Print this Article


බෞද්ධ සාහිත්‍ය උත්සවයේ දී සම්මානයට පාත්‍ර වූ ග්‍රන්ථ: භවාන්තර

බෞද්ධ සාහිත්‍ය උත්සවයේ දී සම්මානයට පාත්‍ර වූ ග්‍රන්ථ

භවාන්තර

රද්දොළුවේ සුභද්‍රා ධම්මපාලී මෙහෙණින් වහන්සේ

රද්දොළුවේ සුභද්‍රා ධම්මපාලී මෙහෙණින් වහන්සේ විසින් රචිත “භවාන්තර-බොදුනු හින්දු සාමග්‍රිය උදෙසා” නවකතාව වසරේ ප්‍රශස්ත නව ප්‍රබන්ධය වශයෙන් මෙවර බෞද්ධ සාහිත්‍ය උළෙලේ දී සම්මානයට පාත්‍ර විය.

* මෙහෙණින් වහන්ස, මුලින්ම මෙම කෘතියේ අන්තර්ගතය පිළිබඳව යමක් සඳහන් කළොත්?

මෙම නව කතාව ආරම්භ වන්නේ “අකනිට්ඨ” නම් වන ශුද්ධාවාස බ්‍රහ්ම තලයේ සිදුවීමකින්. අනතුරුව තුසිත දෙව් ලොවත් ඉන්පසු කාශ්‍යප බුදු සසුන් සමයේ ලක්දිව රජරට සහ උතුරු රාජධානි හරහාත් කතාව ගලා යනවා. භවයන් කිහිපයක් හරහා දිව යන නිසා මෙය “භවාන්තර” කියා නම් කළා.

* මෙවන් සංදර්භයක් මත පදනම් ව කෘතියක් රචනා කිරීමට බලපෑ විශේෂ හේතුවක් තිබෙනවාද?

සූත්‍ර පිටකය තුළ දෙවියන් උදෙසාම දේශනා කළ සුත්‍ර දේශනා ඇතුළත් දේවතා සංයුක්තය නම් කොටසක් තිබෙනවා. එසේ වුවත් අප දකිනවා වර්තමානයේ බෞද්ධයන් අතර පවා දෙවි බඹුන් පිළිබඳ විවිධ මතවාද තිබෙනවා. බුද්ධ චරිතය පිළිබඳව ඇතැම් කෘතිවලින් පවා බුදු හිමි සහ දෙවියන් සම්බන්ධ සිදුවීම් මඟහැර තිබෙනවා. එවන් සිදුවීම් බෞද්ධ සාහිත්‍යයට පසුව එකතු වූ කොටස් යැයි ද ඇතැමුන් කියනවා. නමුත් බෞද්ධ හෝ සිංහල පමණක් නොව ඕනෑම සංස්කෘතියක පැරැණි සම්භාව්‍ය සාහිත්‍ය තුළ දිව්‍ය බ්‍රහ්ම ලෙස සත්ත්වයන් භේද කොට තිබුණේ නැහැ. මිනිසුන් හා සමානව ම සියලු සත්වයන් පිළිබඳ කතා කෙරුණු සාහිත්‍යයක් තිබුණා. වර්තමාන මනුෂ්‍ය දෘෂ්ටි පථය සියලු සත්වයින්ගෙන් මනුෂ්‍ය ජාතියට කොටු වෙලා ඉනුත් ‘මගේ ජාතිය, මගේ ආගම’ සහ අවසානයේ ‘මම’ පමණක් කියන තැනට පටු වී තිබෙනවා. සීඝ්‍රයෙන් පටු වීගෙන යන මිනිස් චින්තනය පුළුල් කිරීමේ පරමාර්ථයෙනුයි භවාන්තර ලියැවුණේ.

* මිනිස් චින්තනයේ මේ පටුවීමට හේතුව ලෙස ඔබ වහන්සේ දකින්නේ කුමක්ද?

