Print this Article


නිසරු ඇගයීම

නිසරු ඇගයීම

"තරුණ වයසේ දී ඇති වන ආකල්පමය වෙනස ක්‍රමික වර්ධනයක විකාශනයකි. එය වටහාදීම කළ යුත්තේ ඉතා පරිස්සමිනි. කෝප වී අපහාස කරමින් වැරැදි නිවැරැදි කරන්නට යාම සාර්ථක ක්‍රමයක් නොවේ. තරුණ පරපුර සුමගට ගත හැක්කේ බුද්ධිමත් ව කරුණු අවබෝධ කරවීමෙන් පසුව ය. ඔවුන් හරිමඟ යවන්නට මව්පිය කෙනකුට හැකිවේ නම්, එම පවුලේ සතුට, සාමය, සහජීවනය ඉතා ඉහළින් පවතී."

අද සමාජය පුරා ම අසන්නට දකින්ට ඇත්තේ පවිටු වූත්, ළාමක වූත්, අර්ථ ශූන්‍ය වූත්, දේවල් ය. ඒ පිළිබඳ ව පූර්ව අවබෝධයක් නොලත් තැනැත්තා නිසරු දේ සරු යැයි සලකන්නට යෑම නිසා ඒ අනුව ක්‍රියා කරන්නට පටන් ගනියි. එමගින් ඔහු බොහෝ දරුණු කරදරවලට මුහුණ දෙයි.

සමහරු මත්පැන්වලට, දුම්වැටිවලට ඇබ්බැහි වෙති. සමහරු විවිධ දූෂණ ක්‍රියාවනට පෙළඹෙති. සමහරු නොනිසි සබඳතා ගොඩනඟා ගනිති. සමහරු උන්මන්තක ක්‍රියාවන්හි නියැළෙති. මේ සමාජ තත්ත්වය අවබෝධ කර ගත් මව්පියන් සිය දරුවන් ක්‍රමානුකූල ව සමාජානුයෝගී කළ යුතු ය. එය කරනුයේ මුලින් ම තම නිවසෙනි. ලොව කුඩා ම සමාජ ඒකකය පවුලයි. ගෙදර සාමාජිකයන් ඔවුනොවුන්ගේ ආශ්‍රය තුළින් සමාජය පිළිබඳ ඉතා සියුම් අවබෝධයක් ඇති කර ගත යුතු ය.

එයට නිවැසියන් අතර සුහදශීලී භාවයක්, ඔවුනොවුන් පිළිබඳ අවබෝධයක් ඇති කර ගත යුතු ය.

දරුවන් සමාජගත කිරීම මව්පියන්ගේ යුතුකමකි. සමාජගත කරනවා යනු සමාජය පිළිබඳ ව අවබෝධයක් ලබා දී එහි ජීවත්වන ආකාරය කියා දී එදෙසට යොමු කිරීම යි. එය ඉතා විමසිල්ලෙන් කළ යුතු ය. මුලින්ම එය තමා ඇසුරෙන් කියා දිය යුතු ය. එය වඩාත් අර්ථවත් වන්නේ එවිට යි.

මව්පියන් යනු දරුවනට මෙලොව දක්වන්නන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. (ඉමස්ස ලෝකස්ස දස්සේතාරා) එබඳු මව්පියන්ට දරුවන් දොස් නො පවරනු ඇත. ලෝකය පිළිබඳ ව හොඳ වැටහීමක් කලින්ම ලබා දුන් බැවිනි.

දරුවන් කයින් හා මනසින් වැඩෙත් ම විවිධ ආකල්පවලට ගොදුරුවීම බහුලව දක්නට ලැබෙන දෙයකි. තාරුණ්‍යය පිළිබඳ ව වැරැදි වැටැහීම් ඇති විය හැකි ය. එවිට ඔවුන් ක්‍රියා කරන්නේ තමන් සැමදා එලෙස ම සිටිතැයි යන ආකල්පය මත ය.

