Print this Article


කඨිනානිසංස 2: නාගිත තෙරුන්ගේ අසිරිමත් දේශනාව

කඨිනානිසංස 2:

නාගිත තෙරුන්ගේ අසිරිමත් දේශනාව


නාගිත තෙරණුවෝ සසර දී කරන ලද මහත්ඵල මහානිශංසදායි පුණ්‍යකර්මයක් දැක ඒ පිළිබඳ ව මහා සංඝයාත්, දෙවියන් සහිත සකල ලෝකයාත් දැනුවත් කිරීම පිණිස වස් පවාරණය කළ දෙතුන් දිනකින් අනද තෙරුන් අමතා මෙසේ වදාළ සේක.

“ඇවැත්නි. ආනන්ද, අද සන්ධ්‍යා භාගයෙහි හිමාලයෙහි අනවතත්ත විලට යනු කැමැත්තෙමි. මා සමඟ ඒ ගමනට යාම සඳහා ඍද්ධිබල සහිත ඒහි භික්ෂුභාවයෙන් ම පැවිද්දට පත් වූ මහරහත්වරු පන්සිය නමක් රැස් කරන්න.

මේ දැනුම්දීම අනුව ගමනට සහභාගී වීම පිණිස එක්රැස් වූ ඒ රහතුන් වහන්සේලා පන්සිය නමක් සමඟ ම භාග්‍යවතුන් වහන්සේ අහසට පැන නැඟී හිමාලය වනය හාත්පස එකපැහැර බබුළුවමින් අනවතත්ත විල මැද පිහිටි මහා නෙළුම් මලක කෙමිය මත වැඩහුන් සේක.

රහතන් වහන්සේලා පන්සිය නම ද එහි පිහිටි ඒ ඒ නෙළුම් මල් කෙමි මත එක එක නම බැගින් තැන්පත් ව වාඩි වූහ. අඳුරු වලාකුළුවලින් ගැවසීගත් අහසෙහි

ෂඩ් වර්ණ බුද්ධ රශ්මි මාලා විහිදුවමින් වැඩහුන් බුදුරජාණන් වහන්සේත්, රශ්මිධාරා විහිදුවමින් වැඩහුන් මහරහතන් වහන්සේලා නිසාත් අනවතත්ත හාත්පස ආලෝකවත් ව චමත්කාර ජනක, දර්ශනයකින් යුක්ත පෙදෙසක් බවට සැණෙකින් පත්විය. මේ අසිරිය දුටු ලක්ෂ සංඛ්‍යාත දෙවි දේවතාවෝ ද, දෙවඟනෝ ද, දිව්‍ය නාග රාජයෝ ද , බ්‍රහ්ම රාජයෝ ද අහස පුරා කුඩා සියුම් ශරීර මවාගෙන අහසේ රාශි භූත වූහ. එවැනි අවස්ථාවල දී දෙවි දේවතාවරු කුඩා සියුම් ශරීර මවා ගන්නේ කෝටි ගණන් රැස්වන නිසා ය. ඉඩකඩ සලසා ගැනීම සඳහා ය.

ෂඩ්වර්ණ බුද්ධ රශ්මි විහිදුවමින් සුවිශාල නෙළුමක් මත වැඩහුන් බුදුරජාණන් වහන්සේ මහරහත් පිරිස අමතා වදාරන සේක්, ආයුෂ්මත් ක්ෂී නාශ්‍රවවරුනි, අපගේ මෙහි සැපත්වීම නිසා ගවු ගණනාවක් මේ අහස පුරා දිව්‍ය බ්‍රහ්ම හා නාගයන් රැස්ව ඇත. යුස්මතුන් වහන්සේලා ද දකින ඒ මහා දේව සමූහයා, බ්‍රහ්ම සමූහයා දැන් දැන් අපට අසිරිමත් දේශනාවක් අසන්නට ලැබේ යැයි අපරිමිත සතුටකින් පසුවෙති. ම විසින් හෝ මේ රහත් පිරිස අතරින් කෙනෙක් මහා දේව සමුහයා සතුටු කරවනු පිණිස දේශනාවක් කළ යුතුව ඇත. සාංසාරික ගමනේ දී යුෂ්මතුන් වහන්සේලා අතුරෙන් අති විශිෂ්ටතම මහත් ඵල මහානිශංසදායි පුණ්‍ය ක්‍රියාවක් සිදු කරගත් භික්ෂු නමක් මෙහි සිටී නම් බුද්ධ ප්‍රමුඛ මහරහතුන් ඇතුළු මේ දේව සමූහයා මැද දේශනා කිරීමට මේ උචිත ම අවස්ථාව යි.

