Print this Article


කවරයේ කතාව

කවරයේ කතාව

භාග්‍යවතුන් වහන්සේ මව් ගුණ සැලකීමක් ලෙස බුදු බවින් සත්වන වස් කාලය තව්තිසා දෙව් ලොව විසීමට තීරණය කළ සේක. ඒ මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දෙව් පිරිසට අභිධර්මය දේශනා කිරීම උදෙසා ය. අන්‍ය තීර්ථකයන් දමනය කිරීමට ගන්ධබ්බ අඹ රුක මුල ප්‍රාතිහාර්ය පෑ භාග්‍යවතුන් වහන්සේ එක්වරම අතුරුදහන් වූහ. රැස් වූ පිරිස ඒ පිළිබඳ සැරියුත් තෙරුන්ගෙන් විමසුව ද උන්වහන්සේ අනුරුද්ධ තෙරුන්ගේ ගුණ ප්‍රකට කිරීමේ අරමුණින් උන්වහන්සේගෙන් අසනු මැනවැයි වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙව් ලොවට වැඩම කළ බැව් දැනගත් පිරිස භාග්‍යවතුන් වහන්සේ යළි වඩින තුරු කඳවුරු බැඳගත් සේක. භාග්‍යවතුන් වහන්සේ අභිධර්ම දේශනාව තෙමසක් මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දෙව් බඹුන්ට දේශනා කළ සේක. එහිදී සෑම දිනක ම පිණ්ඩපාත වේලාව පැමිණෙන තුරු ධර්ම දේශනාව කරන බුදුරජාණන් වහන්සේ කිසිවකුට නො දැනෙන ලෙස විශ්මිත බුදුරුවක් මවා දහම් දෙසීමට සලස්වා පිඬු පිණිස හිමාලයටත් ඉන්පසු උතුරුකුරු දිවයිනටත් වැඩම කොට ඇත.

ඒ කාලය තුළ භාග්‍යවතුන් වහන්සේට සත්කාර කොට ඇත්තේ සැරියුත් මහ රහතන් වහන්සේ ය. දන් වළදා අවසන දෙවියන්ට දේශනා කළ ධර්මය සැරියුත් මහ රහතන් වහන්සේට දේශනා කොට යළි බුදුරජාණන් වහන්සේ දෙව් ලොවට වඩිති. මෙම සිදුවීම තෙමසක් තිස්සේ සිදුවුණි. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ වප් පොහෝ දින වස් පවාරණය කර දෙව් ලොවින් දෙවිවරුන්ගේ ගුරු බුහුමන් මැද රන් ඉනිමඟින් සංකස්ස නගර ද්වාරයට වැඩම කළේ අද වන් වප් පොහෝ දිනයක දී ය. අද කවරයෙන් සිතුවම් වන්නේ එම අවස්ථාව යි.