Print this Article


ආර්ය ශ‍‍්‍රාවක ප‍‍්‍රතිපදා - 11 : සම්මා සම්බුද්ධ බුදුගුණ භාවනාව

ආර්ය ශ‍‍්‍රාවක ප‍‍්‍රතිපදා - 11 :

සම්මා සම්බුද්ධ බුදුගුණ භාවනාව

සතිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වඩන්න, දස අනුස්සති භාවනාවක් හැටියට පුරුදු පුහුණු කරන්න කියල පසුගිය ලිපියේ දී උපදෙස් දුන්නා. දැන් දස අනුස්සතියේ පළමුවැන්න බුද්ධානුස්සතිය පිළිබඳ හැඳීන්වීමක් කරලා, එය භාවනාවක් හැටියට වඩන්න අවශ්‍ය කමටහන් ලබා දෙන්නම්.

අනුස්සති යනු නැවත නැවත සිහි කිරීම යි. බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණස්ඛන්ධය නැවත නැවත සිහි කිරීම බුද්ධානුස්සතිය යි. තවත් විදියකට කියනව නම්, බුදුගුණ කෙරෙහි උපදින සතිය බුද්ධානුස්සතිය යි. බුද්ධානුස්සතිය භාවනාවක් හැටියට වඩන්න කලින් සම්පූර්ණ කළ යුතු මූලික කාරණා කිහිපයක් තියෙනවා. අප ඒවාට භාවනා පූර්ව කෘත්‍ය කියා කියනවා. භාවනාවට පෙර සූදානම්වීම් වශයෙනුයි ඒවා කළ යුත්තේ. පූර්ව කෘත්‍ය භාවනාවේ අත්තිවාරම ලෙස සැලකිය යුතුයි.එසේ කළ යුතු පූර්ව කෘත්‍ය මෙසේ දක්වන්න පුළුවන්.

1. තෙරුවන් වන්දනා කිරීම.

2. තුනුරුවන් හා ආචාර්යවරුන් කමා කරවා ගැනීම.

3. ජීවිත පරිත්‍යාගය

4. පින් දීම හා තමා පින් අනුමෝදන්වීම.

5. සිල් ආවර්ජනය කර ගැනීම.

6. තමාට අවවාද කර ගැනීම.

7. මෙත් වැඩීම, අසුබය හා මරණය සිහි කිරීම.

දැන් ඔබ වන්දනා කළ බුද්ධ රූපය දෙස හොඳීන් බලා, බාහිර වශයෙන් පැමිණෙන අන්තරායන්ගෙන් ආරක්‍ෂාවීමට මේ ගාථාව ශබ්ද නගා කියන්න.

පඤ්ච මාරෙ ජිනො නාථො - පත්තො සම්බොධි මුත්තමං

චතුසච්චං පකාසෙසි - මහාවීරං නමාමහං

එතෙන සච්චවජ්ජෙන - සබ්බෙ මාරා පලායන්තු

ඊළඟට මේ ගාථාවේ තේරුම වාක්‍යයෙන් වාක්‍ය හිතෙන් හිතන්න.

1. පස්මරුන් පරාජය කොට දිනූ බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්බෝධියට පැමිණි සේක.

2. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කළ සේක.

3. ඒ මහා වීරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

4. මේ සත්‍ය වචනය හේතුවෙන් සියලු මාරයෝ පලා යෙත්වා.

බුදුගුණ අනන්තයි. සියලු බුදුගුණ සම්පූර්ණයෙන් ම දැන ගන්න පුළුවන් අයෙක් මේ තුන් ලෝකයේ ම නැහැ. ඉන්නව නම් ඒ තවත් බුදුවරයෙක් ම විතරයි.

නමුත් සියලු බුදුගුණ ඇතුළත් වන සේ අරහං ආදී බුදුගුණ නවයක් උගන්වා තියෙනවා. “ඉතිපි සො භගවා අරහං, සම්මාසම්බුද්ධො, විජ්ජාචරණසම්පන්නො, සුගතො, ලොකවිදූ, අනුත්තරො, පුරිසදම්මසාරථී, සත්ථාදෙවමනුස්සානං, බුද්ධො භගවා” කියන පාඨය බුදුරජාණන් වහන්සේ ම දේශනාකරන ලද්දක්. ගැඹුරු අර්ථ රාශියක් ඇති මේ බුදුගුණ නවය එක් වර සිහි කරන්න යාම අපහසු අමාරු දුෂ්කර කාර්යයක්.

කළ යුතු හොඳ ම දේ තමයි එක එක බුදුගුණය මුලින් ම හොඳීන් තේරුම් කර ගෙන, අවබෝධ වුණාට පස්සේ එක් එක් බුදුගුණය භාවනා කිරීම. ඒ සඳහා ඔබට බුදුගුණ කමටහන් මෙතැන් සිට දක්වන්නම්.

