Print this Article


නිවැරදි විය යුතු ධර්මයට අනුව ය

නිවැරදි විය යුතු ධර්මයට අනුව ය

“තං කිං මඤ්ඤසි, රාහුල, කිමත්ථියො ආදාසො”ති “පච්චවෙක්ඛණත්ථො, භන්තෙ”ති. “එවමෙව ඛො, රාහුල, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා කායෙන කම්මං කත්තබ්බං, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා වාචාය කම්මං කත්තබ්බං, පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා මනසා කම්මං කත්තබ්බං’

“රාහුලය, එය කුමක් යැයි සිතන්නේ ද? කැඩපත කවර ප්‍රයොජනයක් පිණිස ද? “ස්වාමීනි, (එය) මුහුණ බැලීම පිණිසයි.”

“රාහුලය, එලෙසින් බලව නුවණින් බල බලා කයින් කටයුතු කළ යුතු ය. (නුවණින්) බල බලා වචනයෙන් කටයුතු කළ යුතු ය. නුවණින් බල බලා සිතින් කටයුතු කළ යුතු ය’

ඉහතින් සඳහන් කළේ ්අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳව දේශනා කර තිබෙන ආකාරය යි. මේ අනුව ප්‍රත්‍යවේක්ෂාව යනු කණ්නාඩියකින් මුහුණ බලා මුහුණෙහි අඩුපාඩු සකස් කර ගන්නා සේ තමන්ගේ අතීතය, වර්තමාන, සහ අනාගත කාය, වාග්, මනෝ කර්මයන් දෙස බලා ඒවා නිවැරැදි කර ගැනීමයි. නිවැරැදි කරගත යුතු ආකාරය ද මෙම සූත්‍ර දේශනාවෙහි සඳහන් කර තිබේ.

යම් කායික, වාචසික හෝ මානසික කර්මයක්

තමන්ට පීඩා පිණිස පවත්නේ ද,

අනුන්ට පීඩා පිණිස පවත්නේ ද,

දෙදෙනාට ම පීඩා පිණිස පවතියි ද?

අකුසලයක් වන්නේ ද?

දුක් රැස් කරන්නේ ද?

දුක් විපාක ඇති කරන්නේ ද?

එය වර්තමානයේ සිදුකරමින් සිටින්නේ නම් හෝ අනාගතයේ දී කරන්නට බලාපොරොත්තු වන දෙයක් නම් වළක්වා ගත යුතු ය. අතීතයේ කළ දෙයක් නම් ආයති සංවරයේ පිහිටවිය යුතු ය. ආයති සංවරය යනු ධර්ම විනය පිළිබඳ අවබෝධයක් ඇති, නුවණැති පුද්ගලයෙකුට එම වරද නොසඟවා පවසා නැවත එම වරද සිදු නොකරන බවට පොරොන්දු වීමයි.

මේ අනුව ප්‍රත්‍යවේක්ෂාව යනු තමන් දෙස සත්‍යවාදීව බැලීමයි. තමන්ගේ කායික, වාචසික හා, මානසික ක්‍රියා කාරකම් ධර්මානුකූල ව සිද්ධ වන්නේ ද යන්න විමසා බලා නිවැරැදි කර ගැනීම යි.මෙසේ යම් කෙනෙක් අඛණ්ඩ ව නිවැරැදි වන්නේ නම්, එම පුද්ගලයාගේ අවසාන නිවැරැදි වීම නිර්වාණ ශාන්තියෙන් උදා කර ගැනීමෙන් ම සිද්ධ වෙන බව ඉතා පැහැදිලි වේ.

මක්නිසාද යත් පුද්ගලයකුගේ සන්තානය නිවැරැදිම සිතිවිලි ඇති කරවන්නේ සත්‍ය අවබෝධ කළ පසුව බැවිනි.

නිවන් දැකීමට, සියලු දුක් නැති කර ගැනීමට බලාපොරොත්තු වෙන අය විසින් නිබඳ ව ප්‍රත්‍යවේක්ෂා ක්‍රියාවලිය තමන් දෙස විවෘතව බලමින් සිද්ධ කළ යුතුව ඇත.එසේ කිරීමෙන් දිනෙන් දින, සතියෙන් සතිය, මාසයෙන් මාසය අපගේ අභිවෘද්ධියක් ඇති කරගත හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. අතීතය දෙස බලා වර්තමානය හා අනාගතය ඉතා නිවැරැදිව සකස් කර ගැනීම කළ යුත්තක් බව ද මෙම අර්ථ දැක්වීම්වලට අනුව අපට ඉතා පැහැදිලි වේ.

එසේනම් අතීතය අමතක කළ යුත්තක් නොවේ. තණ්හා, දෘෂ්ටි මානයන්ගෙන් යුක්ත ව අතීතය ලුහු බඳීන්නේ නොමැති ව අතීතය දෙස බලා වර්තමානය හා අනාගතය නිවැරැදි කර ගැනීම අප සිදු කළ යුත්තකි.

බුදුන් වහන්සේ දේශනා කළ මෙවැනි උතුම් වැඩපිළිවෙළක් පිළිබඳව දීර්ඝ වශයෙන් මෙන් ම නිබඳව ම අප සාකච්ඡා කළ යුතු ව ඇත. ධර්මයට අනුව සිත සකස් කරන්නන් මෙම ප්‍රත්‍යවේක්ෂා වැඩපිළිවෙළ ආරම්භ කර පවත්වා ගත යුතු අතර, ඒ සඳහා සිදු කෙරෙන මඟ පෙන්වීමක් අද දින පටන් මෙම ලිපි මාලාව තුළින් සිදු කිරීමට බලාපොරොත්තු වේ.