මෙම වැදගත් අවස්ථාවෙන් ලෝකයට අනාගතයේ දී මහඟු සේවාවක් සිදු වන්නේ ය. අනාගත ලෝකයා ද ඒ පුණ්‍ය විපාක පතා වඩ වඩාත් පින් දහම් කර ගන්නෝ ය.

තථාගතයන් වහන්සේගේ මේ ප්‍රකාශනය නිම වෙත් ම මහ රහතන් වහන්සේලා නිහඬ ව වැඩ සිටිය හ. එකෙනෙහි නාගිත මහ රහතන් වහන්සේ පූර්වේනිවාසානුස්මෘති ඥානය යොමු කොට බලත් ම පූර්ව ජන්මයක දී උන්වහන්සේ කරගත් මහා පින්කමක් පැහැදිලිව දක්නට ලැබිණ.

"එකී පින්කම බුදුරදුන් ප්‍රධාන මහා සංඝයා වහන්සේලා මැද, දේව සමූහයාටත් ඇසෙන පරිදි ප්‍රකාශ කිරීමට මේ සුදුසු ම වේලාව යි. \

ම විසින් සිදුකරන ලද ඒ මහා පුණ්‍ය ක්‍රියාව ඒකාන්තයෙන් ම බුදුරජාණන් වහන්සේ දිවැසින් දැක මේ අවස්ථාව සලසාගත් බව මගේ දිව නුවණට පැහැදිලි ව පෙනේ.

බුදුපියාණන් වහන්සේ හෙළි කිරීමට අදහස් කළ ඒ මහා කුසල ක්‍රියාව උන්වහන්සේගේ ම සිතැඟි පරිදි ප්‍රකාශ කළ යුතු යයි " සිතා තමන් වැඩහුන් මහ පියුම් කෙමියෙන් අහසට පැන නැඟී බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ නමස්කාර කොට දොහොත් මුදුන් දී අහසෙහි එකත් පසෙක වැඩහිඳගෙන මෙම දේශනාව කළ සේක.

බුදුරජාණන් වහන්ස, අදින් අනූ එක් කල්පයකට පෙර විපස්සී නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වූ සේක. එකල මම එම බන්ධුමතී නුවර සෑහෙන පවුලක උපත ලබා නිසි කල ශිල්ප ශාස්ත්‍රාදිය උගෙන වැඩි වියට පැමිණ නැති බැරි අයට උපකාරවත් වීම, කාට හෝ කරදරයක් විනි නම් ඉදිරිපත්ව උපකාරවත් වීම, මානසික ව අසහනයට පත්වූ පුද්ගලයකුට වුවද ඔහුගේ දුක්ගැනවිලි විමසා බලා පිහිට වීම, විවිධ පරෝපකාර කටයුතු සහ වන සතුන්ට පවා නිදහසේ ජීවත්වීමට අවශ්‍ය ක්‍රියාවන්ගෙන් ජනතාව දැනුවත් කිරීම ආදි කටයුතු වල නිරත වී සිටියෙමි.

එසේ ම දානපතියෙක් ව බොහෝ පින් දහම් කර ගතිමි. සතර පෝයට සිල් සමාදන් වුණෙමි. දිනක් ඒ විපස්සි බුදුරජාණන් වහන්සේ බන්දුමතී නුරව බන්ධුමන්තු රජු ප්‍රධාන මහ පිරිසට ධර්ම දේශනා කරද්දී ඒ බණ අසා බලවත් ලෙස පැහැදීමට පත්ව උන්වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේට වස් ආරාධනා කොට තුන් මාසයක් පුරා පරිවාර පිරිසත් සමඟ ඇප උපස්ථාන, චීවර මාසයේ දි මහා කඨින පූජෝත්සවයක් සිදු කළෙමි.