අරහං බුදුගුණ භාවනාව

අරහං කියන වචනයේ සිංහල තේරුම සුදුසු තැනැත්තා කියන එකයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොයෙක් සුදුසුකම් තියෙනවා. ඉන් ප්‍රධාන ම සුදුසුකම තමයි දෙවි මිනිසුන්ගේ සියලු පුද පූජා ලැබීමට සුදුසුවීම. මුළු මහත් ලෝකයාට ම ප්‍රයෝජනය පිණිස පවතින්නේ මෙම පූජාර්හ ගුණය යි. උන්වහන්සේට ඒ සුදුසුකම ලැබුණෙ ් එක්දහස් පන්සියයක් පමණ වූ සියලු කෙලෙස් වාසනාව සහිතව නිරවශේෂයෙන් නැති කළ නිසයි. ප්‍රහීන කළ නිසයි. නැත්තට ම නැති කළ නිසයි. පුළුවන්නම් මේ ගාථාව කටපාඩම් කර ගන්න. කමටහන වඩන්න කලින් ශබ්ද නගලා මේ ගාථාව කිහිප වරක් කියනව නම් හොඳයි. තේරුම දැන ගෙන, තේරුමත් හිතමින් කියනව නම් වඩාත් හොඳයි.

සවාසනෙ කිලෙසෙ සො එකො සබ්බෙ නිඝාතිය

අහූ සුසුද්ධ සන්තානො පූජානඤ්ච සදාරහො

' ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වාසනාව සහිතව' සියලු කෙලෙස් නසා, අතිශයින් ශුද්ධ වූ සන්තාන ඇත්තෝ ය. දෙවි මිනිසුන් විසින් කරනු ලබන පූජාවන්ට හැම කල්හි ම සුදුසු වන්නාහ.

අරහං බුදුගුණය වැඩීම සඳහා සරල කෙටි කමටහනක් පළමුවෙන් ම දක්වන්නම්. “මාගේ බුදුපියාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ සේක. කෙලෙස් සතුරන් නැති කළ සේක. සියලු පුද පුජාවන්ට සුදුසු වන සේක. මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ අරහං නම් වන සේක. අරහං නම් වන සේක. අරහං නම් වන සේක” තවත් කමටහනක්.

“මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් අරහං නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ සියලු කෙලෙස් සතුරන් නැති කළ හෙයින් අරහං නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ සසර ගමන නතර කළ හෙයින් අරහං නම් වන සේක. මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ සියලු ආමිස ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට සුදුසු හෙයින් අරහං නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ හෙයින් අරහං නම් වන සේක”

මේ විදියට ටික දිනක් අරහං පදයේ සිංහල තේරුම ගෙන කමටහන වඩන්න. මෙය හොඳට

සිතට වශී වුණාට පස්සේ සම්මා සම්බුද්ධ බුදුගුණය වඩන්න පටන් ගන්න.

දෙවන බුදුගුණය සම්මා සම්බුද්ධ ගුණය යි. බුදුරජාණන් වහන්සේ අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලයට අයත් සියලු ම දේවල් තමන් වහන්සේ විසින් ම අවබෝධ කර ගත් නිසා සම්මා සම්බුද්ධ ගුණය ලැබී තියෙනවා. පුළුවන් නම් මේ ගාථාව කටපාඩම් කර ගන්න. කමටහන වඩන්න කලින් ශබ්ද නඟලා මේ ගාථාව කිහිප වරක් කියනව නම් හොඳයි. තේරුම දැන ගෙන තේරුමත් හිතමින් කියනව නම් වඩාත් හොඳයි.

සබ්බකාල ගතෙ ධම්මෙ සබ්බෙ සම්මා සයං මුනි

සබ්බාකාරෙන බුජ්ත්වා එකො සබ්බඤ්ඟක්‍දුතං ගතො

ඒ බුදුරජාණන් වහන්සේ අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලයන්ට අයත් සියලු ධර්මයන් තමන් වහන්සේ විසින් ම මනාකොට අවබෝධ කර ගනිමින් සර්වඥ බවටපැමිණි සේක.

සම්මා සම්බුද්ධ ගුණය වැඩීම සඳහා සරල කෙටි කමටහනක් පළමුව දක්වන්නම්.

“මාගේ බුදුපියාණන් වහන්සේ අතීතයේ සිදු වූ, අනාගතයේ සිදු වන, වර්තමානයේ සිදු වෙමින් පවතින සියලු දේ අතට ගත් නෙල්ලි ගෙඩියක් සේ දැන දැක අවබෝධ කළ සේක.

මේ කාරණා නිසා මාගේ බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක” තවත් කමටහනක්

“මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ විශේෂයෙන් දතයුතු සියලු ධර්මයන් පරෝපදේශ රහිත ව මනාකොට දත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක. මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ දුක්ඛ සත්‍යය පිරිසිඳ දත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ සමුදය සත්‍යය ප්‍රහාණය කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ මාර්ග සත්‍යය වැඩූ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ සංඛාර, විකාර, ලක්ඛණ, පඤ්ඤත්ති, නිබ්බාන යන පංචවිධ ඥෙය්‍ය මණ්ඩලය පරෝපදේශ රහිතව තමන් වහන්සේ ම අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.