Print this Article


ආදර්ශවත් පැවිදි දිවියක උදාර අරමුණු

මෙවර උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කරන්නේ මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී මහා වංශාලංකාර ශ්‍රී සද්ධර්මවාගීස්වරාචාර්ය සිරි සුමනතිස්ස ගෝණදූවේ ගුණානන්ද නායක මා හිමිපාණන් වහන්සේ ය

ආදර්ශවත් පැවිදි දිවියක උදාර අරමුණු

අපේ හාමුදුරුවනේ, කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ගත කළ අවධියෙහි ශාසනික වත් පිළිවෙත් පිළිබඳ පුහුණු ව ලබා ගැනීමේ දී ගුරු හාමුදුරුවරුන්ගේ ආභාසය ලබා ගත්තේ කුමන ආකාරයෙන් ද?

2500 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කුල දරුවන් ශාසනයට දායාද කිරීමේ විශාල උනන්දුවක් පැවතුණා. එම කාල වකවානුවේ දී ගෝණදුවේ සුමනතිස්ස නා හිමි , ගෝණදූවේ ශ්‍රී ගුණරතන නා හිමි, හා මාවල ශ්‍රී ඤාණරතන නා හිමි යන නා හිමිපාණන් වහන්සේලා ගේ ආචාර්යත්වයෙන් 1956 ජූලි 06 දින කොරොස්දූව වජිරකොත් පුරාණ මහා විහාරස්ථානයේ දී ගෝණදූවේ ගුණානන්ද යන ශාසනික නාමයෙන් උතුම් වූ පැවිදි ජීවිතයට ප්‍රවිෂ්ටවීමේ භාග්‍ය උදා වුණා.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරන්දර ව වැඩ සිටි මොල්ලිගොඩ ප්‍රවචණෝදය පරිවේණාධිපති අපවත් වී වදාළ මොල්ලිගොඩ ශ්‍රී අරියවංශාලංකාර මහා නා හිමිපාණන් වහන්සේගේ පා සෙවණේ පුරුදු පුහුණු වුණ උතුම් ශාසනික වත් පිළිවෙත් සම්ප්‍රදායන් වර්තමාන ශාසනික ජීවිතයටත් ආදර්ශවත් බවක් එක් කිරීමට තරම් උදාරත්වයක් ගැබිවෙලා තිබුණ බව සිහිපත් කළ යුතුයි.

උන්වහන්සේ තුනුරුවන් වන්දනා කරමින්, වත් පිළිවෙත්වල නියැළෙමින්, කාල කළමනාකරණය කරමින්, වගකීම් දරමින්, ඉතාමත් නිහතමානී ව,

ප්‍රතිපත්තිගරුක ව ගත කළ ආදර්ශවත්, ශ්‍රේෂ්ඨත්වය මගේ අනාගත භික්ෂු ජීවිතය උදාරත්වයකින් ගොඩනගා ගැනීමට හේතු වූ බව මේ අවස්ථාවේ දී ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. 1963 මැයි 31 වන දින මල්වතු මහා විහාරීය උපෝෂථාගාරයේ දී උතුම් වූ උපසම්පදා සීලයට පත්වූ බවත් ප්‍රකාශ කළ යුතුයි.

ඔබ වහන්සේ ගේ අධ්‍යාපනය හා ශාසනික සේවාවන් කෙටියෙන් පැහැදිලි කරනවා නම්,

මම මොල්ලිගොඩ ප්‍රවචණෝදය පිරිවෙනින් මූලික අධ්‍යාපන සම්පුර්ණ කරගනිමින් , 1966 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, 1983 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය විෂය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබාගෙන 1976 වර්ෂයේ සිට රජයේ පාසල් විශාල ප්‍රමාණයක ගුරුවරයකු වශයෙන් සේවය කළා. 1978 වර්ෂයේ සිට උතුරු කළුතර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකම් , 1979 වර්ෂයේ සිට කළුතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති හා 2002 වර්ෂයේ සිට අඛණ්ඩ ව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී වශයෙන් විශාල ශාසනික කාර්ය භාරයක නිරතවන බවත් ප්‍රකාශ කළ යුතුයි.

ඔබ වහන්සේ ගත කළ සාමණේර අවධිය හා නූතන සාමණේර භික්ෂූ ජීවිතය අතර යම් පරතරයක් පවතිනවා ද? ඒ පිළිබඳව ඔබ වහන්සේ දකින්නේ කුමන ආකාරයෙන් ද?

විශාල පරතරයක් පවතින බව පැහැදිලියි. එදා අප ගත කළ සාමණේර අවධිය ඉතාම අර්ථවත්. ශාසනික වත් පිළිවෙත් හි නියැළෙමින් , වන පොත් කරමින්, දිනපතාම රාත්‍රියට නායක ස්වාමීන්වහන්සේ වෙත පාඩම් දීම පුරුද්දක් වශයෙන් පැවතුණා. උන්වහන්සේලා අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලුවා වගේම, සාමණේර ස්වාමින් වහන්සේලාත් අධ්‍යාපනය

