Print this Article


ආචාර ධර්ම ගරු කරමින් කළ උපහාර උත්සවයක්

ආචාර ධර්ම ගරු කරමින් කළ උපහාර උත්සවයක්

ඉකුත් අගෝස්තු 27 වැනි දා කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථාන කොටිකාවත්ත ශ්‍රී සද්ධාතිස්ස නා හිමි ධර්ම මන්දිරයේ දි මෑත භාගයේ සිදු නො වුනු අපූරු ගණයේ උපහාර පුණ්‍ය උත්සවයක් සිදුවිය.

ඒ කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද හිමියන්ගේ මූල්‍ය මෙන් ම ශ්‍රම දායකත්වයෙන් යුතුව මෙහෙය වූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලාසනයන් හා සම්භාවනීය ගිහි පැවිදි උතුමන්ගේ සහභාගිත්වයෙනි.

මේ සම්බුද්ධ සාසනයේ සිව්වනක් පිරිසකි. පැවිද්ද ලැබූ භික්ෂූන් වහන්සේලා ආර්ය නිවන් මග සතර සංවර විශුද්ධ ශීල සමාදානයෙන් ප්‍රමුඛ වන අතර, භික්ෂුණීන් වහන්සේත්, උපාසක, උපාසිකාවෝත් අනු පිළිවෙළින් ආමන්ත්‍රණය වෙති. මෙසේ සලකන විට ජ්‍යෙෂ්ඨ බුද්ධ ශ්‍රාවකයෝ කණිෂ්ට බුද්ධ උපාසක දෙපලකට ආචාර ධර්ම ගරු කොට කළ උපහාර උත්සවයක් මෙදින සිදුවීම විශේෂත්ව ය යි. මේ උපහාර සිදුවූයේ කොළොන්නාව ප්‍රදේශය කේන්ද්‍ර කොට ගෙන වාසය කරන දැනට 89 වන වියේ පසුවන රාජකීය පණ්ඩිත කීර්ති නාරම්පනාව මහතාට හා 83 වන වියේ පසුවන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කේ. කේ. සුගතපාල මහතා වෙත ය. මේ උපහාර පිරිනැමීම සඳහා දිවයිනෙන් ම නියෝජනය වන පරිදි මහා සංඝරත්නයත්, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විහාරස්ථාන 58 නියෝජනය කරමින් මහා සංඝයා වහන්සේ වැඩම කරවීමත් විශේෂයක් වූයේ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආරාධනාවෙනි.

මේ සූරීන් දෙදෙනා සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය පිණිස තමන්ගේ ජීවිතයේ ආරම්භයේ සිට මේ වයෝවෘද්ධ අවස්ථාව දක්වා සිදු කළ සේවය සලකා රජයට හා මහජනතාවට ආදරය පිණිස සුජීවත් ව සිටිය දී ම මෙවන් ගෞරව උපහාරයක් පවත්වන බව උත්සහ මෙහෙයුම් කළ බොරැල්ලේ කෝවිද හිමියෝ වදාළහ. ඉකුත් කාලය තුළ වැඩසිටි අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය, අතිපූජ්‍ය ලබුගම ලංකානන්ද, අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ, අතිපුජ්‍ය වැලිගම ඤාණරතන , අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර, අතිපූජ්‍ය අකුරටියේ අමරවංශ, අතිපූජ්‍ය අම්බලම්ගොඩ සුමංගල, අතිපූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද යන මහා නා හිමි නෙතෘන් වහන්සේලා විසිපස් නමක ට අධික කොට උපස්ථාන කරමින්, අනුශාසනා ලබමින් දැනුදු බුද්ධශාසන අමාත්‍යංශයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ අර්ථ රසයට හා ධම්ම රසයට හානියක් නො වන පරිදි කෙරෙන සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන මණ්ඩලයේ ලේකම් කේ.කේ. සුගතපාල මහතා වැනි සූරීන් මෙයට උදාහරණ බව උන්වහන්සේ වදාළහ. දැනට රෝගී ව සිටියත් බෞද්ධ අධ්‍යාපනය හා බෞද්ධ ග්‍රන්ථ කරණයෙහි මහත් ස්වාවක් සිදුකළ කීර්ති නාරම්පනාව මහතා ද තවත් උදාහරණයක් බව ද පැවැසූහ.

මේ උපහාර උත්සවය සඳහා ශී‍්‍ර ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, ගන්තුනේ අස්සජි මහතෙරුන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර ධම්මරක්ඛිත මහා නිකායේ මහානායක තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමි, දිමියාවේ අමරවංශ අනු නාහිමි, කැලණිය රාජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, රුහුණූ විශ්වවිද්‍යාලයේ කුලපති අකුරටියේ නන්ද නා හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කිවුලේගෙදර නාරද අනු නා හිමි, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, කිරම විමලජෝති නා හිමි ආදි කොට සියයකට ආසන්න මහා සංඝ රත්නයේ සහභාගිත්වය ද සිදුවිණ.