Print this Article


නිරෝගි වීමේ රහස පෙන්වා දෙනදෝණපාක සූත්‍රය

නිරෝගි වීමේ රහස පෙන්වා දෙන දෝණපාක සූත්‍රය

ථේරවාද බුදු දහමෙහි විනය, සූත්‍ර, අභිධර්ම යන ත්‍රිපිටකයට අයත් බොහෝ දේශනා පුද්ගලයාගේ මෙලොව පරලොව යන දෙලොව සැප සඳහා තථාගත බුදුපියාණන් වහන්සේ විසින් දේශිත ඒවා ය. ඒ අතුරින් සූත්‍ර පිටකයෙහි ප්‍රධාන කොටස් පහ අතුරින් සංයුත්ත නිකායට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අනුව සරල කෙටි දේශනාවන්ගෙන් සමන්විත මෙකී නිකාය සඳහා සූත්‍ර 7762 ක් ඇතුළත් බව සංයුත්ත නිකායට ලියන ලද අටුවා ග්‍රන්ථය වන සාරත්ථප්පකාසනියෙහි මැනවින් කරුණු සඳහන් වේ.

සංයුත්ත නිකායෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි සංයුත්ත නමින් කොටස් 11කට බෙදා ඇති අතර, ඒ අනුව සියලු සූත්‍ර දේශනා සංග්‍රහ කොට ඇති බව දැකිය හැකි ය. “කෝසල සංයුත්තය” එයින් එක් සංයුත්තයකි. එහි සඳහන් වන්නේ පසේනදි කොසොල් මහ රජතුමා පිළිබඳව හා එතුමා අරභයා දේශනා කොට ඇති දහම් කරුණු ය. ඒ අනුව කෝසල සංයුත්තයෙහි සඳහන් ඉතා වැදගත් සූත්‍ර දේශනාවක් ලෙස “දෝණ පාක” සූත්‍රය හැඳින්විය හැකි ය.

දිනක් කොසොල් මහ රජු බුදුපියාණන් වහන්සේ වෙත එළැඹියේ ය. උන්වහන්සේට වැඳ නමස්කාර කොට එකත් පසෙක හුන්නේ ය. රජු බොහෝ සෙයින් ආහාර අනුභව කොට දැඩි අපහසුතාවෙන් සිටින බව දුටු බුදුරදුන් රජුට ශරීර සුවයට හේතු වන කරුණු දේශනා කොට වදාළහ.

එහිදී, හැම කල්හි සිහිය ඇති, ලැබුණු ආහාරයෙහි පමණ දන්නා මිනිසාගේ දුක් වේදනා දුරු වේ. වැළඳූ ආහාර සෙමින් දිරවයි. ආයුෂ වැඩිවෙයි.

යනුවෙන් තථාගතයන් වහන්සේ පසේනදි කොසොල් මහ රජුට ආහාර වැළඳිය යුතු අයුරු මෙන්ම එයින් දීර්ඝායු සම්පත් ලැබෙන බව පෙන්වා දුන්හ. මෙම දේශනාව සිදු කරන විට රජු පසු පසින් ‘සුදස්සන’ නම් මානවකයා සිටි අතර, ඔහු ඇමතු මහ රජතුමා කියා සිටින්නේ ‘දරුව සුදස්සනය, ඔබ බුදුරදුන් සමීපයෙහි මෙම ගාථාව හොඳින් ඉගෙන මා ආහාර වළඳන කල්හි කියව. මම තොපට කහවනු සියයක වැටුපක් ගෙවන්නෙමි.” එවිට සුදස්සන මානවකයා ඉහත ගාථාව ඉගෙන දිනපතා රජු ආහාර අනුභව කරන විට එකී ගාථාව ප්‍රකාශ කරන්නට විය. මෙම ගාථාව ඇසීමෙන් රජුගේ ආහාර ප්‍රමාණය දිනෙන් දින අඩු වූ අතර අවසානයෙහි සහල් නැළියක පමණක් බත් අනුභව කරන්නට විය. මේ නිසාම මහ රජු පසු කලෙක ඉතා සැහැල්ලු ශරීරයකින් සහ නීරෝගී සුවයෙන් යුක්ත වූ අතර ඒ බව ශරීරය පිරිමදින විට කොසොල් රජතුමාට හොඳින් දැනෙන්නට විය.

භාග්‍යවතුන් වහන්සේ මෙලොව පරලොව යන උභයාර්ථයෙන් ම මට අනුකම්පා කළ සේක. යනුවෙන් තම පී‍්‍රතිය පළ කර සිටියේ ය.

