Print this Article


ජීවිතයේ දියුණුව යසස කීර්තිය උදා කර ගැනීමේ පහසු මඟ

ජීවිතයේ දියුණුව යසස කීර්තිය උදා කර ගැනීමේ පහසු මඟ

උට්ඨානවතො සතිමතො - සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්ම ජීවිනො - අප්පමත්තස්ස යසෝභි වඩ්ඪති

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

බුදු දහමට අනුව උත්සාහ සම්පත්තිය ඉතා වැදගත් දෙයක්. උත්සාහයෙන් තොරව කිසිවක් ජය ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. ලෞකික ජීවිතය ජය ගැනීමට එදිනෙදා ඒ ඒ පුද්ගලයා ගනු ලබන උත්සාහය වැදගත් වනවා.

මෙම උත්සාහය ලෞකික දියුණුවට පමණක් නොව ආධ්‍යාත්මික වශයෙන් ද උසස් තත්වයක් ලැබීමටත්, උපයෝගී වන බව බුද්ධ චරිතය ආශ්‍රයෙන් අපට වටහා ගන්නට පුළුවන්.

සමහරු එක එක කරුණු සඳහන් කරලා තමන්ගේ වැඩ කටයුතු අතපසු කරන ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කොට තිබෙනවා . ඉතා සීතල නිසා, ඉතා උණුසුම් නිසා, ඉතා උදෑසන නිසා, ඉතා හවස නිසා, ඉතා බඩගිනි නිසා, බඩ පිරිලා වැඩි නිසා ආදී වශයෙන් තම වැඩකටයුතු අතපසු කිරීම නිසා ඒවා සාර්ථක කර ගැනීමට නොහැකි වෙනවා. අලස බව යන වචනය මෙයට සඳහන් කරන්නට පුළුවන්.

තමාගේ වැඩ කටයුතු අතපසු කරමින් ඒවා කල් දමන කෙනාගේ ජීවිතයේ කටයුතු කවදාවත් සාර්ථක වන්නේ නැහැ. කර්මාන්ත කරන කෙනකුගේ කර්මාන්ත කටයුතු, අධ්‍යාපනය ලබන ළමයකුගේ ඉගෙන ගැනීමේ කටයුතු, ගොවිතැන් කරන කෙනාගේ ගොවිතැන් කටයුතු, ආගමික වතාවත් සිදුකරමින් ක්‍රියා කරන තැනැත්තකුගේ ඒ කටයුතු ආදී වශයෙන් හැම දෙයක් ම අසාර්ථක තත්ත්වයට පත්වෙනවා. මේ නිසයි බුදුරජාණන් වහන්සේ උත්සාහය සම්පතක් වශයෙන් දේශනා කරලා තියෙන්නේ

දෙවන කාරණය ‘සති මතෝ’ සිහි ඇති බවයි. මේ සිහි ඇති බව ජීවිතයට ඉතා වැදගත් වෙනවා. බුදු දහමේ සිහියට දී ඇත්තේ ඉතා සුවිශේෂ තැනක්. මහණෙනි, සිහිය සියලු අර්ථසිද්ධි සදා දෙන බව මම සඳහන් කරමි. ක්‍රමානුකූලව වැඩූ සිහිය නොදෙන යහපතක් නැතැයි දේශනා කිරීමෙන්ම එහි ඇති වැදගත්කම පැහැදිලි වෙනවා.

සිහි ඇතුව කටයුතු කිරීම පුද්ගලයකුගේ ආධ්‍යාත්මික දියුණුවට ඉවහල් වෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන මේ ස්ථාන හතරෙහි යමෙක් තමන්ගේ සිහිය වඩනවා නම් එය සංසාර දුකින් මිදීමට ඉවහල් වන, නිවනට ඒකායන මාර්ගයක් වන බව බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය තුළින් දේශනා කර තිබෙනවා.

