Print this Article


ලංකාවේ බෞද්ධ ස්තූප 12: සෝණුත්තර මහ රහතන් වහන්සේ නාග ලොවේ සිට ධාතූන් වහන්සේ වැඩම කරවති

ලංකාවේ බෞද්ධ ස්තූප 12:

සෝණුත්තර මහ රහතන් වහන්සේ නාග ලොවේ සිට ධාතූන් වහන්සේ වැඩම කරවති

එකල මහාකාල නා රජ තෙමේ තම බෑණා වූ වාසුලදත්ත නාග රාජයා විසින් එම ධාතූන් වහන්සේ තැන්පත් වූ කරඬුව සඟවනු ලැබූ බව දැන, “අනේ ස්වාමීනි, ඔබ වහන්සේ සොයන ධාතූන් වහන්සේලා මා සන්තකයේ නැතැයි“ පවසා සිටියේ ය.

සෝණුත්තර රහතන් වහන්සේ එම ධාතූන් වහන්සේලාගේ ඉතිහාසය දැන එම විස්තරය මහාකාල නා රජුට පවසා නා රජතුමනි, එම ධාතූන් වහන්සේලා අපට අයිතියි. ඒ නිසා එම ධාතූන් වහන්සේලා දෙනු මැනැව‘යි යළි යළිත් ඉල්ලා සිටියහ.

එකල්හි මහාකාල නා රජ රහතන් වහන්සේට වෙනත් ක්‍රමයකින් තේරුම් කරන්නට ඕනෑ යැයි සිතා නාග භවනයේ ධාතු මන්දිරයට වැඩම කරවා ගෙන ගියේ ය. මාණික්‍යමය චෛත්‍ය පිහිටි භූමිය වර්ණනා කළේ ය. “පින්වත් වූ මහ රහතන් වහන්ස, දෑස් විදහා බලා වදාළ මැනව, නොයෙක් මාණික්‍යයන්ගෙන් ශෝභමාන වූ මේ චේතියඝරය ද, අවට සැරසිලි ද මැනැවින් බලනු මැනව“යි පවසා සිටියේ ය. සකල ලංකා ද්වීපයෙහි ඇති සියලු මුතු මැණික් එක් රැස් කළ ද මෙහි පඩිපෙළ පාමුල ඇති සඳකඩ පහන තරම් වත් නොවටින්නේ ය. මෙහි ඇති අන්‍ය වස්තූන්ගේ වටිනාකම පිළිබඳව කවර කතා ද?

එසේ හෙයින් පින්වත් මහ රහතන් වහන්ස, දැන් මේ නුඹ වහන්සේ සිදු කරන්නට යන්නේ මහා පුද සත්කාර පවතින්නා වූ තැනකින් සර්වඥ ධාතූන් වහන්සේලා බැහැර කොට අල්ප සත්කාර පවතින්නා වූ තැනකට රැගෙන යාම නොවේ ද? මෙය නම් අකටයුත්තකි‘යි පවසා සිටියේ ය.

එම අවස්ථාවේ දී සෝණුත්තර මහ රහතන් වහන්සේ මහාකාල නා රජු හට මෙසේ පිළිතුරු වදාළහ. “පින්වත් නාග රාජය, තොපගේ මේ ධාතු මන්දිරයෙහි ඇති මුක්තා මාණික්‍ය හිරණ්‍ය ස්වර්ණාදියෙහි වටිනාකම පමණ කළ නොහැක්කේ ය. පින්වත් නාග රාජය, එය මම දනිමි. එහෙත් නාග රාජය තොප හට චතුරාර්ය සත්‍ය ධර්මය අබෝධ කළ නොහැකි ම ය. චතුරාර්ය සත්‍යාවබෝධය ඔබගේ නාග ලෝකයේ පවතින දෙයක් ද නොවේ.

එම නිසා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ඇත්තා වූ ජනයා සිටිනා ස්ථානයකට ධාතූන් වහන්සේලා වැඩමවා යෑම යුතු වන්නේ ය.

ලෝකයට තථාගතයන් වහන්සේලා පහළ වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවා දෙව් මිනිස් ලෝ සතුන් සසර දුකින් එතෙර කරවීම පිණිස ම ය. එය වනාහී තථාගතයන් වහන්සේගේ ඒකායන ප්‍රාර්ථනාව වූයේ ලංකා ද්වීපයේ ඉදිවන මහා සෑයේ මේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා නිධන් ගත කරවීමයි. එම කරුණ කරන කොට මම ධාතූන් වහන්සේලා වැඩම කරවාගෙන යෑමට පැමිණියෙමි. මහා සෑය කරවන අපගේ දුටුගැමුණු මහ රජතුමා අද දින ධාතු නිධානෝත්සවය කරවන හෙයින් ප්‍රමාද නොකොට මා හට ධාතූන් වහන්සේලා දුන මැනැව“යි වදාළ සේක.

සෝණුත්තර රහතන් වහන්සේගේ එම බසට පිළිතුරු දෙන මහාකාල නා රජු “පින්වත් රහතන් වහන්ස, මා ළඟ ධාතූන් වහන්සේලා නැත. ධාතූන් වහන්සේලා වැඩ සිටින බව ඔබ වහන්සේ දකිනවා නම් වැඩමවාගෙන යනු මැනව‘යි පවසා සිටියේ ය.