“යොබ්බන මදය” යනුවෙන් බුදුරජාණන් වහන්සේ හැඳින් වූයේ ද එය ම ය. මද යනු මත් වීම යි. කුමක් නිසා මත් වීමක් ද, තරුණකම නිසා ඇති වූ මත්වීමකි. මත් වූ පසු පියවි සිහිය නැතිව යයි. මුළා බවට පැමිණේ. තරුණකමින් ඇති වන මුළාව හේතුවෙන් විවිධ දුෂ්චරිතයන්ට හුරු පුරුදු වේ. මෙය සමාජයේ බහුල වශයෙන් දක්නට ලැබෙන දෙයකි. තරුණකම හිතට ආපසු ඔවුහු සියලු අයිතිවාසිකම් ඇත්තේ තමනට යැයි සිතති. සමාජයේ ජීවත් වෙන අන් අය ඔවුන්ගේ උපහාසයට ලක් වේ. ඔවුන් තරුණයන් කියන ලෙසින් ම ජීවත් විය යුතු යැයි සලකති. තරුණයෝ නිතර ම තමන් කරන දේ නිවැරැදි යැයි කල්පනා කරති. වැරැද්ද පෙන්වා දෙන ඇතැම් විට එය නො පිළිගනිති.

තරුණ සිත ආවේග බහුල සිතකි. සිතූ දේ ම කරන්නට බොහෝ තරුණයන් උත්සාහ කරන්නේ එම ආවේග බාහුල්‍යය නිසා ය. අවාසනාවකට මෙන් බොහෝ ආවේග බහුල සිත් ඇදී යන්නේ නො මඟට ය. ඒ සමාජයේ පවතින වාතාවරණය නිසා ය. මව්පියන් තරුණ සිත් හඳුනාගෙන මුල සිට ම සුමගට යොමු කළහොත් එමඟින් ලද හැකි සැනැසිල්ල කියා නිම කළ නො හේ. තරුණ ඇත්තන් වැරැදි මඟ යන්නේ හිතා මතා ම නොවේ. තම මනසේ ඇති වන ආවේග පාලනයට, ඔවුනට හැකියාවක් නොමැතිකම නිසා ය.

එමනිසා ඔවුහු ඒවාට යටත් වෙති. වැරැද්දට පෙළඹෙති. මුල පටන් ම ආවේග මැඩ පවත්වා ගන්නා ආකාරය ඉගෙන, එමඟින් මිදී වාසනාවන්ත තරුණ ජීවිත ගත කරන ඇත්තෝ ද සමාජයේ නැත්තාහු නො වෙති. තරුණ වයසේ දී ඇති වන ආකල්පමය වෙනස ක්‍රමික වර්ධනයක විකාශනයකි. එය වටහාදීම කළ යුත්තේ ඉතා පරිස්සමිනි. කෝප වී අපහාස කරමින් වැරැදි නිවැරැදි කරන්නට යාම සාර්ථක ක්‍රමයක් නොවේ. තරුණ පරපුර සුමගට ගත හැක්කේ බුද්ධිමත් ව කරුණු අවබෝධ කරවීමෙන් පසුව ය. ඔවුන් හරිමඟ යවන්නට නම් මව්පිය කෙනකුට හැකිවේ නම්, එම පවුලේ සතුට, සාමය, සහජීවනය ඉතා ඉහළින් පවතී. ඇතැම්හු තරුණයන් හදන්න බැරි පිරිසකැයි පවසමින් අත්හැර දමති. කොන් කරති.

එයින් වන්නේ ඔවුන් වඩ වඩාත් දරුණු වීමයි. වැරැදි මඟ ඉතා කරුණාවෙන් අවබෝධ කර දී සුමගට යොමු කළහොත් ඔවුන් සමාජයේ ඉහළම පුද්ගලයන් බවට පත් වේ. මෙහි දී ඉතා පරිස්සමින් ස්වකීය ජීවන පැවැත්ම නිවැරැදි කර ගන්නට ඔවුහු උත්සුක වෙති. එය නිවසට මෙන් ම මුළු මහත් ලෝකයට ම ආශිර්වාදයකි.