Print this Article


ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාවේ ආරම්භයයි

ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාවේ ආරම්භයයි

"ආමිස පූජාව නිවන නමැති චූඩාමාණික්‍යය දරා සිටින දාගැබේ පාදම ය. ආමිස පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාව පිරීම ඉතා දුෂ්කර ය. ප්‍රතිපත්ති පූජාව යනු බුදුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ ගමන් කිරීමයි. වහා කෙලෙස් නැසීමට ක්‍රියා කිරීමයි. නිවන් මාර්ගය වළකන ලෝභ, ද්වේෂ, මෝහ විනාශ කිරීමයි. ශ්‍රද්ධාව පදනම් ව කටයුතු කිරීමයි. බුදු ගුණ හඳුනා ගනිමින් තම මනස තුළ ප්‍රඥාව දියුණු කිරීම ප්‍රතිපත්ති පූජාව නම් වෙයි."

බෞද්ධයෝ බුදුන් වහන්සේ පිදීමට ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා භාවිත කරති. තෙරුවන් සරණ ගිය සෑම බෞද්ධයකු ම මේ වචන අසා ඇත. එයින් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වඩා වැදගත් බව ද අසා ඇත.

එහෙත් ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා අතර වෙනස සහ ඒවායේ අර්ථ පිළිබඳ එතරම් අවබෝධයක් නොමැති බව පෙනේ.

උපතින් බෞද්ධ වූ පමණින් බුදු දහමේ ධර්ම කරුණු ඔහුට හෝ ඇයට දායාද වන්නේ නැත. අසා දැනගත යුතු ය. එසේත් නොමැති නම් ධර්ම කරුණු අධ්‍යයනය කිරීමෙන් උගත යුතු ය. මේ දෙකින් එකක්වත් නිසි පරිදි ක්‍රියාවට නො නඟා විවිධ පුද්ගලයින් විසින් අනවබෝධයෙන් පවසන කරුණු නිසා ආමිස පූජාවලට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් ය. එබැවින් ආමිස පූජා අත්හැර දැමිය යුතු ය. ප්‍රතිපත්ති පූජාව ම ක්‍රියාවට නැඟිය යුතු ය යනුවෙන් පවසන ප්‍රකාශ අසන්නට ලැබේ.

ආමිස පූජාව අත්හැර ප්‍රතිපත්ති පූජාව පමණක් ක්‍රියාවට නැඟිය යුතු බව පවසන අය අසූහාර දහසේ පහන් පූජා පැවැත්වීමෙන් තෙල් සහ පහන් විශාල ප්‍රමාණයක් අපතේ යයි. ඒවාට වියදම් කරන මුදලින් අසරණ දුප්පත් පවුල්වලට සැලකීම වටියි. මල්, පහන්, සුවඳ දුම්, ඖෂධ පූජා, සිවුරු පිරිකර පූජා, තූර්ය නාද පූජා, ධජ පතාක පූජා ඇතුළු පංචේන්ද්‍රියන්ට හසුවන සියලු පූජා, බුද්ධ පූජා ලෙස තැබීමෙන් ප්‍රයෝජන නැත. තොරණ පැවැත්වීමෙන්, පහන් කූඩු සැකසීමෙන්, පෙරහර පැවැත්වීමෙන්, ප්‍රතිමාකරණයෙන්, චෛත්‍ය ගොඩනැඟීමෙන්, වෙසක් සහ පොසොන් පොහොය වෙනුවෙන් දන්සල් පැවැත්වීමෙන් ප්‍රයෝජන නැත. ඒ වෙනුවට එම මුදල් සහ කාලය වෙනත් වැඩකට යෙදීමෙන් ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාව ලැබෙන බව දක්වමින් ආමිස පූජාව ප්‍රතික්ෂේප කර, ප්‍රතිපත්ති පූජාව පමණක් අගයන ඇතැම් පිරිසක් නූතන සමාජයේ බිහි ව ඇත.

ඔවුහු දීමට අකැමැත්තෝ ය. අකුසලය පුරන්නෝ ය. ද්වේෂ සහිත වූවෝ ය. ප්‍රඥාවෙන් හීන වූවෝ ය. ආමිස පූජා පැවැත්වීමෙන් ශ්‍රද්ධාව වැඩේ, තෘෂ්ණාව ක්ෂය වේ, කාය, වාග් සහ මනෝ සුචරිතය ඇති වේ. එය භාවනාමය සිතිවිලි පුහුණු කරන ක්‍රියාවලියකි, යන්න නොහඳුනති.

මෙයින් ලෝභ, ද්වේෂ සහ මෝහ අකුසල මූලයන් තදන්ග වශයෙන් යටපත් කර තබයි. මල් පහන් පූජා කිරීම, ආහාර පාන දන්දීම, චිත්ත සන්තුෂ්ටිය ඇතිවන දේවල් ක්‍රියාවට නැඟීම ප්‍රමුඛ කර ගත් යම් දෙයක් සුළු වශයෙන් හෝ ඉටු කිරීමෙන් සසරේ සැප සම්පත් ලැබූ කතා පුවත් විශාල ප්‍රමාණයක් අපදානපාලි, විමානවත්ථු ආදි ග්‍රන්ථවල සඳහන් වෙයි. එයින් සසර සුගතියත්, බෞද්ධ ප්‍රබෝධයත් මතුවෙයි.

