Print this Article


ආදර්ශවත් වූ පැවිදි ජීවිතය

මෙවර උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කරන්නේ අස්ගිරි මහා විහාරයෙහි උපාධ්‍යාය කාරක සංඝ සභික වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමිපාණන් වහන්සේ ය.

ආදර්ශවත් වූ පැවිදි ජීවිතය

ඔබ වහන්සේගේ භික්ෂු ජීවිතය ඔපවත් කර ගැනීමට ගුරු හාමුදුරුවරුන්ගේ සහ මව්පියන්ගේ ආභාසය බලපෑවේ කුමන ආකාරයෙන් ද?

තුඹුල්ල වලව්වේ කුමාර බණ්ඩාර ජයසුන්දර මහතා සහ හීන් මැණිකේ රණතුංග ජයසුන්දර මාතාව යන පින්වත් දෙපළ ආදරණීය මව්පියන් කොට සහෝදරයකු සහ සහෝදරියකගෙන් සමන්විත සැදැහැවත් පවුලක 1952 වර්ෂයේ ජනවාරි මස 15 වන දින ජන්ම ලාභය ලබා නිකවැරටිය මහසෙන් මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ බවත්, මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි. ඒ වගේම මගේ ආදරණීය මව්පිය දෙපළ සිංහල, ඉංගී‍්‍රසි, දෙමළ යන භාෂා තුනෙන්ම යහපත් අධ්‍යාපනයක් ලබා තිබූ දෙදෙනකු වීම නිසාම හොඳ අධ්‍යාපන පසුබිමකුත් නිර්මාණය වෙලා තිබීම අපගේ ජීවිත ආලෝකවත් වීමට හේතුවක් වුණා.

ඒ කෙසේ වෙතත්, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක වාරියපොළ කදිරාගල රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත මාමුණුවේ සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ඉතාමත් සුන්දර ළමා වියේ දී ම, එනම්, 1962 වර්ෂයේ ඔක්තෝම්බර් 26 වෙනි දින තුඹුල්ලේ සීලක්ඛන්ධ යන ශාසනික නාමයෙන් උතුම් වූ පැවිදි ජීවිතයට ප්‍රවේශ වීමේ සංසාරික පුණ්‍ය ශක්තියේ වාසනා ගුණය උදා වුණා.

අනතුරුව පැවිදි ජීවිතයට ඇවැසි මූලික බණ දහම්, වත් පිළිවෙත් පුරුදු පුහුණු වෙමින්, නාරම්මල දම්පැලැස්ස විද්‍යාර්ථාලංකාර පිරිවෙන සහ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනින් පිරිවෙන් අධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාල ප්‍රවේශ විශිෂ්ට සාමාර්ථය තුළින් උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී දෙවන පන්ති ඉහළ සාමාර්ථයක් සහිතව විශේෂවේදී උපාධිය ලබා ගත්තා.

1975 වර්ෂයේ දී මැදිරිගිරිය දිවුලංකඩවල විද්‍යාලයේ වසර 3 ක දුෂ්කර සේවය අවසන් කරමින් කැලණිය මහා විද්‍යාලයේ උප ගුරුවරයකු වශයෙන් සේවය ආරම්භ කිරීමත් සමඟම අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයට අනුයුක්ත වීමට කටයුතු කළා.

එම කාල පරිච්ඡේදය තුළදීම කොළඹ විශ්ව විද්‍යාලයෙන් දර්ශනපති පශ්චාත් උපාධිය ලබා ගනිමින් වයස අවුරුදු 34 ක් වූ වියේදීම ආචාර්ය උපාධිය සමත් වීමට හැකි වූ බවත් ප්‍රකාශ කළ යුතු යි.

බොහොම උනන්දුවෙන්, කැපවීමෙන් යුතුව ගුරු හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා පිළිපදිමින් උන්වහන්සේලාට ගරු කරමින් කටයුතු කිරීමේ ප්‍රතිඵල ඒ ආකාරයෙන් ම ලබාගැනීමට හැකි වූ බව අවධාරණය කළ යුතුයි. පැවිදි ජීවිතයේ සාර්ථකත්වය උරුම කර ගැනීමට ගුරු හාමුදුරුවන්ගේ ආශිර්වාදය, අවවාදය ඉතාම වැදගත්. එම කාල වකවානුව තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කිරීමටත්, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ආධුනික කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කිරීමටත් අවස්ථාව උදාවුණා.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරය ගැසට් කර තිබූ බැවින් ඒ සඳහා යොමු කරන ලද අයදුම් පත්‍රයකට අනුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය ලැබූ බවත් තවදුරටත් ප්‍රකාශ කළ යුතුයි.