බුද්ධ, ධම්ම, සංඝ, සීල, චාග, දේවතා, මරණ, කාය, ආනාපාන, උපසම යනුවෙන් සඳහන් වන දස අනුස්සති මගින් සිහිය වර්ධනය කර ගත යුතු ආකාරය දේශනා කර තිබෙනවා. සසර දුක් කෙළවර කිරීමේ මාර්ගය වශයෙන් දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සතියට ලැබෙන්නේ ඉතා වැදගත් තැනක්. සම්මා සති යනුවෙන් එය පැහැදිලි කර තියෙනවා. බුද්ධත්වය සිදු කිරීමට ඉවහල් වන සත්ත බොජ්ඣංග අතර ‘සති බොජ්ඣංගය’ යනුවෙන් දේශනා කර ඇත්තේත් මේ සිහියමයි. කොරෝනා රෝගය පැතිරී ඇති මේ මොහොතේ වෙන කවරදාටත් වඩා සතියට ඇති වැදගත්කම සිහි කරන්නට ඕන. ලෝකයේ ජීවත්වන හැම දෙනෙක්ම සිහියෙන් යුක්තව කටයුතු කරන්නේ නම්, කොරෝනා රෝගය මාස දෙකක් ඇතුළත මුළු ලෝකයෙන් ම තුරන් කරන්නට පුළුවන්කම තියෙනවා .

ගිරිමානන්ද සූත්‍රයෙහි දැක්වෙන ආකාරයට රෝග බෝ වීමට එක් හේතුවක් වන වැරදි හැසිරීම් මේ රෝගය බෝවීමටත් බලපාන බව පැහැදිලි වනවා. රෝගය බෝවීම වළක්වා ගැනීමට නිසි ආකාරයට කටයුතු නොකිරීම වැරදි හැසිරීම් වශයෙන් මෙහිදී සඳහන් කරන්නට පුළුවන්. එනිසා සතිය ලෝකෝත්තර සුවයට වගේම ලෞකික පැවැත්මට ඉවහල් වන බව මේ කරුණු අනුව අපිට හිතා ගන්න පුළුවන්.

අපේ මුතුන් මිත්තන් තමන් කළ පින්කම් සිහියේ තබා ගැනීමට විවිධාකාර උපක්‍රම උපයෝගී කරගෙන තිබෙනවා. එකක් තමයි පින් පොතක් සකස් කිරීම. තමන් කළ පින්කම් ඒ පොතේ සටහන් කර තබා ගත්තාට පස්සේ වරින් වර බලන විට ඒවා නැවත මතක් වෙනවා .එයින් තමන් කළ කුසල කර්මයන් නැවත නැවත සිහිකිරීමෙන් සැනසීමක් ලබනවා. ඊළඟ භවයෙහි ඒකාන්ත වශයෙන් ම විපාක දෙන බරපතළ අකුසල කර්මයක් නොතිබුණොත් එසේ වඩන සිහිය සුගතිගාමී වන්නට හේතුවක් වනවා.

මීළඟට මේ ගාථාවේ විග්‍රහ වන්නේ පිරිසුදු කර්ම ඇති බව. කයින් වචනයෙන්, මනසින් කරනු ලබන යහපත් දේ, යහපත් වචන, යහපත් සිතිවිලි එයින් අදහස් කරනු ලබනවා. යමෙක් මේ තුන්දොරින් යම් අකුසල කර්මයක් සිදුකළ හොත් එම විපාක වලින් කොටසක් මෙලොව දී ම විඳීන්නට සිද්ධ වෙනවා. තරුණ පරපුර ඇතුළු සමාජයට විනාශයක් ගෙන දෙන විෂ මත්ද්‍රව්‍ය සමාජය තුළ බෙදා හැරි බොහෝ දෙනකුට අද විඳීන්නට සිදුවන එම දුක් ගැහැට මෙයට දක්වන්නට පුළුවන් හොඳම උදාහරණ . එසේ නොකොට යහපත් කටයුතු කරන පුද්ගලයාගේ මෙලොව දියුණුව අභිවෘද්ධිය සැලසෙන ආකාරය මේ ගාථාවෙන් විස්තර කරනු ලබන්නේ. බොහෝ දෙනෙක් කල්පනා නොකළත් අකුසල කර්ම කරන අයට මෙලොව වශයෙන් විඳීන්නට වන විවිධාකාර දුෂ්කරතා වගේම යහපත් දේවල් කරන අයට ලැබෙන සැනසීම සමාජය තුළ සිදුවන බොහෝ සිදුවීම් වලින් වටහා ගැනීමට අවස්ථාව ලැබෙනවා.

