Print this Article


දේවධර්ම ජාතක කතාව: ලජ්ජා භය ඇත්තෝකොතැනත් ජය ලද්දෝ

දේවධර්ම ජාතක කතාව:

ලජ්ජා භය ඇත්තෝකොතැනත් ජය ලද්දෝ

එක් සමයෙක ශාක්‍යකුල චින්තාමාණික්‍ය වූ අප තථාගත බුදු රජාණන් වහන්සේ ජේතවන විහාරයේ වැඩ වාසය කරන අවස්ථාවක එක්තරා බහු භාණ්ඩික භික්‍ෂු කෙනකුන් අරභයා මේ ජාතක කතාව දේශනා කළා.

සැවැත් නුවර සිටි එක් කුල පුත්‍රයෙක් බිරිඳ මිය ගිය පසු පැවිදිවීමට තීරණය කළා. මුලින් ම තමාට වාසය කිරීම සඳහා පන්සලකුයි, ගිනිහල් ගෙයකුයි, ලැබෙන බඩු භාණ්ඩ තබා ගැනීමට බඩුහල් ගෙයකුයි හදා ගත්තා. බඩුහල් ගෙයි (ගබඩාවේ) ගිතෙල්, තලතෙල් ආදියෙන් පුරවා ශාසනයේ පැවිදි වූ පසු තමා යටතේ සිටි කෙල්ලන් සහ කොල්ලන් කැඳවාගෙනවිත් කැමති පරිදි බත් මාළු පිණි පිසවාගෙන අනුභව කරමින් ද බොහෝ සිවුරු පිරිකර පරිහරණය කරමින් ද වාසය කළා.

එක් දවසක් මේ භික්‍ෂුන් වහන්සේ සිවුරු සෝදා වියළා ගැනීම සඳහා පිටත මළුවේ වනලා තිබ්බා. ඉතින් මේ අතර විහාර චාරිකාවේ එන භික්‍ෂූන් වහන්සේලා ඒවා දැකලා “මෙපමණ ප්‍රමාණයක් සිවුරු පිරිකර කාගෙදැ”යි විමසුවා “ ඇවැත්නි, මගේ” යැයි කීවා. “ඇවැත්නි බුදු රජාණන් වහන්සේ විසින් තුන් සිවුරු පමණක් අනුදැන වදාරා තිබියදී අල්පේච්ඡ වූ සර්වඥයන් වහන්සේගේ සාසනයේ පැවිදිව මෙසේ බොහෝ සිවුරු පිරිකර භාවිත කරන්නේ මන්ද? ” කියා දොස් පවරා බුදුරජාණන් වහන්සේ හමුවට කැඳවාගෙන ගියා. දුර සිටම කාරණය දැන ගත් තථාගතයන් වහන්සේ

“ කිමෙක් ද ? මහණෙනි, මේ භික්‍ෂුව නොකැමැත්තෙන් ම කැඳවාගෙන ආවේ.” “ස්වාමීනි, මේ මහණ තෙම බහු භාණ්ඩිකයි, බොහෝ පරිෂ්කාර ඇත්තෙකි.” යනුවෙන් භික්‍ෂුන් වහන්සේලා උත්තර දුන්නා.

“ ඇවැත්නි එය ඇත්තක් ද? ඔබ බහු භාණ්ඩික ව බොහෝ සිවුරු පිරිකර පරිහරණය කරන්නේ ද ? ”

“ එසේ ය ස්වාමීනි එය සැබෑවකි ” ඒ භික්‍ෂුව තථාගතයන් වහන්සේට පිළිතුරු දුන්නා.

ඒ අසා බුදුන් වහන්සේ “ මහණ නුඹ කවර කාරණයක් නිසා බහු භාණ්ඩික වූයේ ද ? මම අල්පේච්චතාවය තුළින් චිත්ත විවේකයත් කාය විවේකයත්, ඇති කර ගන්නා විදි කියලා දී තිබෙනවා නොවේදැ ”යි අවවාද කළා. බහු භාණ්ඩික භික්‍ෂුව එයට කිපී “ එසේ නම් මා මෙසේ ඇවිදිම් දැ” යි අසා පොරවාගෙන සිටි සිවුර ගලවා බිම දමා ලජ්ජා බිය නැතිව පිරිස මැද අඳනය පමණකින් සිටියා.

භාග්‍යවතුන් වහන්සේ එවිට ඒ භික්‍ෂුවට කියනුයේ, “ මහණ නුඹ පෙර බලවත් වූ ලජ්ජා භය ඇතිව සිටියා නොවේ ද ? තව ද පෙර දිය රකුසකු ව ඉපදී සිටි කාලයේ ලජ්ජා භය දෙක සොයමින් දොළොස් අවුරුද්දක් විසුවේ නොවේ ද? එසේ වූ කල නුඹ දැන් කවර කාරණයක් නිසා මෙබදු ගෞරවනීය සර්වඥ සාසනයෙහි පැවිදි ව සිව්වනක් පිරිස මැද පොරවන සිවුර ඉවත් කර සිටියේ ද ? ”

එම බුද්ධ වචනයේ සිත පිහිටවා ගත් භික්‍ෂුව වහා ලජ්ජා භය උපදවාගෙන බිම දැමු සිවුර නැවත පොරවාගෙන වැඳ එකත්පස් ව සිටියා. එවිට අනෙක් භික්‍ෂූන්ගෙන් ආරාධනා ලැබූ බුදු රජාණන් වහන්සේ එම භික්‍ෂුවගේ අතීත කතාව දේශනා කළා.

