Print this Article


කවරයේ කතාව

කවරයේ කතාව

වන්දනීය පූජනීය ඓතිහාසික තන්තිරිමලේ පුරාණ රාජ මහා විහාරය උතුරින් හා නැෙඟනහිරින් මල්වතු ඔයටත්, බටහිරින් විල්පත්තු ජාතික වනෝද්‍යානයටත් , දකුණින් මහාවිලච්චිය මහා මාර්ගයටත් සීමා මායිම් ව ඇති පුණ්‍ය භූමියකි. එමෙන්ම ක්‍රි.පූ තුන්වැනි සියවසේ දී තිවක්ක බමුණු ග්‍රාමය ලෙස ද මෙය හඳුන්වා ඇත. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ රහත් මෙහෙණින් වහන්සේලා එකොළොස් නමක් ජය ශ්‍රි මහා බෝ සමිඳුන් වහන්සේ ලක්දිවට වැඩම කොට එන ගමනේ තන්තිරිමලේ ගල් පර්වතය මත රාත්‍රියක් පහන්කොට ඇති බව ඉතිහාසයේ සඳහන්වේ.

ඉන්පසුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයේ රෝපණය කළ පසු ඉන් පැන නැඟුණු අංකුර බෝධීන් වහන්සේලා අට නමකගෙන් එක් අංකුරයක් කළගුණ දැක්වීම ලෙස තිවක්ක බමුණාට භාර කොට තිබෙන බවද, හෙතෙම එම බෝධීන් වහන්සේ තන්තිරිමලේ ගල් පර්වතය මුදුණේ බෝධී ප්‍රාකාරයක් ඉදිකොට පාත්‍රයක ආකාරයට රෝපණය කොට ඇති බවද ඉතිහාස කතාවල සඳහන් වේ. අදටත් තන්තිරිමලේ පුදබිමේ වැඩසිටින්නේ එම බෝධීන් වහන්සේ බව පැවසේ. ක්‍රි.පූ හතර , පහ, හය, හත කාල සීමාවන් තුළ මෙහි භාවනා යෝගී භික්ෂූන් වහන්සේලා වැඩ සිට ඇති අතර ඒ වෙනුවෙන් පුජා කරන ලද කටාරම් කෙටූ ගල් ලෙන් ද දැකගත හැකි ය.තන්තිරිමලේ ඓතිහාසික පුණ්‍ය භූමියේ ගල්පර්වතය මත අඩි හතළිස් පහක් දිග සැතපෙන පිළිම වහන්සේ නමක් හා අඩි අටක් උස සමාධි පිළිම වහන්සේ නමක් ද වඩා හිඳුවා ඇත.එම පුරාවිද්‍යාත්මක වටිනාකමින් හා ජාතික වටිනාකමින් යුත් ඓතිහාසික තන්තිරිමලේ රාජ මහා විහාර පින්බිමේ සමාධි පිළිම වහන්සේ ගේ සේයා රුවකින් මෙවර බුදුසරණ කවරය සිතුවම් කොට ඇත.