ඒ කඨින මහා පූජාවේ දී විහාරස්ථානයට කැප සරුප් සෑම භාණ්ඩයක්ම මම පූජා කළෙමි. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා දහස් ගණනක් වැඩම කරවාගෙන කඨින චීවර පූජාවත් සමඟ මහා දානමය පුණ්‍ය ක්‍රියාවක් ද සිදු කළෙමි. බුදුරජාණන් වහන්ස,

“කඨින දානං දත්වාන – සංඝෙ ගුණවරුත්තමේ

ඉතෝ තිංසේ මහාකප්පේ – නාභීජානාමි දුග්තතිං”

අඩුපාඩුවකින් තොරව බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා විෂයයෙහි සිදුකරන ලද ඒ මහා කඨිනමය පුණ්‍ය ක්‍රියාවේ බලයෙන් ඉකුත් තිස් කල්පය තුළ කවරදාකවත් සතර අපායකට නො වැටුණෙමි.

අට්ඨාරසන්නං කප්පානං – දෙවරජ්ජමකාරයිං

චතුත්තිංඝක්ඛන්තුං – දේවින්දෝ – දෙවරජ්ජමකාරයිං

බුදුරජාණන් වහන්ස, කල්ප දහ අටක් මුළුල්ලෙහි දිව්‍ය ලෝකවල ම වාසය කළෙමි. තිස් හතර වාරයක් දෙව්ලොව ශක්‍ර දිව්‍ය රාජ්‍ය සම්පත්තිය වින්දෙමි. මේ මා ලැබූ කඨින පින්කමේ ආනිශංසයෝ ය.

ආරපථෙ ආරපථේ – චක්කවත්ති සිරිං ලහේ

අසීතිං ච චතුක්ඛන්තුං – චක්කවන්ති අහෝසභං

කඨින සිවුර සඳහා වටිනා තුසී වර්ගයට අයත් සුවිශේෂ කපු පුළුන් සොයාගෙන එයට පට කෝසෙය්‍ය නුල් අඩුවෙන් යොදා නූල් අඹරා වටිනා වස්ත්‍රයක් නිමකොට ගෙන එය කපා කොටා සන්නාලි කර්මාන්තයෙහි දක්ෂයන් සහාය කොට ගෙන, මසා පඬුපොවා සුදුසු අයුරින් විනයානුකුල ව සකස් කොට ජංගෙය්‍ය ගීචෙය්‍ය ද යොදා ගණ්ඨි පාසාදි යෙන් ද යුක්තව, කඨින චීවරයේ කටයුතු නිම කොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ලබන ලද පුණ්‍ය ශක්තිය අනුව ඉඳිකටු ඇස්සක් පාසා දිව්‍ය සම්පත් මනුෂ්‍ය සම්පත් ලැබුවෙමි.

මෙහි ජංගෙය්‍ය යනු සිවුරේ පය වදින පහත නුවාවට, වාටියට අල්ලා මසනු ලබන අතිරේක සිවුරු පටිය යි.

යත්ථ යත්ථූපපජ්ජාමි – ලභිත්වා සබ්බසම්පදං

පුරිසානං උත්තමෝ භෝමි – කඨිනදානස්සිදං ඵලං

භාග්‍යවත් බුදුරජාණන් වහන්ස,මනුෂ්‍ය ලෝකයේ උපත ලද සෑම අවස්ථාවක දීම උසට ගැළපෙන මහතත්, මහතට ගැළපෙන උසත්. ඒ දෙකට ම ගැළපෙන පාට පෙනුමක් ඇති, වතු පිටි කුඹුරු ආදියෙන් අනූන මහා සම්පත් ඇති, ඒ ඒ කාලවල පිළිගත් උසස් වංසවත් පරම්පරාවල ම උප්පත්තිය ලැබුවෙමි. මේ එක් කඨින දානයක ආනිශංස ය. මෙබඳු අයුරින් මම සසර දී සම්පත් ලැබුවෙමි.