එබැවින් ආමිස පූජාව බෞද්ධ සමාජයේ පැවැතිය යුතු ය. එය නිවන නමැති චූඩාමාණික්‍ය දරා සිටින දාගැබේ පාදම ය. ආමිස පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාව පිරීම ඉතා දුෂ්කර ය. ප්‍රතිපත්ති පූජාව යනු බුදුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ ගමන් කිරීමයි. වහා කෙලෙස් නැසීමට ක්‍රියා කිරීමයි. නිවන් මාර්ගය වළකන ලෝභ, ද්වේෂ, මෝහ විනාශ කිරීමයි. ශ්‍රද්ධාව පදනම් ව කටයුතු කිරීමයි. බුදු ගුණ හඳුනා ගනිමින් තම මනස තුළ ප්‍රඥාව දියුණු කිරීම ප්‍රතිපත්ති පූජාව නම් වෙයි.

බුදුන් වහන්සේ සියලු බුද්ධ කෘත්‍යයන් නිමවා මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ දී පිරිනිවන් පෑමට සූදානම් වූ මොහොතෙහි දෙවියන් සහ බ්‍රහ්මයින් අතුරු සිදුරු නැතිව පිරිවරමින් දිව්‍ය මල් සුවඳින්, දිව්‍ය තූර්ය නාදවලින් පූජා පැවැත්වීමට පටන්ගනියි.

මේ අවස්ථාවෙහි ආනන්ද තෙරුන් වහන්සේ අමතා බුදුන් වහන්සේ මෙසේ වදාළහ. “ආනන්දයනි, මල්, සුගන්ධය, තූර්ය නාදය ආදියෙන් තථාගතයන් වහන්සේට සත්කාර කළේ හෝ ගරු කළේ හෝ පූජා කළේ හෝ නො වෙයි. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසක උපාසිකාවක් හෝ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි, සම්‍යක් ප්‍රතිපත්තියෙහි හැසිරෙයි ද, එය ට තථාගතයන් වහන්සේට කරන උසස් ම සත්කාරයත්, ගරු කිරීමත්, පූජා කිරීමත් වෙයි. (දීඝ නිකාය-මහාපරිනබ්බාන සූත්‍රය)

බුදුන් වහන්සේගේ මේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ ධර්මයෙහි හැසිරීම භෞතික පූජා පැවැත්වීමට වඩා උතුම් බවයි. නිවන් මාර්ගයට පිවිසි පුද්ගලයා කාම සම්පත් පසුපස ම යන්නේ නම් නිවන ලැබීමේ මාර්ගය දිගුවනු ඇත. එබැවින් සසුනට ඇතුළත් වූ සිව්වනක් පිරිස ම අප්‍රමාදී ව කටයුතු කිරීම වැදගත් බව අනුදැන වදාළහ. ආමිස පූජාව සිදු නොකරන ලෙස එයින් ප්‍රකාශ කර නොමැත. ආමිස පූජාව බුදුන් වහන්සේ ම ප්‍රතික්ෂේප කර ඇති බව තහවුරු කිරීමට ආමිස පූජා පළ රහිත බව ප්‍රකාශ කරන්නෝ මෙම කරුණ මතු කර දක්වති.

බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පසු ආදාහන කෘත්‍ය කෙසේ පැවැත්විය යුතු ද යන ප්‍රශ්නය ඇති වූ කල්හි පෙන්වා දෙන්නේ චක්‍රවර්ති රජ කෙනකුගේ ශරීරය ආදාහනය කරන අයුරින් කළ යුතු බවයි.

එහි දී බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ අමතා “ආනන්දය, ස්තූප තනා වැඳුම්-පිඳුම් කිරීමට සුදුසු පුද්ගලයෝ හතර දෙනෙකි.

එනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේබුදු රජාණන් වහන්සේ, තථාගත ශ්‍රාවක වූ ආර්යයන් වහන්සේ, සක්විති රජු යන මේ සතර දෙනා ය.

ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගතයන් වහන්සේ වෙනුවෙන් ස්තූප තනා වැඳුම් පිදුම් කිරීම සුදුසු වන්නේ ද? ආනන්දයෙනි, මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්තූපයයි. සිත පහදාගෙන බොහෝ දෙනා මරණින් මතු සුගතිගාමී වන හෙයිනි, යනුවෙන් දේශනා කළහ. (දීඝ නිකාය – පරිනිබ්බාන සූත්‍රය)

ආමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම් බව දේශනා කළේ ප්‍රතිපත්තියට මිනිසුන් යොමු කිරිමට ය. ආමිස පූජාව අනුමත කළේ ඒ ඇසුරින් මිනිසුන් ක්‍රමයෙන් ප්‍රතිපත්ති කෙරෙහි යොමු කිරිමට ය. එසේ නොමැති ව ආමිස පූජාව ප්‍රතික්ෂේප කිරීමට නොවන බව අවබෝධ කර ගත යුතු ය. තථාගතයන් වහන්සේට මල් පහන් පූජා කර වැඳීමටවත් ශ්‍රද්ධාවක් නොමැති නම් ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිපත්ති පූජාව කුමක්දැයි යන ප්‍රශ්නය මතුවෙයි.

බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ නොසිටින දිනවල දී එහි පැමිණෙන ශ්‍රද්ධාවත් පිරිස් උදෙසා ආනන්ද තෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් ආනන්ද බෝධිය රෝපණය කරන්නේ ද ආමිස පූජාව ශ්‍රද්ධාව ඉපදවීමටත්, නිවන් ලැබීමේ මාර්ගයේ ගමන් කිරීමටත් උපකාර වන බැවිනි. බුදුන් වහන්සේ එහි දී ශාරීරික, පාරිභෝගික සහ උද්දේසික යන ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව හඳුන්වා දෙති. ප්‍රතිපත්ති පූජා පූරණය කිරීමට ආමිස පූජාව උපකාර වන බව මෙයින් පෙනෙයි.