශසීමා පුළුල් කර ගැනීමේ ආශාවක් නැහැ. රටවල් ජය ගැනීමේ වුවමනාවක් නැහැ. අපට අවශ්‍ය සිංහලයාගේ උරුමය රැක ගැනීම පමණයි. මේ රට ආක්‍රමණය කිරීමට එන කිසිවකුට මෙහි නවතින්නට, මේ රට පාලනය කරන්නට ඉඩදීම සිංහලයන්ගේ අභිමානයට කිසිසේත් සුදුසු නැහැ.

එළාර රජු අපගේ සිංහල නායකයකු මරා බලය පැහැර ගත්තා. එපමණක් නොවෙයි. අපේ සංස්කෘතික උරුමයන් විනාශ කරන හැටි, බුද්ධ ශාසනය විනාශ කරන හැටි තවත් බලා සිටිය නොහැකියි. ඒ නිසා අප්‍රමාද ව සිංහල බෞද්ධ උරුමය රැකගෙන රට එක්සේසත් කිරීමට සියලු දෙනාම සටනට සුදානම් වෙමු” යි ගැමුණු කුමාරයා පැවසු විගස “ජයවේවා “ යනුවෙන් සැවොම ප්‍රීති ඝෝෂා කළහ.

“අපි දැන් කිරින්දට යමු. යෝධකණ්ඩිය වැව් ඉස්මත්තේ අහිකුන්ටික පැල්පත් බලාගෙන එන්ට පුළුවන්.” දීඝාභය ගේ අදහස ගැමුණු ද අනුමත කළේ ය. ඒ ගමනට සුරනිමල ද එකතු විය. “කුමරුනි අද අපට දුගී මගී යාචකයන් කිසිවකුත් හමුවුණේ නැහැ නේද ?” වේළුසුමන පැවසී ය. සුරනිමල ද ඒ අදහස අනුමත කළේ ය.

යෝධකණ්ඩිය වැවේ දකුණු ඉවුරට පැමිණි විට ඔවුන් දුටුවේ අනෙක් ඉවුරෙන් නැඟෙන විශාල දුමාරයකි. ඒ දෙසට ගමන් කල ඔවුන්ට දක්නට ලැබුණේ සියලු පැල්පත් කඩා ගොඩගසා ගිනි තබා ඇති බවයි. ගැමුණු කුමාරයා පුදුමයට පත්ව වේළුසුමන දෙස බලන්නට විය. වැව් කණ්ඩිය අවට තනාගෙන තිබු කුඩාරම් කිසිවක් නැත. යාචකයන් කිසිවකුත් පෙනෙන්නට නැත.

“දීඝාභය කුමාරයා මාගමට පැමිණි බව ඔත්තු කාරයෝ දැනගෙන. ඔවුන් සියලු දෙනාම පැනලා ගිහිල්ලා.” වේළුසුමන කිවේ සිදු වී ඇති දෙය තේරුම් ගනිමිනි. අවට ගොවිතැන් කරමින් සිටි ගොවියන් අතරට ගිය වේළුසුමන ඔවුන්ගෙන් ප්‍රශ්න නගන්නට විය. “මෙහේ තිබුණු කුඩාරම්වලට මොකද වුණේ. ඒවායේ හිටි මිනිස්සු කොහේද ගියේ?”වේළුසුමන හඳුනාගත් ගොවියකු පිළිතුරු දෙන්නට විය.

“මහසෙනෙවි තුමනි, උන් මනුස්සයන් නොවෙයි. යක්කු පිරිසක්. ඊයේ රෑ මහා කලබැගෑනියක් ඇසුණා. මඩු කුඩාරම් කඩලා ගිනි තිබ්බා. පාන්දර වෙනකම්ම ඒවා ඇවිලුනා. අද උදෙන්ම උන් පැනල ගිහිල්ලා. කිරින්ද පැත්තට ගිය බව ආරංචි වුනා.”

මොහොතක් බලා සිටි කුමාරයා ඇතුළු පිරිස කිරින්ද දෙසට වේගයෙන් අසුන් මෙහෙයවන්නට වුහ. කිරින්ද වෙරළට ආ ඔවුන්ට දැකගත හැකි වුයේ දියඹේ ඈතින් ගමන් කරන නැව් දෙකකි. වෙරළේ නවතා තිබු ඔරු වලින් නැව්වලට ගමන් කර ඇති බව ඔවුනට අවබෝධ විය. ධීවරයන් කිහිප දෙනෙක් ඈතට වී බලා සිටියහ. ඔවුන් තමන් වෙත කැඳවා වේළුසුමන කරුණු විමසන්නට විය.

