Print this Article


පිරිවෙන්

 

පිරිවෙනටත් බුදුසරණ

 

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර
සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]

බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ


පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය

ප්‍රාචීන ශාස්ත්‍රාලය විද්‍යොදය පිරිවෙනෙහි ස්වර්ණමය යුගය

මෙම ලිපියෙහි මුල් කොටස අධි වප් පුර අටවක පෝදා (සැප්තැම්බර් 24) පත්‍රයේ පළවිය.

කල්කටා සංස්කෘත මහා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවර, ඇම්.ඒ, පී.එච්.ඩී, උපාධිධාරී ‘සතිශ්චන්‍ද්‍ර විද්‍යාභූෂණ’ පඬිතුමා ද අප නාහිමියන්ගේ ශ්‍රේෂ්ඨ ශිෂ්‍යවරයෙකි.

මෙම පඬිවරයා සිය රටට යෑමට මත්තෙන් ස්වකීය ආචාර්යවරයා වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ට ප්‍රශස්තියක් වශයෙන් ‘ඔං ශ්‍රී සුමංගල ප්‍රශස්ති’ යනුවෙන් ආරම්භ කොට ශ්ලෝක 33 කින් ප්‍රබන්‍ධ සංස්කෘත ශ්ලෝක පන්තියක් මුද්‍රණය කොට පිරිනැමුවේ ය.

‘චට්ටිගම පුඤ්ඤානන්ද’ නම් චිතගොන් නුවර භික්‍ෂු නමක් මෙහි පැමිණ මාහිමියන් වහන්සේ වෙතින් පාලි සහ බුද්ධ ධර්මය ඉගෙන ගෙන සිය රටට ගොස් මහා විද්‍යාලයක පාලි ආචාර්යවරයෙක් බවට පත් විය. මාහිමියන් වහන්සේ වෙතින් ඉගෙන ගත් ලාංකික ශිෂ්‍යන්ගේ ප්‍රමාණය අතිවිශාල ය.

විද්‍යොදය පිරිවෙනෙහි වැඩ විසූ පරිවෙණාධිපතීන් වහන්සේලාගේ කුශාග්‍ර බුද්ධිමත්භාවය නිසා මෙන්ම එහි ඉගෙන ගත් දක්‍ෂ ශිෂ්‍යයන් නිසා විද්‍යොදය පිරිවෙන දිනෙන් දින බබළන්නට විය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වහන්සේ හැරුණු කොට සතිශ්චන්‍ද්‍ර විද්‍යාභූෂණ පඬිවරයා, මහගොඩ ඤාණිස්සර නාහිමියන් කෙරෙහි මහත් වූ භක්තියෙන් කටයුතු කළ බව එතුමා විසින් රචිත ශ්ලෝකයකින් පැහැදිලි වේ. තවද, විද්‍යොදය පිරිවෙනෙහි පරිවෙණාධිපති ධුරය ලාබාල වියේ දී ම ලබාගත් ඤාණිස්සර නාහිමියෝ පිරිවෙනෙහි දියුණුවට කටයුතු රාශියක් කළ අතර, ශිෂ්‍ය සංඛ්‍යාව 600 දක්වා වර්ධනය කර ගැනීමට ද සමත් වූහ. එසේම ත්‍රිපිටකය පිළිබඳ හසල දැනුමකින් යුතු වූ උන්වහන්සේ ‘හේවාවිතාරණ ත්‍රිපිටක ග්‍රන්‍ථමාලාව’ සංශෝධනය කිරීම සඳහා දායකත්‍වය ලබා දුන්හ. තව ද, ‘සමන්තකූටණ්ණනා’, ‘දම්පියා අටුවා ගැටපදය’, ‘නීති ශතකය’, ‘වෘත්තරකරය’ වැනි කෘතීන් ශුද්ධ කොට මුද්‍රණය කරවීය. උන්වහන්සේගෙන් අනතුරුව කහවේ ශ්‍රී සුමංගල රතනසාර නාහිමියෝ පරිවෙණාධිපති ධුරය අවුරුදු 34 ක් හෙබවූයේ ය. උන්වහන්සේ ශාස්ත්‍රාලෝකයෙන් විද්‍යොදය පිරිවෙන ආලෝකමත් කළේ පාලි, සංස්කෘත, සිංහල යන භාෂාත්‍රයෙන්ම ග්‍රන්‍ථ රචනා කිරීමෙනි. ඒ අතර ‘කළුපා සාරාර්ථ චන්‍ද්‍රිකා’, ‘සාරස්වත ව්‍යාකරණ ව්‍යාඛ්‍යාව’, ‘ලඝුසංස්කෘත ප්‍රවේශය’, ‘සිදත් සඟරා ව්‍යාඛ්‍යාව’ සහ ‘සැළලිහිණි සන්දේශ සාරාර්ථ– ව්‍යාඛ්‍යාව’ වැනි ග්‍රන්‍ථ සඳහන් කළ හැකි ය.