ඉහත කරුණු සහිත “දෝණපාක” සූත්‍ර දේශනාව දෙස අවධානය යොමු කිරීමේ දී පැහැදිලි කොට ඇත්තේ පුද්ගලයාගේ නීරෝගීතාවය හා සැහැල්ලු බවයි. එහි සඳහන් කරුණු දෙලොව අභිවෘද්ධිය සඳහා බෙහෙවින් හේතු වන්නකි. මනා සිහිය, ආහාරයෙහි පමණ දැනීම, ලෙඩ දුක් වේදනා දුරු වීම, ආහාර සෙමින් දිරවීම, ආයුෂ වැඩි වීම ය.

මෙකී සූත්‍ර දේශනාවෙහි අන්තර්ගත කරුණු සැබැවින් ම වැදගත් ඒවා ය. නූතනයෙහි බොහෝ ලෙඩ රෝග ආදියෙන් පෙළෙන මිනිසාට නිසි දැනුවත් භාවයෙන් යුතුව නීරෝගී සුව හා දීර්ඝායුෂ වර්ධනය කර ගැනීමට මෙකී දහම් කරුණු බෙහෙවින් උපකාරී වනු ඇත. විශේෂයෙන් ආහාර ගැනීමේ දී තමන්ට සුදුසු දේ පිළිබඳ නිවැරැදි සිහියක් නොමැති වීම හා පමණ නොදැනීම බොහෝ ලෙඩ රෝග සඳහා හේතු වී ඇති බව මුළු මහත් ලෝක ප්‍රජාව දෙස බැලීමෙන් පැහැදිලි වේ. රසකාරක සහිත විවිධාකාර ආහාරවලට මිනිසා යොමුවීම හා ඒවායෙහි පමණ නොදැන ඉතා ගිජුව ආහාර අනුභව කිරීම තුළ දරුණු ලෙඩ රෝගයන්ට ගොදුරුවීම සුලබ ව දැකිය හැකි දසුනකි.

“ආරෝග්‍ය පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං”

යනුවෙන් දහමෙහි ඉගැන්වෙන පරිදි නීරෝගී බව හා සතුට පුද්ගලයාට මහත් ලාභයක් හා පරම ධනයක් බව සඳහන් වේ. සැබැවින්ම පුද්ගලයා නීරෝගී වන තරමට ම ඔහුට එය මහත් ලාභයකි. විශාල වශයෙන් මිල මුදල් වැය කරමින් විවිධාකාර ප්‍රතිකාර ආදියට යොමුවීමට සිදුවන්නේ මෙකී කරුණු පිළිබඳ අවධානය ගිලිහී යාම නිසා ය. “ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං” යනුවෙන් මිනිසාට නීරෝගී සම්පත පරම ලාභය ලෙස බුදු දහමෙහි නැවත නැවත දක්වා තිබීම මඟින් පැහැදිලි වන්නේ එහි ඇති වැදගත් බව යි. “දෝණපාක” සූත්‍රය තුළින් ද පසේනදි කොසොල් මහ රජුට බුදු රදුන් ඉහත කරුණු මඟින් පෙන්වා දුන් පිළිවෙත් එතුමා අනුගමනය කොට ලැබූ අනුසස් තමා විසින්ම පැහැදිළිකොට සිටීම මඟින් සනාථ වන්නේ නීරෝගී සම්පත තරම් ලාභයක් හා සතුටක් නොවන බව ය.

නූතන සමාජය තුළ පුද්ගලයා විවිධාකාර ආහාරපානවලට යොමුවීම තුළ අවසානයෙහි බොහෝ දුක් වේදනා විඳීමට සිදු වී ඇත්තේ ද ඔවුන්ටම ය. පැරණි මුතුන් මිත්තන්ගේ ආහාර රටාව ඉතා සැහැල්ලුය. එසේම එයට සරිලන අයුරින් වස විෂ ආදියෙන් තොරව ආහාර ගන්නා ඔවුන් නියමිත පරිදි ශරීරය වෙහෙසවා තම කර්මාන්තයන්හි නිරත වෙති. ඉතා සරල දිවි පෙවෙතක් ගත කළ පැරණි මිනිසුන් සැබැවින් ම නීරෝගී ව දිවි ගෙවූ බව අපි අසා ඇත්තෙමු. ඒ අන් කිසිවක් නිසා නොව බුදු දහමෙහි පෙන්වා දෙන පරිදි ධර්මානුකූල වීමයි.

මෙකී ප්‍රතිපදාවන් නූතන සමාජයට ද අතිශය වැදගත් අතර, කායික හා මානසික නීරෝගීතාවය සඳහා සංයුත්ත නිකායාගත කෝසල සංයුත්තයෙහි සඳහන් “දෝණපාක” සූත්‍රයෙහි අන්තර්ගත කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම දෙලොව දියුණුවට හේතුවන බව අප මතකයෙහි තබා ගැනීම ඉතා වැදගත් වනු ඇත.