Print this Article


සිල්වතුන්ට බුහුමන් කළොත් ආයු වර්ණ සැප බල ලැබෙනවා

සිල්වතුන්ට බුහුමන් කළොත් ආයු වර්ණ සැප බල ලැබෙනවා

"සැපෙන් සැප නො ලබන්නේ ය. දුකෙන් සැප ලබන්නේ ය."

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

අභිවාදන සීලිස්ස
නිච්චං වුද්ධා පචායිනො
චත්තාරො ධම්මා වඩ්ඪන්ති
ආයු වණ්ණෝ සුඛං බලං

“සුපින්වත්නි”

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දීඝලම්බක නුවර ආසන්නයේ වන කුටියක වැඩ සිටින සේක. එකල දීඝායු කුමරු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

දඹදිව දීඝලම්බක නුවර බමුණෙක් තපස් රැකුමට වනයට ගියේ ය. අටසාළිස් වසරකට පසුව තමාගේ කුල පරම්පරාව රැකීමේ ආශාවෙන් බිරිඳක් සරණ පාවා ගත්තේ ය. කලෙකින් දරුවෙකු ලබා බමුණා හා බැමිණිය තමන්ගේ සිඟිති පුතා රැගෙන වන කුටියක වැඩ සිටින බුදුරදුන් වෙත පැමිණියහ. ප්‍රථමයෙන් ඒ දෙදෙන වැඳ නමස්කාර කළහ. බුදුරජාණන් වහන්සේ “දීඝායු කො හොථ” දිගාසිරි ලැබේවායි වදාළ සේක. යළි සිඟිත්තා වන්දවන විට කිසිවක් නො වදාළ සේක. මෙයින් තැතිගත් බමුණා මෙයට හේතු කුමක්දැයි බුදුරදුන්ගෙන් විචාළේ ය.

“බමුණ, මේ දරුවාට උවදුරක් ඇත. දරුවාට ආයුෂ ඇත්තේ හත් දවසකැ”යි වදාළ සේක.

මව්පිය දෙදෙන මහා කම්පනයට පත්විය. තම පුතාගේ ජීවිතය බේරා ගැනීමට උපායක්, ක්‍රමයක්, පිළියමක් නැද්දැයි ඇසූහ. “බමුණ, ඔබේ නිවස පවිත්‍ර කරවා මණ්ඩපයක් සාදවන්න. ආසන පනවා මහා සංඝ රත්නයට ආරාධනා කොට ගෙදරට වැඩමවා ගන්න. උන් වහන්සේ වඩා හිඳුවා පුතා මැද තබා හත් දිනක් පිරිත් දේශනා කරවන්නට යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

බමුණා ද විගස ගේ දොර පවිත්‍ර කරවී ය. මණ්ඩපය තනා සංඝයා වහන්සේ වැඩම වූහ. පුතු ද බිම හොවා සතියක් පුරාවට පිරිත් දේශනා කරවීය. සත්වන දවස බුදුරජාණන් වහන්සේ ද වැඩි සේක. දෙවියෝ ද පැමිණිය හ. මෙම කුමරු වෙසමුණි රජුගේ නියමයෙන් ‘අවරුද්ධ’ නම් යකුට බිලි වන්නට සිටි නමුත්, මේ පිරිතේ ආනුභාවයෙන් ජීවිතය ආරක්ෂා විය.

පිරිත් දෙසුමේ අනුහසින් සෙත සැලසී ආයු වැඩුණ බැවින් මෙම දරුවා “ආයුවඩ්ඪන කුමරු නමින් ප්‍රකට විය.

මේ කාරණය නිමිති කරගෙන නිතර සිල්වතුන්ට, ගුණවතුන්ට , වැඩිහිටියන්ට ගරු කරන, වඳින පුදන තැනැත්තන්ට ආයු ,වර්ණ, සැප, බල යන ආනිශංස සතර ලැබෙන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

සමාජය ප්‍රගතිය කරා පියවරෙන්, පියවර ගමන් කරන්නේ අන්‍යොන්‍ය සුහදතාවය නිසා ම ය. එයට පදනම වන්නේ අචාර සමාචාර පැවැත්ම යි. මෙය ක්‍රමයෙන් උසස් ශිෂ්ඨාචාරය දක්වා ඉහළ යන විට සාමකාමි ජනතාවක් බිහි වේ.

ලෝකයේ විවිධ රටවල, විවිධ ජාති, ආගම් අනුව ආචාර ක්‍රම හා විධි වෙනස් වුව ද එකී සියලු ආචාර විධිවලින් අපේක්ෂා කරන්නේ අවංක සුහදතාවයකින් සාමකාමී ව ජීවත්වීම යි.

බුද්ධ දේශනාව අනුව ආචාර විධි ක්‍රියාත්මක කිරීමෙන් ,

පුද්ගලාන්තර සම්බන්ධය තහවුරුවීම, ආයු වර්ණ, සැප,බල, ප්‍රඥා වර්ධනය, ආගමික ශිෂ්ඨාචාරය ආරක්ෂාවීම, භෞතික දියුණුව හා ලෝකෝත්තර සුවය යන විපුල ප්‍රයෝජන අපේක්ෂා කරයි.