එකල්හි මහා ප්‍රඥා ඇත්තා වූ සෝණුත්තර රහතන් වහන්සේ එම වදන් පෙළ නාරජු ලවා තුන් වරක් ම කියවා ගත්හ. එහිම වැඩහුන් සෝණුත්තර රහතන් වහන්සේ ක්ෂණයෙහි ම ඉතා සියුම් අතක් මවා මහාමේරු පර්වත පාමුල දුම් දමමින් නිදා සිටි වාසුලදත්ත නා රජුගේ මුඛයට ඒ අත ඇතුලු කළහ. කුස තුළ තිබූ ධාතූන් වහන්සේ තැන්පත් කරඬු වහන්සේ රැගෙන, “නාගය සිටිනු මැනැවයි” පවසා පොළොවෙහි කිමිද මහා සංඝයා වහන්සේ මධ්‍යයෙහි උඩට මතු වී නැගී සිටි සේක.

මෙය නොදත් මහාකාල නා රජු අප විසින් සෝණුත්තර රහතන් වහන්සේ රවටන ලදුව හිස් අතින් ම පිටත් වූයේ යැයි සිතුවේ ය.

එසේ සිතා ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ කරඬු වහන්සේ රැගෙන එනු පිණිස වාසුලදත්ත නා රජුට දැනුම් දුන්නේ ය. එම අවස්ථාවේ දී වාසුලදත්ත නා රජ තෙමේ තම කුසේ කරඬුව නොදැක හඬමින්, වැළපෙමින් පැමිණ ඒ බව තම මාමා වූ මහාකාල නා රජුට පවසා සිටියේ ය. නා රජ තෙමේ ද ශ්‍රමණයෙකු විසින් අප රටවනු ලැබුවේ යැයි හඬන්නට වූයේ ය. ධාතූන් වහන්සේලා තැන්පත් කරඬුව නැති වීමෙන් පීඩාවට පත් සියලු නාගයෝ රැස් ව එක් වන් හඬින් ශබ්ද නඟා ශෝක කරන්නට වූහ.

ධාතූන් වහන්සේලා අහිමි වූ ශෝකයෙන් භරිත නා රජවරු භික්ෂු මහා සංඝයා වහන්සේ ඉදිරියට පැමිණ හඬන්නට වූහ. නා රජවරු කෙරෙහි අනුකම්පා කර සංඝයා වහන්සේ ධාතූන් වහන්සේ ස්වල්පයක් ලබා දුන්නේ ය. එකල මහත් සතුටට පත් නා රජවරු නා ලොවට ආපසු ගොස් බොහෝ පූජා භාණ්ඩ ගෙනවිත් බුදුගුණ ගයමින් ස්තූප පූජාවට එක් වූහ.

ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ ධාතූන් වහන්සේ තැන්පත් කරඬුව තැන්පත් කිරීමට ස්වර්ණමය කරඬුවක් ද, මැණික් පළඟක් ද රැගෙන දෙවියන් පිරිවරා පැමිණියේ ය. සෝණුත්තර රහතන් වහන්සේ පොළොවෙන් මතු වූ ස්ථානයේ, විස්කම් දෙවි පුතු ලවා සුන්දර රුවන් මණ්ඩපයක් කරවා එහි රුවන් ආසනයක තැන්පත් කළ සේක. සෝණුත්තර රහතන් වහන්සේ වැඩමවාගෙන පැමිණි ධාතූ වහන්සේ තැන්පත් කරඬුව රැගෙන විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා රන් කරඬුවේ බහා උතුම් මැණික් ආසනයේ වඩා හිඳවී ය. සහම්පතී මහා බ්‍රහ්මයා යොදුනක් පමණ දික් වූ දිව්‍ය සේසතක් ආසනයට ඉහළින් දරා සිටියේ ය. සන්තුසිත දිව්‍ය රාජයා දිව්‍ය චාමරයෙන් පවන් සැලුවේ ය. සක් දෙව්රජ සුවඳ පැන් පිර වූ විජයෝත්තර නම් සංඛය දරා සිටියේ ය. සතර වරම් දෙවිවරු රන්වන් කඩු අතැති ව සතර දිශාවෙන් සිටගෙන සිටියහ. මහා සෘද්ධිමත් තිස්තුන් දිව්‍ය පුත්‍රයෝ පොකුරු වශයෙන් ගත් පරසතු මලින් පූජා පවත්වමින් එතැනට පැමිණියේ ය. තිස්තුන් දිව්‍ය කුමාරිකාවෝ දඬුවැට පහන් දරාගෙන සිටිය හ. අනේක දිව්‍ය දිව්‍යාංගනාවෝ මාලාදාමයෙන් සුසැදි අත් ඇතිව ධාතූන් වහන්නේ ට පූජා කරන්නට සිට ගත්හ. අටවිසි යක් සෙනෙවියෝ දුෂ්ට යකුන් පළවා හැර හාත්පස රැකවල් සැලසුහ. එතැනට පැමිණි පංච සිඛ ගාන්ධර්ව පුත්‍රයා වීණා වාදනය කරමින් මිහිරි නද එක් කළේ ය. රඟ මඬලක් මැවූ තිම්බරු නම් දිව්‍ය පුත්‍රයා දිව්‍ය තුර්ය නාදයන් පවත්වන්නට විය. මහාකාල නා රජ දෙවියන් හා එක්ව ස්තූති ගීතිකා පැවැත්වූවේ ය. දේවතාවෝ සුවඳ මල්, සුවඳ දිය වැසි වස්සවන්නට වූහ.