ඔබ වහන්සේ විශ්වවිද්‍යාල දෙකක ම මහෝපාධ්‍යාය ධූරය දරමින් කටයුතු කළා. එම කාල පරිච්ඡේද තුළ ලබාගත් අත්දැකීම් පැහැදිලි කරනවා නම්,

එවකට භික්ෂු විශ්ව විද්‍යාලය රුවන්වැලි සෑය සමීපයේ පැවැති සීමිත ඉඩකඩ ප්‍රමාණයක ස්ථානගත ව තිබූ බැවින්, භික්ෂු නේවාසිකාගාර වැනි අවම පහසුකම්වත් නොතිබීම හේතු කොටගෙන විශාල අර්බුද රාශියකට මුහුණදීමට සිදුවීමත් සමඟ බොහෝ දුක් ගැහැට විඳීමට සිදුවුණා. පුරා විද්‍යා භූමියක ස්ථානගත වීම හේතුකොටගෙන ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා කැණීම් කටයුතු සිදු කළ නොහැකි වාතාවරණයක් පැවැති බැවින් පැරැණි ගොඩනැගිලි තුළම විශ්ව විද්‍යාලය කරගෙන යාම ඉතාම අසීරු කටයුත්තක්.

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය වර්තමානයේ ස්ථාපිත වී ඇති අක්කර 13 ක භූමි භාගය ලබා ගැනීමට කටයුතු කරමින් වර්තමාන අග්‍රාමාත්‍ය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ සහයෝගය මත සියලු පහසුකම් සහිතව අංග සම්පූර්ණ වශයෙන් අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය ගොඩනැඟීමට කටයුතු කළා පමණක් නොවෙයි, “බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය” යනුවෙන් සඳහන් වන නාමය වෙනස් කරමින් එය අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ලෙස නම් කිරීමටත් කටයුතු කළා. මගේ වසර 9ක උපකුලපති ධූර කාලය තුළ එවැනි ආකාරයෙන් කටයුතු කිරීමට ලැබීම ඉතාම සතුටක්.

විශ්වවිද්‍යාල දෙකක මහෝපාධ්‍යාය ධූරය දරමින් ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වශයෙන් ද, ලංකාවේ ප්‍රධාන පිරිවෙන් පරීක්ෂකවරයකු වශයෙන් ලබාගත් අත්දැකීම් අනුව, තමාගේ කල්‍යාණ මිත්‍ර ගුරු හාමුදුරුවන් විසින් ලබා දෙන අවවාද අනුශාසනා වගේම උන්වහන්සේලාගේ ආශිර්වාදය භික්ෂු ජීවිතය ගොඩනඟා ගැනීමට අතිශයින් ම ඉවහල් වන බව නූතන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සිහිපත් කළ යුතු යි. වර්තමානයේ ඇතැම් පොඩි හාමුදුරුවන් වහන්සේලා මෙවැනි කාරණා පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වන බව ඇතැම් විට දකින්නට පුළුවන්. එවැනි දේ නිවැරැදි කරගෙන ඉදිරියට ගමන් කළ යුතුයි.

ඒ වගේම විහාරස්ථානයේ වත්කම තුනුරුවන් සඳහාම යෙදවිය යුතුයි. එය ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා පමණක් නොව, ගුණවත්, නැණවත්, බුද්ධිමත්, සිල්වත් භික්ෂු පරපුරක් සසුනට දායාද කිරීම සඳහා කැප කළ යුතු ය. තමා විසින් පිණ්ඩපාතයෙන් උපයා සපයාගත් පිණ්ඩපාත දානය තම මව්පියන්ට ලබා දීම සුදුසු වුවත්, සාංඝික දේපළ විනය නීතියට අනුව ගිහියන්ට ලබාදිය නොහැකි යි. එය සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා ම යෙදවිය යුතු යි. අපගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාගේ අවවාද, අනුශාසනා අනුව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1988 වර්ෂයේ දී වාරියපොල රාජමහා විහාරස්ථාන වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන ආරම්භ කිරීමට කටයුතු කළා. ගරු හාමුදුරුවන් වහන්සේලා ලබා දුන් අවවාද අනුශාසනා පැවිදි ජීවිතයට පුරුද්දක් කර ගැනීම තුළින් සාර්ථක භික්ෂු ජීවිතයක් ගොඩනඟා ගත හැකියි.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටකය ඉගෙන ගැනීම සඳහා දක්වන රුචිකත්වය කෙසේද?