යට ගිය දවස කසී රට බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කරවන සමයේ අප මහා බෝසතාණන් වහන්සේ ඒ රජතුමාගේ අග බිසවුන් කුස පිළිසිඳ උපන්නා. ඒ කුමරුන් ද මහිංසාසක යයි නම් ලැබුවා. ඔහුගේ සෙල්ලම් වයස් සමයේ ඒ බිසවුන් චන්ද්‍ර නමින් තවත් පුතකු ලැබුවා. ඒ චන්ද්‍ර කුමාරයා දුව පැන ඇවිදින වයසේ දී බෝධිසත්වයන්ගේ මෑණියන් කළුරිය කළා.

පසුව රජතුමා අනෙක් බිසවක් අග මෙහෙසුන් තනතුරේ තැබුවා. ඒ බිසවට සූර්යය කුමාරයෝ නමින් පින්වත් පුතකු ලැබුණා. රජතුමා ඒ කුමාරයා දැක සතුටු ව “සොඳුර ඔබගේ පුතණුවන් ට වරයක් ගනුවයි” කිවුවා. බිසව එම වරය පසුවට ඉල්ලමියි කියා කිව්වා.

ඒ බිසව් තොමෝ සූර්ය කුමාරයා වැඩිවියට පත් කල රජතුමා ඉදිරියේ හිඳ “ස්වාමීනි නුඹ වහන්සේ විසින් මගේ පුතුන් උපන් දවසේ දුන් වරය ලෙස ඔබගෙන් පුතණුවන්ට රාජ්‍යය ඉල්ලමියි” කීවා. රජ්ජුරුවෝ ඒ වදන් අසා “මගේ වැඩිමහල් දරුවන් දෙදෙනකු සිටිද්දී නුඹගේ පුතණුවන්ට රාජ්‍ය දීමට නොහැකියි ” කියා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

නැවත නැවතත් ඒ බිසවුන් රාජ්‍ය ඉල්ලූ නිසා “රාජ්‍ය නුදුන්නොත් මේ බිසවු තොමෝ මගේ දරුවන්ට අනර්ථයක් කරයි” යන බියෙන් දරුවන් දෙදෙනා තමා ළඟට කැඳවා මෙසේ කීවා. “දරුවනි, මම සූර්ය කුමාරයා උපන් දවසේ ඔහුගේ මෑණියන්ට වරයක් දුන්නා. දැන් ඒ බිසවුන් මගෙන් රාජ්‍ය ඉල්ලනවා. මම ඔවුන්ට රාජ්‍ය දීමට අකමැතියි. නමුත් ස්ත්‍රීහු නම් පාපිෂ්ඨ ය. ඒ නිසා නුඹලාට නපුරක් කිරීමට පුළුවනි. එබැවින් නුඹ දෙදෙනා වනගත වී මගේ ඇවෑමෙන් පැමිණ රාජ්‍ය භාර ගනුවයි” කියා අඬා වැලප හිස සිඹ සනසා පිටත් කොට වනයට යැව්වා. සූර්ය කුමාරයෝත් ඔවුන් දෙදෙනා සමගින් වනයට ගියා. ඔවුන් තුන්දෙනා ම හිමාල වනයට පැමිණුනා. බෝධිසත්වයෝ ගිමන් හරිමින් ගසක් මුල වාඩි වී සූර්ය කුමාරයාට කතා කොට “අර පේන විලට ගොස් නා පැනුත් බී පියුම් පත්‍රවලින් අපටත් පැන් ගෙන එන්න යැයි” කිවුවා.

ඒ විලේ අරක්ගෙන සිටියේ වෙසමුණ රජතුමන්ගේ අවසරය ලත් දිය රකුසෙකි. ඔහුට ලැබුණු අවසරය නම් විලට බසිනා, දේව ධර්මය නොදත් කෙනෙකුන් කෑමට ය. එය නොදැන සූර්ය කුමාරයා පරික්ෂා නොකොට ම විලට බැස්සා. එවිට උදක රකුසා ඒ කුමාරයා අල්ලාගෙන දේව ධර්මය දනිත් දැයි ඇසුවා. දේවධර්මය නම් “චන්ද්‍ර, සූර්ය” දෙදෙනා යැයි පිළිතුරු දුන්නා. ඒ කුමාරයා දේව ධර්මය නොදන්නේ යැයි කියා රකුසා විසින් ඔහු අල්ලා සිරගත කළා. සූර්ය කුමාරයාගේ පැමිණීම පමා වීම නිසා චන්ද්‍ර කුමාරයා ඔහු සෙවීමට පිටත් කොට හැරියා. ඔහුද විලට බැස දේව ධර්මය නොදත් බැවින් රකුසා විසින් සිරගත කරනු ලැබුවා. බෝධිසත්වයෝ ඔවුන් දෙදෙනාම නො ආ කල විල දෙසට ගොස් පරික්ෂා කොට බැලුවා. විලට බැස්ස පිය සටහන් ඇතත් ආපසු පැමිණි සටහන් නොදැක ඒ විල රකුසකු සිටිති යි සිතා ආයුධ සූදානම් කර ගත්තා.