ඊළඟට මේ ගාථාවේ දක්වන්නේ කරන කියන දේ විමසා බලා කළ යුතුය යන්නයි. නිසම්මකාරිනෝ යන්නෙන් අදහස් වන්නේ එය. අද සමාජය දිහා බලන විට අපට දකින්නට ලැබෙන දෙයක් තමයි දුවන්නන් වාලේ බොහෝ අය දුවනවා. ඒ නිසා වැරදි මාර්ගවල ගොස් තමන්ගේ ජීවිත මෙලොව වශයෙන් මෙන් ම පරලොව වශයෙන් ද පරිහානියට ලක් කර ගන්නා ආකාරය ශෝචනීය තත්ත්වයක්. මේ තත්ත්වය වටහාගෙන කටයුතු කිරීම මෙයින් අදහස් කරනු ලබන්නේ. බුද්ධ ධර්මය පිළිබඳව වුණත්, සිරිත්විරිත් පිළිබඳ වුණත් විමසා බලා කටයුතු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මය සම්බන්ධ ව දේශනා කෙළේ විමසා බලා මේවා අනුගමනය කරන ලෙසට .සමහර අය කටයුතු කරන්නේ අන්ධ භක්තියෙන් යුක්තවයි . කවුරු මොන විදිහට අර්ථ විග්‍රහ කළත් ධර්මයට හා විනයට ගැලපේ නම් පමණක් ඒවා පිළිගන්නා ලෙසයි. බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නේ.

ඊළඟට මේ ගාථාවේ විස්තර වන්නේ දැහැමින් ජීවත්වීම උසස් බවයි. එමඟින් අදහස් කරන්නේ වැරදි ආකාරයට ධනය හරි හම්බ කර ගනිමින් කටයුතු කිරීම නොකළ යුතු බවයි. බුදු දහමට අනුව සාධාරණ ලෙසට කටයුතු කර ධනය හරි හම්බ කර ගැනීමට තහනමක් ඇත්තේ නැහැ. එහෙත් වැරදි වෙළඳාම් ආදියෙන් එය නොකළ යුතු බවයි එහි පෙන්වා දී තිබෙන්නේ. ප්‍රධාන වශයෙන් වැරදි වෙළඳාම් පහක් එහි විස්තර වනවා. මස් පිණිස සතුන් වෙළඳාම, ආයුධ වෙළඳාම, වස විස වෙළඳාම, මස් වෙළඳාම, රහමෙර වෙළඳාම ප්‍රධාන වශයෙන් පෙන්වා දී තිබෙනවා. මත්වතුර මෙන්ම මත්ද්‍රව්‍ය වෙළඳාම තුළින් සමාජයට සිදුව ඇති හානිය විමසා බැලීමෙන් ම මේවා වැරදි වෙළඳාම් වශයෙන් හඳුන්වාදී ඇත්තේ ඇයිදැයි පැහැදිලි වෙනවා.

ඉහත සඳහන් ආකාරයට කරුණු වටහාගෙන අප්‍රමාද ව ක්‍රියා කරන පුද්ගලයාගේ ජීවිතය දවසින් දවස වර්ධනය වන ආකාරය යසස, කීර්තිය පැතිරී තමන්ගේ ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්නට හැකියාව ඇති ආකාරය පැහැදිලි කර දී තිබෙනවා.