කාලීන වශයෙන් බලපාන ඉතාම වැදගත් ප්‍රශ්නයක්. භික්ෂු විශ්වවිද්‍යාල විෂය මාලාවේ ප්‍රධාන ස්ථානය හිමි වන්නේ ත්‍රිපිටක අධ්‍යාපනය ලබා ගැනීම සඳහාමයි. මෙම භික්ෂු විශ්වවිද්‍යාලයන්හි ප්‍රධාන අරමුණ ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කිරීම, විශ්ලේෂණය කිරීම, පෝෂණය කිරීම හා ලෝකයේ ව්‍යාප්ත කිරීමයි. අනිවාර්ය විෂයයක් බැවින් එය තෝරාගනු ලැබුවත්, සෙසු විෂයන් වෙත ශිෂ්‍යයන් දක්වන උනන්දුව, රුචිකත්වය ත්‍රිපිටකය අධ්‍යාපනය සඳහා නොලැබෙන බවක් පෙනී යනවා. ත්‍රිපිටක අධ්‍යයනය කිරීම සඳහා පාලි භාෂාව හොඳින් අධ්‍යයනය කළ යුතුයි. පවතින තත්ත්වය වෙනස් කරමින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට නම්, මූලික පදනම පිරිවෙන තුළින්ම ආරම්භ කළ යුතුයි. උසස් පෙළ හැදෑරීමේ දී ත්‍රිපිටකයට නැඹුරුතාවයක් දක්වන විෂයයන් පිරිවෙන් තුළ පළමු වසරේ සිටම හැදෑරීමට කටයුතු කළ යුතුයි. අපේ වර්තමාන ජනාධිපතිතුමා බෞද්ධ උපදේශන සභාව මාර්ගයෙන් භික්ෂු අධ්‍යාපනය, දහම් පාසල් අධ්‍යාපනය, බෞද්ධ අධ්‍යාපනය, නඟා සිටුවීම සඳහා ගන්නා වූ වෙහෙස අප්‍රමාණ ප්‍රශංසාවට භාජනය විය යුතු බවත් ප්‍රකාශ කළ යුතුයි.

ඔබ වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවය පිළිබඳව සඳහන් කරනවා නම්,

“හෙළ රජ කිරුළ දළදා වහන්සේ හා වාරියපොළ මාහිමි.” “අස්ගිරි මහා විහාරයේ ප්‍රභවය විකාශනය හා තදනුබද්ධ සාම්ප්‍රදායික අධ්‍යාපනය” බ්‍රහ්මාති මාතා පිතරෝ විද්‍යාලංකාර 1,2 ශාස්ත්‍රීය සඟරාවල සම සංස්කාරක, කුරුණෑගල 1,2 ශාස්ත්‍රීය සංග්‍රහ ප්‍රධාන සංස්කාරක ආදී ග්‍රන්ථවලට අමතරව පුවත්පත් සඟරා සඳහා බොහෝ ශාස්ත්‍රීය ලිපි ලේඛන සම්පාදනය කර ඇති බවත්, භික්ෂු ජීවිත ගොඩනඟා ගැනීම පිළිබඳ බොහෝ දේශනා මාලාවන් පවත්වනු ලබන බවත් ප්‍රකාශ කළ යුතුයි.

සුවිශේෂී වගකීම් රාශියක් දරමින් කටයුතු කළ ඔබ වහන්සේ කාල කළමණාකරණය කරගනු ලැබුවේ කුමන ආකාරයෙන් ද?

කාල කළමණාකරණය කිරීමේ දී සියලු කාර්යයන් සඳහා කාලය යෙදවිය නොහැකි වුවත්, අත්‍යවශ්‍ය කටයුතු කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම විහාරස්ථානයේ සහ පිරිවෙන්හි කාර්යයන් සඳහා විහාරස්ථාන තුළින්ම සුදුසු භික්ෂු පිරිසක් ගොඩනඟා ගත යුතු යි. පිරිවෙන් ආරම්භයේ දී බාහිර සම්පත් දායකත්වය ලබා ගත්තද, කාලයාගේ ඇවෑමෙන් එම පිරිවෙන්හි අධ්‍යාපනය ලැබු සුදුසුකම් ලත් ස්වාමීන් වහන්සේලා යොදාගැනීම තුළ කාල කළමණාකරණය ඉතාම ප්‍රයෝජනවත් ආකාරයට යොදා ගත හැකියි.