දියට නොබැස්ස බෝධි සත්වයන් දෙස බලා දිය රකුසා ගස් කපන්නකුගේ වේෂයක් ගෙන පැමිණ කියන්නේ “පින්වත් පුරුෂය මේ විලට බැස නා පැන් බී නෙළුම් අල කා මල් පැළඳ ගමන් වෙහෙස නිවා සැප සේ යන්න.” කියායි. බෝධිසත්වයෝ ඔහු දැක මොහු නම් යක්ෂයා ම විය යුතු යැයි සිතා ඔහු සඟවා ගත් තමාගේ සහෝදරයන් දෙදෙනා ඉල්ලුවා.

“ඔබ කුමන කරුණක් නිසා මිනිසුන් අල්ලා ගන්නේ ද?”ඇසුවා.

“ මා ලද වරයකට අනුව මේ විලට බට දේව ධර්මය දත් කෙනෙකුන් හැර අන් අය අල්ලා කෑමට හැකි බැවින්”

“ඔබට දේව ධර්මයෙන් ප්‍රයෝජන වෙත් ද?”

“ඔව් මට ප්‍රයෝජනයක් වෙයි.”

“එසේ වී නම් මම ඔබට දේව ධර්මය කියා දෙන්නට කැමැත්තෙමි. එසේ නම් කන් යොමා අසවයි කියා කුමාරයා දේව ධර්මය රකුසාට කියා දුන්නා.

“මේ ලෝකයෙහි යම් කෙනෙක් භයින් හා ලජ්ජාවෙන් අකුසල ධර්මයනුත්, නොකළ මනා අවශේෂ ලෝක චාරිත්‍රයනුත් දැන හැකිළෙන හෙයින් භය ලජ්ජා දෙකෙන් යුක්තව වාසය කෙරෙත් ද කුසල ධර්මයෙහි හැම කල්හි ම බලවත් වූ ඇල්මක් ඇත්තෝ ද උතුම් වූ සත්පුරුෂ ගුණ ඇත්තෝ ද එසේ වූ සත්වයන්ගේ ප්‍රවෘත්තිය මේ ලෝකයෙහි දේව ධර්ම නම් වෙයි”

කියා ධර්ම දේශනා කළා. දිය රකුසා ද එම ධර්මය අසා සතුටු වී සිර කරගත් දෙසොහොයුරන් නැවත බෝධි සත්වයන්ට භාර දුන්නා. එකල්හි බෝධිසත්වයන් නැවතත් ඔහුට අවවාද කොට “පෙර කළ අකුසල කර්මයෙන් මෙවර ලේ මස් කන්නා වූ යක්ෂ ව ඉපිද තවත් අකුසල් නොකොට සතර අපායෙන් මිදී කුසල් කරවයි” කීවා. මෙසේ යක්ෂයා දමනය කොට ඔහු කරන ලද ආරක්ෂා ඇතිව මහ බෝසතාණෝ දෙසොහොයුරන් සමගින් එතැන්හි ම වාසය කළා.

දවසක් නැකැත් තරු බලා පිය රජ්ජුරුවන් කලුරිය කළ බව දැන රකුසා ද කැඳවාගෙන බරණැස් නුවරට ගොස් රාජ්‍ය ලබා චන්ද්‍ර කුමාරයන්ට යුවරජකමත්, සූර්ය කුමාරයන්ට සෙනෙවිරත් තනතුරත් දී රකුසාට සිත්කලු තැනක දේවාලයක් කරවා ඔහු එහි වස්වා නිරන්තරයෙන් බත් හා මල් පහන් සුවඳ විලවුන්ගෙන් පළමුකොට පුදන පරිද්දෙන් සැලැස්සුවා. ශාස්තෘ වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කොට වදාළ සේක. එම දේශනාව කෙළවර බහු භාණ්ඩික භික්ෂුව ද සෝවාන් ඵලයට පත්වුණා. බුදුරජාණන් වහන්සේ පූර්ව අපර සන්ධි ගළපා එ සමයෙහි උදක රකුසා දැන් බහු භාණ්ඩික මහණයි, සූර්ය කුමාරයා ආනන්ද ස්ථවිරයෝයි චන්ද්‍ර කුමාරයා සාරිපුත්ත ස්ථවිරයෝයි, කියාත් මහිංසාසක කුමාරයෝ නම් තථාගත වූ මම් ම වේ දැයි කියාත් තමන් වහන්සේ දක්වා වදාළ සේක.