පිළිබඳව කැපකිරීමකින් කටයුතු කරමින් , නිතරම උනන්දුවෙන් පොත පත පරිශීලනය කිරීමේ ස්වභාවයක් තිබුණා. වර්තමානය තුළ අන්තර්ජාල පහසුකම්, ජංගම දුරකතන වැනි තාක්ෂණික මෙවලම් සඳහා හුරුවීමත් සමඟ පොත පත පරිශීලනය අඩුවීම ඇතැම් විට භික්ෂූ ජීවිතයට හානියක් විය හැකියි. වර්තමානය තුළ සියලු දෙනා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න උනන්දු වුණත්, ප්‍රාචීන භාෂා පිළිබඳ දැනුම අඩු මට්ටමක පැවැතීම ශාසනික උන්නතියට විශාල පාඩුවක්. එවකට ධර්මධර, විනයධර මහ තෙරුන් වහන්සේලා වැඩ සිටියත් , වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙන් එබඳු ස්වමීන් වහන්සේලා බිහිවීමේ අඩු ප්‍රවණතාවයක් පැවතීම ශාසනික වශයෙන් විශාල පාඩුවක්.

ශාසනාරක්ෂක මණ්ඩලයේ ධූර දරමින් වැඩ සිටින ඔබ වහන්සේ ශාසනය සුරක්ෂිත කිරීමෙහිලා ගත් ක්‍රියාමාර්ග පිළිබඳ ව සිහිපත් කරනවා නම්,

විහාරාධිපති ස්වාමීන් වහන්සේලාට විහාරස්ථාන කළමනාකරණය පිළිබඳ වැඩසටහන් හා සාමණේර ස්වාමීන්වහන්සේලාගේ භික්ෂු ආකල්ප වර්ධනය කිරීමේ නේවාසික වැඩ සටහන් ක්‍රියාත්මක කළා. කිසිවකුගේ අවධානයට යොමු නොවුණ පිරිසක් වශයෙන් සැලකිය හැකි ශාසනයට දරුවන් දායාද කළ මව්පියන් වෙනුවෙන් ශාසනාරක්ෂක මණ්ඩලය මාර්ගයෙන් 2009 වර්ෂයේ සිට නිවාස ඉදිකරගැනීම සඳහා ආධාර ලබාදීමේ වැඩ පිළිවෙලක් දියත් කර තිබෙනවා. ඒ යටතේ නිවාස 250ක් ඉදිකරීමට ආධාර ලබාදී ඇති බවත්, මෙම ඔක්තෝබර් මස නිවාස 50කට ආධාර ලබාදීමට කටයුතු කළ බවත් ප්‍රකාශ කළ යුතුයි. එම මව්පියන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැපකිරීමක් සිදු කළ පිරිසක්. සාමණේර ස්වාමීන් වහන්සේලා අධ්‍යාපනය ලබා, දැන උගත් ස්වාමීන් වහන්සේලා වශයෙන් ආගමික , ශාසනික, සාමාජික ධර්ම ශාස්ත්‍රීය සේවයෙහි යෙදෙමින් උන්වහන්සේලා ශාසනය තුළ රැඳීමට එවැනි ක්‍රියාදාමයන් තුළින් අනුබලයක් ලැබෙනවා.

මව්පියන් පෝෂණය කිරීමට සිවුරු හැර යා යුතුයි යන තීරණයට ඇතැම් විට එළඹිය හැකි බැවින්, එම මව්පියන් පිළිබඳව සොයා බැලීමත් උන්වහන්සේලා ශාසනයේ රැ¼දීමට අනුබලයක්.

ශාසනාරක්ෂක මණ්ඩලය මගින් පවත්වාගෙන යනු ලබන අරමුදල හරහා දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන් වෛද්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙන අතරම, දහම් සිසු සවිය යන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දහම් පාසල් දරුවන් වෙනුවෙන් කෝටියක මුදලක් ආධාර වශයෙන් ලබාදී තිබෙන බවත්, එම සේවාවන් තවදුරටත් අඛණ්ඩ ව සිදුවන බවත් ප්‍රකාශ කළ යුතුයි.

ත්‍රිපිටකයට වැරැදි අර්ථකතන සපයමින් , බෞද්ධ ඉතිහාසය විකෘති කරමින් පැවැති වකවානුවේ දී එය වළක්වාගැනීමට ශාසනාරක්ෂක මණ්ඩලය වශයෙන් ගත් පියවර සාර්ථක වෙලා තිබෙනවා ද?

ධර්මය හැටියට වැරැදි අදහස් ප්‍රකාශ කරනවා නම්, එය සම්බුද්ධ ශාසනයටත් , බුද්ධ ධර්මයටත් විශාල හානියක්. මේ රට මේ තරමට හෝ ආරක්ෂාකාරීව පැවතුනේ බුදු දහම නිසයි. ධර්මය ආරක්ෂා කිරීමට අප ශාසනික වශයෙන් බැඳී සිටිනවා. සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් පත් කළ කමිටුව මඟින් ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයක් පිහිටුවමින්, සෙසු කණ්ඩායම් හා එක්ව රට තුළ මතයක් ගොඩනැගීමට කටයුතු කළ බවත් සිහිපත් කළ යුතුයි.

ඒ වගේම ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කිරීමටත්, ඒ පිළිබඳ වැරැදි අර්ථකතන ලබාදීම පාලනය කිරීමටත්, ශාසනාරක්ෂක මණ්ඩලය වශයෙන් බෞද්ධ ග්‍රන්ථ නියාමන පනත නමින් පනතක් නිර්මාණය කිරීමට කටයුතු කළ බවත් මේ අවස්ථාවේ දී ප්‍රකාශ කළ යුතුයි.