අශ්වයන්ගේ විලාසයෙන්ම බියට පත්වුණු ඔවුහු සියලු දෙනා කුමාරවරු ඉදිරියේ වැඳ වැටුනහ. කතා කරගැනීමට නොහැකිව තුෂ්ණිම්භූත ව බලා සිටින්නට විය. “භය වෙන්න එපා. මේ ඉන්නේ ගැමුණු කුමාරයා. මේ දීඝාභය කුමාරයා. මේ සුරනිමල මහසෙනෙවි. මම වේළුසුමන”.

“අපට කියන්න මෙතන මොකක්ද සිදු වුනේ කියලා” වේළුසුමන පැවසී ය.

“සෙනෙවිතුමනි, අපි හිමිදිරි පාන්දර මුහුදු යන්නට සුදානම් වුණා. ඔරු දියත් කරන්නට සුදානම් වෙනකොට ඈත මුහුදේ නැව් දෙකක් තියෙනවා දැක්කා. වෙරළේ තැනින් තැන කෑ ගසන ශබ්ද ඇසුණා. අපිට සැක හිතුණා. බියජනක දෙයක් සිදුවෙන බව හැඟුනා. අපි හැමෝම එක තැනකට එකතු වුණා. අභිකුන්ටික මිනිස්සු පැල්පත්වලට ගිනි තියලා බඩු පොදි බඳීනවා දැක්කා. තවත් පිරිසක් තිස්සමහාරාම පැත්තෙන් ආවා. ඒ අය ළඟ අවි ආයුධ තිබුණා. අපිට බය හිතුණා. ඒ නිසා අපි මුහුදු ගියේ නෑ. අපේ ගෙවල් දොරවල් කොල්ලකන්නට පුළුවන් බව හැඟුණා. උන් ඇවිත් අපේ ඔරුවලින් උන්ව නැව් වලට ගෙනයන්න කිව්වා. අපි කැමති උනේ නැහැ. උන් අපිට රන් කාසි, දුන්නා. අපි එපා කිව්වා.”

“දෙමළ මිනිස්සු අතරේ සිංහල කිහිපදෙනෙකුත් හිටියා. නැව් දෙකෙන් පොඩි ඔරු කිහිපයක් ඇවිත් උන් නැව්වලට අරගෙන ගියා.”

“මුන් හිඟන්නෝ නෙවෙයි. රහස් ඔත්තුකාරයෝ. මෙහි තොරතුරු අනුරාධපුරේ සොලී නායකයන්ට දන්වා යවනවා. මුන් චරපුරුෂයන්. ඒ බව නොදැනෙන්නටයි හිඟන්නෝ වගේ හිටියේ. අපට උවමනාව තිබුණේ මේ අය අල්ලාගන්නටයි. අපේ රාජධානියේ තොරතුරු රැස්කරගෙනයි මුන් යන්නේ.”

“දීඝාභය අයියණ්ඩිය මේ තත්ත්වය සැලකිලිමත් වීමට කරුණක්. දැන් අපට මහවැලි ගං තීරය පමණක් නොව මුහුදු තීරයක් ආරක්ෂා කළ යුතු වෙනවා.”

“ඒ කටයුත්ත අපට භාර කරන්න කුමාරවරුනි. අපි ඒ වැඩය හරියටම කරන්නම්. කිරින්ද විතරක් නොවෙයි. මුළු මුහුදු තීරයම අපි ආරක්ෂා කරන්නම්.” ධීවරයෝ පැවසුහ . “ ඒ කාර්යය හරියට කරන්න. පිටතින් එන කිසිවකුට මෙහි ලැගුම් ගන්නට දෙන්න එපා. කුඩාරම් හදන්නට දෙන්න එපා. සැකකටයුතු පුද්ගලයන් ගැන අපට දන්වන්න. අවි ආයුධ අවශ්‍ය නම් අපට කියන්න”. ධීවරයන්ට ස්තුති කළ ගැමුණු කුමාරයා ඇතුළු පිරිස ආපසු යාමට සුදානම් වුහ.