සමස්ත සත්ත්ව ප්‍රජාව ම ජීවත්වන්නේ අන්‍යෝන්‍ය සුහදතාවය අනුව භෞතික සම්පත් බෙදා හදා ගැනීමෙනි. එයට ශාරීරික හා මානසික හැසිරීම් රටාවක් අවශ්‍යම වන්නේ ය. හමුවීම, ආශ්‍රය හා වෙන්වීම යන මෙම ති‍්‍රවිධ අවස්ථාවේ දී අවස්ථාව, පුද්ගලයන් හා සංසිද්ධිය අනුව ආචාර සමාචාර විධි වෙනස් වුව ද පරපුරෙන්, පරපුරට ආදර්ශයෙන්, පුරුදු පුහුණු වන්නේ ය.

අප බුදුරජාණන් වහන්සේ මානව සමාජයේ ආරක්ෂාවට, දිගු කාලීන පැවැත්මට. දෙ ලොව අභිවෘද්ධියට නිවනින් සැනසීමට දේශනා කළ සිරිත් විරිත් විනය පිටකයේ දක්නට පුළුවන.

පැවිදි වූ තැන් පටන් ළදරු සාමණේරයන් වහන්සේලාගේ දෛනික පැවැත්ම සම්පූර්ණයෙන් ආචාර සමාචාර ක්‍රියාත්මක කිරීම මත පවතින්නේ ය. ආචාර්ය, උපාධ්‍යාය, වයෝවෘද්ධ භික්ෂූන් ඉදිරියේ තම සතර ඉරියව් සිහි බුද්ධියෙන් පවත්නා ආකාරය හෙරණශිඛ ග්‍රන්ථයේ දැක්වේ. එසේ පිළිපදින සාමණේර භික්ෂූන්ගේ ගුණ නුවණ ක්‍රමයෙන් වයසත් සමඟ වර්ධනය වන්නේ ය. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගේ හා දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ ය.

පූජකො ලභතො පූජං
වන්දකො පටිවන්දනං

ආදි වශයෙන් දක්වා ඇති පරිදි වැඩිහිටියන්ට ගෞරව සම්මාන කිරීම, වන්දන මානන පූජා පැවැත්වීම නිසා එහි ප්‍රතිවිපාක වශයෙන් පුදන්නාට ද ලැබෙන්නේ ය.

ජලය, වාතය, පොහොර ආදිය සම්පූර්ණ වන විට තුරුලතා සාරවත් ව ඵල දරන්නා සේ කෙනෙකු කුඩා කල පටන් ආචාර ධර්ම පිළිපදින්නේ නම්, එම පරමාදර්ශයෙන් ප්‍රභාමත් ජීවිතයක් ගත කරන්නට වාසනාවන්ත වන්නේ ය.

මිනිස් ජීවිතයකින් හරවත් දෙයක් නිර්මාණය කිරීමේ කුසලතාවය ලැබෙන්නේ ආචාර ධර්ම උපරිම වශයෙන් පිළි පැදීමෙනි. ලෝකෝත්තර සැපයට ද මෙය අදාළ වන්නේ ය.

නඛො සුඛෙන සුඛං අධිගන්තබ්බං
දුක්කෙන ඛො සුඛං අධිගන්තබ්බං

සැපෙන් සැප නො ලබන්නේ ය. දුකෙන් සැප ලබන්නේ ය. මෙම කාරණය අප බුදුරදුන් විසින් බෝධිරාජ කුමරුට විස්තර කොට තමන් වහන්සේගේ ජීවන චරිතයෙන් නිදර්ශන පෙන්වන ලදී.

ආචාර සමාචාර පැවැත්වීමේ දී කෙතරම් දුෂ්කරතා, බාධක ඇති වුව ද, උපේක්ෂාවෙන් ඉවසා විඳ දරාගෙන, ඉවසීමෙන්, නිහතමානී ව තමාගේ ඒකායන පරමාර්ථයට අනුව ආචාර සමාචාර වතාවත් කරන්නේ නම්, එයින් ලබන ප්‍රයෝජන අපමණ ය.

හිස නමා ආචාර කිරීමේ පටන් පසඟ පිහිටුවා වැඳීම දක්වා ශරීරික වශයෙන් කෙරෙන ක්‍රියාකාරීත්වය සමඟ ඇතිවන සුහදතාවය, ගෞරවය. සම්බන්ධ සියලු ආපදා බාධක, දුක් දොම්නස් අහෝසිවීමට හේතු වාසනා වන්නේ ය. මෙලොව වශයෙන් ජීව ශක්තිය වර්ධනය වන්නේ ය. එම කුසල බල මහිමයෙන් සසර දුක් දොම්නස් දුරුකොට උතුම් නිවනින් සැනසෙන්නට හැකි වන්නේ ය.

ඔබ සැමට තෙරුවන් සරණයි