මෙම වැඩ වැඩපිළිවෙළට අවතීර්ණ වන්නට සූදානම් වන පින්වතුන් මූලිකව ම තමන්ට තමන් සත්‍යවාදී වීමට වග බලා ගත යුතු ව ඇත. එසේ නොමැතිව තමන් නිවැරැදි කර ගන්නට හැකියාවක් නැති බව අප තරයේ වටහා ගත යුතු වේ.

මෙහි දී අවධානය යොමු කළ යුතු ඉතා වැදගත් කාරණාවක් ඇත. පුද්ගලයකුට වැරැදි දේ නිවැරැදි දේ කුමක්ද යන්න දැනෙන්නේ තමන්ගේ මානසිකත්වයට, නැතිනම් අවබෝධයට අනුව ය.

එබැවින් වැරැදි දේ නිවැරැදි ලෙස තේරුම් ගන්නා අවස්ථා තිබිය හැක.එසේ වුවහොත් එම තැනැත්තා ප්‍රත්‍යවේක්ෂා සිදුකර නිවැරැදි යැයි සිතා වැරැදි පැත්තට තමන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය කර ගන්නට ඉඩ තිබේ. අප නිවැරැදි විය යුතු ව ඇත්තේ අප අපට හිතෙන ආකාරයට නොව ධර්මයට අනුකූලවයි.

එසේ නම් ඒ සඳහා මූලිකව ම අප ධර්මානුකූල ව නිවැරැදි දේ කුමක්ද යන්න දැන ගත යුතුව ඇත. ධර්ම ශ්‍රවණය කිරීමත්, කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමත්, නිවැරැදි ධර්ම පුස්තක භාවිත කිරීමත් ආදී ක්‍රමවේදයන් මෙන් ම ප්‍රශ්න විචාරමින්, සැක තැන් දුරු කර ගනිමින් ධර්මය පිළිබඳව බහුශ්‍රැත භාවය ඇතිකර ගැනීම අවබෝධය කරා යන්නෙකුට මෙහිලා අත්‍යවශ්‍ය කාරණාවකි.

එසේ නම් අප පළමුවෙන් ම ප්‍රත්‍යවේක්ෂාව සිදුකළ යුතු වූ කාරණාව පිළිබඳව අවධානය යොමු කරමු.බෞද්ධයකු ලෙස පළමුවෙන් ම තිබිය යුතු ගුණාංගය නිවැරැදි සරණාගමනය යි .කාරණා සහිත ව ත්‍රිවිධ රත්නය කෙරෙහි සරණාගමනය සිද්ධ නොවූ පුද්ගලයකු කිසිදු දිනෙක බෞද්ධයකු ලෙස පිළිගත හැකි නොවේ. උපතින් බෞද්ධ වීමක් පිළිබඳව ධර්මයේ කිසිදු තැනක සඳහන් ව නැත.

ධර්මානුකූල ව නිවැරැදි සරණාගමනය ඇති කරගත් උපාසක උපාසිකාවන් තුළ තිබිය යුතු ලක්ෂණ කීපයක් ධර්මයේ සඳහන් වේ. එම ධර්ම කරුණුවලට අවධානය යොමු කරගනිමින් තමන්ගේ සන්තානගත ශ්‍රද්ධාව පිළිබඳව නිවැරැදි ප්‍රත්‍යවේක්ෂාවක් මේ මොහොතේ ම සිදු කර ගැනීම තමන්ගේ නිවැරැදි වීම සඳහා අත්‍යවශ්‍ය කාරණාවකි’

“යතො ඛො මහානාම බුද්ධං සරණං ගතො හොති. ධම්මං සරණං ගතො හොති, සංඝං සරණං ගතො හොති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ හොති”

නිවැරැදි සරණාගමනය උපාසකයෙකු වීමට මූලිකම හේතුව වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙම දේශනා පාඨයෙන් ඉතාමත් පැහැදිලි වේ. එමෙන්ම මෙසේ නිවැරැදි ව සරණාගමණය ඇති කරගත් උපාසකයෙකු තුළ තිබිය යුතු ගති ලක්ෂණ කීපයක් ම පහත සඳහන් වේ.

පඤ්චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හෝති, උපාසකපදුමඤ්ච උපාසක පුණ්ඩරිකෝ ච.කතමෙහි පඤ්චහි? සද්ධො හොති, සීලවා හොති, අකොතුහලිකමංගලිකො හොති. කම්මං පච්චෙති නො මංගලං, න ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවේසති, ඉධ ච පුබ්බකාරං කරොති, ඉමෙහි ඛො භික්ඛවේ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හොති, උපාසක පදුමඤ්ච උපාසක පුණ්ඩරිකෝ ච”

මහණෙනි, ධර්ම පසකින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක රත්නයක් ද වේ. උපාසක පද්මයක් ද වේ. උපාසක පුණ්ඩරිකයක් ද වේ. කවර ධර්ම පසකින් ද යත්? ශ්‍රද්ධාව ඇත්තේ වෙයි,සිල් ඇත්තේ වෙයි,අසන දකින දේවල හොඳ නරකින් සුබ අසුබ සිද්ධි වෙතැයි නො ගන්නේ වෙයි,.කර්මය සලකයි. මංගල්‍යය නො සලකයි,

බුදු සස්නෙන් පිටත පිනට දීමට සුදුස්සන් නො සොයයි. පළමු කොට ශාසනයට ම දෙයි.

මහණෙනි, මේ ධර්ම පසින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක රත්නයක් ද වෙයි. උපාසක පද්මයක් ද, උපාසක පුණ්ඩරිකයක් ද වෙයි.