තවද අට්ඨකථා කිහිපයක් සහ ‘සද්ධම්මෝපායන’, ‘සුගන්‍ධසාර’, ‘බාලාවතාර’ වැනි කෘති කිහිපයක් සංශෝධනය කිරීම ද උන්වහන්සේගේ පෘථුල දැනුම පෙන්නුම් කරන්නකි. විද්‍යොදය පිරිවෙනෙහි දියුණුව වෙනුවෙන් කැප කළ උන්වහන්සේ නොයෙක් නව ඉදිකිරීම් සිදු කළේ ය. වර්තමානයේ පවා දැකගත හැකි ‘ශ්‍රී සුමංගල ධර්ම– ශාලාව’ ඉදි වී ඇත්තේ උන්වහන්සේගේ සමයේ බව කිව හැකි ය. ශිෂ්‍ය නිවාස තුනක් ද මේ සමයෙහි ම ඉදි වූ බව දැක්වේ.

උන්වහන්සේගෙන් පසුව පරිවෙණාධිපති ධුරය හෙබවූයේ සංස්කෘත විශාරද බද්දේගම ශ්‍රී පියරතන නාහිමියෝ ය. විද්‍යොදය පිරිවෙනේ දියුණුව වෙනුවෙන් කැපවුණු උන්වහන්සේ ශාස්ත්‍රීය වශයෙන් ද නොයෙක් ග්‍රන්‍ථ පුනර් මුද්‍රණය කළහ.

අනතුරුව විද්‍යොදය පිරිවෙනෙහි පරිවෙණාධිපති ධුරය හෙබවූයේ ඇවිදින පුස්තකාලය යැයි විරුදාවලිය ලත් වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියෝ ය. සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත යන චතුර්භාෂාවෙන් ම ග්‍රන්‍ථකරණයෙහි යෙදුණු උන්වහන්සේ විද්‍යොදය පිරිවෙන බැබළවූහ. ශ්‍රී සෝරත නාහිමියන්ගේ අතින් සංග්‍රහ වූ ‘ශ්‍රී සුමංගල ශබ්දකෝෂය’ පමණක් වුව ද උන්වහන්සේගේ දැනුමේ ස්වභාවය පළ කරයි. නාහිමි අතින් සංග්‍රහ වූ ග්‍රන්‍ථ පිළිබඳ විමසීමේ දී ‘ප්‍රාකෘත සූක්ති මඤ්ජරී’, ‘සිංහල දශ කුමාර චරිතය’, ‘වෘත්තරත්නාකර සරලාව්‍යාඛ්‍යා’, ‘දහම් සොඬකාව්‍ය (පරිකථාව)’, ‘මයුර සන්ෙ‍ද්ශ විස්තර වර්ණනාව’, ‘බුත්සරණ ගැටපද විවරණය 1, 3 කාණ්ඩ’, ‘පරෙවි සංදේශ පරිකථාව’, ‘එලුසඳැස් ලකුණු සඤ්ජීවනී ව්‍යාඛ්‍යා’, කව්සිළුමිණ කල්පලතා ව්‍යාඛ්‍යා’, ‘සෞන්දරනන්ද කාව්‍ය කල්පලතා ව්‍යාඛ්‍යාව’, ‘අමාවතුර ගැටපද විවරණය’, ‘කථාතරංගිණී’, ‘කථාමෘතය’, ‘පාසල් දවස’, ‘සාහිත්‍ය සේවනය’, ‘ගිරා සන්ෙ‍ද්ශ විස්තර වර්ණනාව’, ‘හංස සන්ෙ‍ද්ශ විස්තර වර්ණනාව’, සද්ධර්මරත්නාකර ගැටපද විවරණය (කාණ්ඩයක්)’, ‘පූජාවලී ගැටපද විවරණය (කාණ්ඩයක්)’, ‘කුසජාතක කාව්‍ය සංග්‍රහය’, ‘කාව්‍යශේඛර ගැටපද විවරණය’ සහ ‘දළදා පහන (දළදා සිරිතෙහි පරිකථාව)’ වැනි නව ග්‍රන්‍ථ සහ සංස්කරණ හඳුන්වා දිය හැකි ය.

නාහිමියෝ ග්‍රන්‍ථකරණයෙන් පමණක් නොව විද්‍යොදය විශ්වවිද්‍යාලය හෙවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමෙන් ශ්‍රී ලංකාවාසී දරු දැරියන්ගේ නැණස පැදීමට ද පියවර තැබූහ.

වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගෙන් පසුව විද්‍යොදය පිරිවෙනෙහි පරිවෙණාධිපති ධුරයට පත් වූ ආගම චක්‍රවර්ති කළුකොඳයාවේ පඤ්ඤාසේඛර නාහිමියෝ ද ‘සිංහල පුවත්පත් සඟරා’ ආදී කෘති ද සූත්‍ර භාවසන්න අතිවිශාල ප්‍රමාණයක් ද සංග්‍රහ කරමින් ධර්ම ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළහ.