Print this Article


අසත්පුරුෂ දරුවන්ට පියාගෙන් පාඩමක්

අසත්පුරුෂ දරුවන්ට පියාගෙන් පාඩමක්

නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

ධනපාලකො නාම කුඤ්ජරො - කටුකප්පභෙදනො දුන්නිවාරයො
බද්ධෝ කබලං න භුඤජති - සු’මරති නාගවනසස කුඤ්ජරො

මහ ඇත් දනපාලක සැඩ වන්නේ
බැඳුනේ හේ කිසිවක් නොබු දින්නේ
රස අහර ද කිසිවක් නොම ගන්නේ
මව සිටිනා වනය ම සමරන්නේ

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

සැවැත් නුවර ඉසුරුමත් මහලු බමුණෙක් විසී ය. ඔහුට පුත්තු සතර දෙනෙක් සිටියහ. පුතුන් සතර දෙනට කුමරියන් සිවු දෙනකුන් සරණ කර දුන්නේ ය. බැමිණිය මළ පසු පුත්තු සතර දෙනා ද, යෙහෙළණියන් සතර දෙනා ද බමුණා වට කරගෙන උවටැන් කළහ.

දිනක් ඔවුහු පියාගේ අත් පා මෙහෙවර කරමින් සිටියදී ම ‘පියතුමනි, අපි ඔබට සැප එළවන්නෙමු. අපට ධනය බෙදා දී ඔබ සිත සනසා ගන්න යැයි කියා කීහ.

මේ කතාවට බමුණා ද රැවටුණේ ය. සිත මොළොක් වූයේ ය. ධනය ද සතර දෙනාට සම ව බෙදා දුන්නේ ය. මඳ කලක් ගිය පසු පුත්තු නොසලකා හැරියා හ. කිසිවකුගේ පිළිසරණක් නොලැබුණේ ය. බමුණා බුදුරදුන් වෙත යාමට සිතුවේ ය.

ඒ බමුණා, "බුදුරජාණන් වහන්සේ සියලු දෙනා සමඟ මෙත් සිතින් කතා කෙරෙති. යහපත සලසති. උවදෙස් දෙති"යි අසා බුදුරදුන් ඉදිරියට පැමිණියේ ය. සිරුර බල නැති ව පසෙක හිඳ ගත්තේ ය.

එවිට බුදුන් වහන්සේ බමුණ, ඔබ බොහෝ දුබල ය. හඳනා, පොරෝනා පිළීත් දුබල ය, කිළුටු ය. ඉතා මහලු වූ ඔබ රකින බලන කෙනෙක් නැද්දයි වදාළ සේක.

බමුණා ද බුදුරජාණන් වහන්ස, මගේ පුත්තු සතර දෙනා මා රවටා එළවා දැමූහ. දැන් මම අනුන්ගේ ගෙපිල්වල ලගිමින් කුසගින්නේ සිඟා ඇවිදමි යි කීය.

බුදුරජාණන් වහන්සේ "බමුණ, එසේ නම් මේ පස් ගය පාඩම් කරගෙන ඔබ පුතුන් ඇතුළු බොහෝ දෙන රැස්වන තැනක දී හඬ නඟා කියන්නැයි ඔහුට ගාථා පහක් උගන්වා වදාළ සේක.

සුනඛයන් ලවා ඌරන් ලුහු බඳවන්නා සේ අඹුවන් නිසා මුළා වී මගේ දරුවෝ මා එළවා දමත්.

ලාමක වූ අසත් පුරුෂ වූ දරුවෝ මට යන්න යන්න යයි කියති.

පුත් රුවින් යුත් රකුසන් වැනි වූ දරුවෝ මහලු වූ මා එළවා දමත්.

ජරාවට පැමිණ දුවනු නො හැකි අසකු හැර දමන්නාක් මෙන් ධනය උදුරා ගෙන කෑම් බීම් ආදියෙන් පහකරන ලදුව අසත්පුරුෂ වූ ඒ දරුවන්ගේ ඒ මහලු පියා දැන් ගේ දොරවල සිඟා කයි.

අකීකරු වූ මාගේ ඒ දරුවන්ට වඩා මාගේ මේ සැරයටිය ම මට උතුම් ය.

ඒ සැරයටිය අනින්නට ආ ගෙරි සරකුන් ද, කන්නට ආ බල්ලන් ද වළකයි.

ඒ සැරයටිය අඳුරෙහි යන කල මා ඉදිරියෙහි වෙයි. ගැඹුරු දියෙහි යන කල පිහිට ලැබෙයි. පැකිළ වැටෙන්නට යන කල සැරයටියගේ ආනුභාවයෙන් මට නො වැටී සිටිය හැකියි.

දවසක බමුණා පුතුන් සතර දෙනම පැමිණ සිටි මහ සබාවක් මැදට ගොස් මේ පස් ගය පැවසී ය. පුතුන් සිවුදෙන පියා ඔසවා ගෙන ගොස් අඹුන් සමඟ සිත් සේ සැතැප්පවූහ.

ඔවුන්ට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ධනපාලක නම් ඇත් රජ ව උපන් කල මවට උවටැන් කළ අයුරු පවසා මාතුපෝසක නාගරාජ ජාතකය වදාරා බමුණා ඇතුළු පුතුන් සතර දෙනත් යෙහෙළණියන් සතර දෙනත් සෝවාන් ඵලයෙහි පිහිටවූ සේක.

ධනපාලකෝ නාම කුඤ්ජරො
ධනපාල නමැති ඇත් තෙමේ
කටුකප්පභේදනෝ
තීව්‍ර මද ඇත්තේ
දුන්නිවාරයෝ
නො වැලෙකිය හැකි වූයේ
බද්ධෝ
ඇත්හලෙහි බඳනා ලදුව
කබලං න භුඤ්ඡති
බොජුන් අනුභව නොකරයි.
කුඤ්ජරෝ
ඒ ඇත් තෙමේ
නාගවනස්ස සුමරති
ඇතුන් ගේ කැළයම සිහි කරයි.