Print this Article


ජනපති-අගමැති අනුරපුරේ පින්කම් රැසක

ජනපති-අගමැති අනුරපුරේ පින්කම් රැසක

මිරිසවැටියේ දී භික්ෂූන් වහන්සේ පන්සියය නමකගේ සහභාගිත්වයෙන් සෙත් පිරිත් සජ්ඣායනාවක්

ජනාධිපතිතුමා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනාමාන කළ අවස්ථාව අගමැතිතුමා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනාමාන කළ අවස්ථාව


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වසරක පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගෙන පින්කම් මාලාවක් පසුගිය 13 වැනිදා සිට පවත්වන ලදී. ඒ සමස්ත රටවාසී ජනතාවට මෙන්ම, ලෝවාසී සියලු ජනතාවට ම සෙත් පතමිනි.


ජනාධිපතිතුමා හා අගමැතිතුමා පින්කමට සහභාගි වෙමින්

ජනාධිපතිතුමා මිරිසවැටි චෛත්‍යය අභියස පැවැත්වුණු සෙත් පිරිතට මහා සංඝ රත්නයට ආරාධනා කරමින්...

මහා සංඝරත්නයෙන් අගමැතිතුමාට තිළිණයක්

13 වැනිදා පස්වරුවේ ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේ ආගමික වතාවත්හි නිරත වූ ජනාධිපතිතුමා රුවන්වැලි රාජමහා විහාරාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

රුවන්වැලි මහා සෑ රදුන් වෙත කළ කන්චුක පූජාවට සහ අෂ්ඨඵල චතුමධුර පූජාවට එක් වූ ජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරත වෙමින් රටටත්, ජනතාවටත් සෙත් පැතී ය. සෑ රදුන් අභියස විශේෂ සෙත් පිරිත් සජ්ඣායනාවක් ද එහිදී සිදු කෙරිණ. සෑ රදුන් උදෙසා ආලෝක පූජාව පැවැත්වීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

රුවන්වැලි රාජමහා විහාරාධිකාරී පල්ලේගම හේමරතන හිමියෝ අනුශාසනාවක් කරමින් කොවිඩ් මර්දනයට සහභාගි වන සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි නිලධාරීන්ට ආශිර්වාද කළහ.

රටවැසි සැමට සෙත් පතා පන්සිය නමක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ඣායනාවක් ඓතිහාසික මිරිසවැටිය පුද බිමේ සලපතල මළුවේ දී පැවැත්වුණේ 14 වැනිදා ය. රටවැසි සහ ලෝවැසි ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් අත්මිදීම සඳහා ආශිර්වාද කිරීමත් ජනාධිපතිතුමා ධුරයට පත්ව වසරක් සපිරීම සහ අග්‍රාමාත්‍යතුමාගේ ජන්ම දිනය නිමිති කොට සෙත් පැතීමේ පින්කමක් ලෙසින්ද එය සංවිධානය කර තිබුණි.

ඒ සඳහා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරි නිවාස නාහිමියන්ගේ උපදෙස් මත, මිරිසවැටිය චෛත්‍යරාමාධිකාරී ඊතලවැටුණු වැවේ ඥාණතිලක හිමියන්ගේ මෙහෙයවීමෙන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ පින්කමට දිවයිනේ නන්දෙසින් වැඩම කළ පන්සිය නමක් මහා සංඝරත්නය සහභාගී වූහ.

මිරිසවැටිය පුදබිමේ බුද්ධ මන්දිරයේ බුද්ධ පූජාව තැන්පත් කිරීමෙන් මේ පින්කම ආරම්භ විය.

ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දුටුගැමුණු මහ රජතුමාගේ ප්‍රතිමාවට මල් මාලා පළඳවා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මහා සංඝරත්නය ආශිර්වාද කළහ.

මිරිසවැටිය චෛත්‍යය රාජයාණන් වහන්සේ ගර්භයේ තැන්පත් කර ඇති ජයකොන්තයට පහන් දැල්වීම ද ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විසින් කරන ලදී.

ජනාධිපතිතුමා දැහැත් වට්ටිය පිළිගන්වා මහා සංඝරත්නයට සෙත් පිරිත් සජ්ඣායනාවට ආරාධනා කළේ ය.

සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව මල්වතු, අස්ගිරි අනුනායක හිමිපාණන් වහන්සේ, අටමස්ථානාධිපති නාහිමි ඇතුළු මහා සංඝරත්නය ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට තිළිණ පිළිගැන්වූහ.

ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විසින් මහා සංඝරත්නයට පිරිකර පුජා කළ අතර, ජාතික, ආගමික සහ සාමාජයීය මෙහෙවර උදෙසා මහා සංඝරත්නය වෙනුවෙන් උපහාර තිළිණ පිළි ගැන්වීම සිදු කෙරිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 15 වැනිදා පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේ ය.

උදෑසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද එදිනම ජය ශ්‍රී මහා බෝ රදුන් සහ රුවන්වැලි සෑය වන්දනාවට පැමිණ රටවැසි සහ ලෝවැසි ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් අත්මිදීම සඳහා ආශීර්වාද ප්‍රාර්ථනා කරන ලදී. අගමැතිතුමන් ද අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. එමෙන්ම රුවන්වැලි මහ සෑ විහාරාධිකාරී පල්ලේගම හේමරතන හිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා ලදී.

මෙම අවස්ථාවන් සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි, අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මේ සියලු පින්කම් සිදු කෙරුණේ සෞඛ්‍යාරක්ෂාවට මුල් තැනක් ලබා දෙමිනි.