මූලිකවම මිනිසා සිය පංචේන්ද්‍රීයයන්ට කොටු වීම නිසා පසිඳුරන්ට ගෝචර නොවන එහෙත් සත්‍ය වශයෙන්ම පවතින ලෝකයක් තිබෙනවා ය කියන කරුණ අත්දකින්නට බහුතර ජනයාට නොහැකි වී තිබෙනවා. මීට හේතුව අධික තෘෂ්ණාව නිසා ඇතිවූ අධික කාර්යබහුල අවිවේකීභාවය. අවිවේකී වන තරමට අප ශරීරය හා බැඳෙනවා වැඩියි. විවේකයෙන් සිටි තරමටයි ශරීරයෙන් මිදිලා පසිඳුරන්ට ගෝචර නොවන ලෝකය අත්දකින්නට ලැබෙන්නේ.

* භවාන්තර තුළ දක්නට ලැබෙන දෙව්, බඹ තලයන් නිර්මාණය කිරීම සඳහා පාදක කරගත්තේ කුමනාකාර මූලාශ්‍රයන් ද?

සූත්‍ර පිටකය තුළත්, විශුද්ධි මාර්ගය තුළත් පංච අභිඥා වලින් දෙකක් වන දිවැස හා දිව කණ ඉපදවීමේ ක්‍රම ගණනාවක් සඳහන් වෙනවා. එමෙන්ම ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කළ භාවනා අභ්‍යාස ද ඇතැම් ආචාර්ය පරම්පරා හරහා පැවත එනවා. සාමාන්‍ය සමථ භාවනාවක් තුළින් ලැබෙන අත්දැකීම් නිශ්චිතව ම අභිඥා ගණයට අයත් කරන්නට බැහැ. ඒ සඳහා ඉහත කී භාවනා අභ්‍යාස ගුරු ඇසුරේ හිඳ ප්‍රගුණ කළ යුතුයි.

මේ කෘතියට පාදක වූයේ අපගේත් අපගේ අම්මා වන මෛත්‍රී මෙහෙණින් වහන්සේගේත් වෙනත් යෝගීන්ගේත් භාවනාමය අත්දැකීම්. එකම අත්දැකීම කීප දෙනකුම සමාන ව අත්දැක තිබේ නම් එහි විශ්වාසනීයත්වය වැඩියි. ඒ වගේම එම අත්දැකීම් පැරණි බෞද්ධ හෝ හින්දු සාහිත්‍ය තුළ ද සඳහන් වේ නම් එහිද විශ්වාසනීයත්වය වැඩියි.මෙහි ඇතුළත් කළේ එවැනි කරුණු පමණයි.

අපගේ පැරැණි බෞද්ධ සාහිත්‍ය සම්ප්‍රදාය වෙත අනුකරණයකින් තොරව යළි ප්‍රවේශ වීමට ගත් අවංක උත්සාහයක් ලෙස භවාන්තර හඳුන්වන්න පුළුවන්.

* මෙවර බෞද්ධ සාහිත්‍ය උළෙලේදී භවාන්තර සම්මානයට පාත්‍ර වනවා. ඒ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස?

මේ අපගේ ප්‍රථම නව කථාව. නූතන සිංහල සාහිත්‍ය තුළ දිව්‍ය, බ්‍රහ්ම ලෝක සම්බන්ධ කොට ලියන ලද ප්‍රථම නවකථාව මෙයයි. ඒ වාගේම බණ පොත් නොකියවන පාඨකයාට නවකතාවක් හරහා ලෞකික වශයෙන් ආධ්‍යාත්මික සංවර්ධනයට මඟ පෙන්වීමේ වෑයමක්. පුරාතන සම්භව්‍ය සාහිත්‍ය අනුගමනය කිරීමක්. ඒ සෑම අතින්ම මේ කෘතිය වර්තමාන සාහිත්‍ය ධාරාව වෙනස් වූ දිශාවකට යොමු කිරීමට ගත් උත්සාහයක්.

* ඔබ වහන්සේගේ පෞද්ගලික තොරතුරු බිඳක් පැවසුවහොත්...?

මගේ පියා ඉංජිනේරුවරයෙක්. මව ගුරුවරියක්. එකම සහෝදරයෙක් සිටිනවා. ප්‍රාථමික අධ්‍යාපනය රද්දොළුවේ කණිෂ්ඨ විද්‍යාලයෙන් ලැබුවා.ශිෂ්‍යත්වයෙන් කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වුණා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාගෙන ගුරු විභාගය ලිවීමෙන් පසුව පැවිදි වුණා. දැනට කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරියක ලෙස සේවය කරනවා.