Print this Article


දරුවන් නොමඟ යන්නේ කාගේ වරදින් ද?

දරුවන් නොමඟ යන්නේ කාගේ වරදින් ද?

සෑම මව් කෙනකුගේ ම, පිය කෙනකුගේ ම ඉහළ ම පැතුම නම්, තම දූ දරුවන් සුමගට යනවා දැකීම යි. දස මසක් කුස දරා මෙ ලොවට බිහි කර, ලේ කිරි කර පොවා, වෙහෙස නො බලා, දහඩිය මහන්සියෙන් උපයාගත් දැයින් දූ දරු අවශ්‍යතා සපුරන මවුපියෝ කිසිම දිනෙක තම දරුවන් වැරදි මඟ ගමන් කොට, දුක් විඳිනවා දැකීමට කිසිසේත් ම කැමති නො වෙති.

දූ දරුවන් ගේ අභිවෘද්ධිය දැක සතුටු වීම තරම් සතුටක් මවකට, පිය කෙනෙකුට තවත් නොමැති තරම් ය. එහෙත් ඒ සතුට මිහිපිට හැම මව්පිය කෙනෙකු ම විඳිනවා ද යන්න සැක සහිත ය. කෙතරම් බලාපොරොත්තු සිත් තුළ රඳවා දරුවන් පෝෂණය කළත්, ඒ බලාපොරොත්තු සුණු විසුණු වී යන්නේ ඉතා ශෝචනීය ආකාරයට ය.

මෙයට හේතුව කුමක් ද? මෙය දරුවන්ගේ වැරැද්දක් ද? සමාජයේ වැරැද්දක් ද? අධ්‍යාපනයේ වැරැද්දක් ද? මව්පියන්ගේ වැරැද්දක්ද? සදාචාරයේ වැරැද්දක් ද? මෙය ඉතා අපහසු ප්‍රශ්නයකි. තම දරුවන් කෙරෙහි ආදරය කරුණාව දක්වන මව්පියන් විසින් ප්‍රශ්නය අපහසු වුවත් විසඳුම් සපයා ගත යුතු ය. ඇතැමෙක් දරුවන් වරදෙහි බැඳීම ඔවුන්ගේ ම වැරැද්දක් ලෙස දකිති.

ඇතැමෙක් සමාජයේ වරදක් යැයි පවසති. අධ්‍යාපනයේ, ආගමේ වැරැදි නිසා යනුවෙන් ද පවසන්නෝ සිටිති. එහෙත් මෙය එක දෙසකට පමණක් ඇඟිල්ල දිගු කොට විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බව අවබෝධ කර ගත යුතු ය. දරුවන් නොමඟ යාමට විවිධ හේතු මූලික වේ. එම නිසා ඒ සියල්ල පිළිබඳ ව මව්පියන් කිසියම් අවබෝධයකින් සිටිය යුතු ය.

දරුවන් ක්‍රමික ව වර්ධනය වන විට ඔවුන්ගේ මනසේ තැන්පත් වන චින්තන රටාවන් සඳහා ඒ ඒ සමාජ ස්ථර බලපාන බව ඉතා පැහැදිලි දෙයකි. කුඩා ළමයා අවට ඇති පරිසරයේ බලපෑම්, ඔහුගේ සිතුම් පැතුම් ටිකෙන් ටික වෙනතකට යොමු කරයි. ඒ තුළින් විවිධ ක්‍රියාකාරකම් ඉස්මතු විය හැකි ය. සචේතනික වූත්, අචේතනික වූත් සියලුම වස්තූන්ගේ වෙනස් වීම සඳහා පරිසරය ඉතා ප්‍රබලව බලපාන බව අද විද්‍යාත්මකව ද ඔප්පු කොට හමාර ය. අචේතනික වස්තූන් සඳහාත් එසේ පරිසරය ප්‍රබල ව බලපානවා නම් සචේතනික වස්තූන් කෙරෙහි කියනු කිම?

පරිසරය යනු සත්ත්ව පුද්ගල ජීව, අජීව වස්තු සමූහයකින් නිර්මාණ වූවකි. එහි දී ජීවීන් ගේ බලපෑම ඉතා ප්‍රබල ය. ඒ සඳහා මුල්වන්නේ මානසික ක්‍රියාකාරීත්වය යි. එමඟින් ඕනෑ ම දෙයකට බලපෑම් එල්ල කළ හැක. අජීවී වස්තූන් පවා මානසික ක්‍රියාකාරීත්වය ඔස්සේ සිය වසඟයට ගත හැකි බව අද විද්‍යාඥයෝ තහවුරු කරති. එම නිසා එක් පුද්ගලයෙකුගේ මනස තවත් පුද්ගලයෙකුට බලපෑම් කිරීමට පහසුවෙන් උපකාරී කර ගත හැකි ය. එම මනසින් පරිසරය ද වෙනස් කළ හැකි ය. ඉතා ප්‍රසන්න වූ සිතැත්තෙකුට හා අප්‍රසන්න සිතිවිලි ඇත්තෙකුට බටහිර විද්‍යාඥයෝ වරක් එකම වර්ගයේ පැළ වර්ගයක් දී ඒවා රෝපණය කරන්නට නියෝග කළහ. ප්‍රසන්න වූ සිතැත්තා ඒවා ඉතා ඕනෑකමින් රෝපණය කොට නිතර ඒවා හා සමීප වෙමින් පිවිතුරු සිතින් සාත්තු කළේ ය. අප්‍රසන්න සිතිවිලි ඇත්තාත් තම පැළ හොඳින් රෝපණය කර පොහොර යොදා සාත්තු කළේ ය. ඒ සියල්ල ඔහු කළේ අප්‍රසන්න වූ සිතෙනි. ප්‍රතිඵලය කුමක් ද ? ප්‍රසන්න වූ සිතැත්තාගේ පැළ ඉතා හොඳින් වැඩී මල් හට ගත් අතර, අනෙකාගේ පැළ සියල්ල මැළ වී ගියේ ය. දෙදෙනා ම ඉතා හොඳට බිම සකස් කොට පොහොර යොදා නිරෝගී පැළ රෝපණය කළත්, ප්‍රතිපලය එලෙස වූයේ ඒ ඒ පුද්ගලයාගේ මානසික මට්ටම නිසා බව විද්‍යාඥයෝ අවබෝධ කර ගත්හ. එමගින් සචේතනික අචේතනික සියල්ලට ම ඇසුරු කරන සමාජයේ බලපෑමක් ඇති බව තහවුරු වේ.

මේ කරුණ සලකා බලන විට දූ දරුවන් හදන වඩන දෙමාපියන් වඩාත් පරිස්සම් විය යුත්තේ ප්‍රධාන වශයෙන් පරිසරයෙනි. ළමා මනස ඕනෑම දෙයක් ඉතා ඉක්මනින් ග්‍රහණය කර ගනී. ඒ ළමා මනසෛ් ඇති පිවිතුරුකම නිසා ය. කිළිටි වූ රෙදි කැබැල්ලකට වඩා ඉක්මනින් පිරිසුදු රෙදි කැබැල්ලකට සායමක් උරා ගන්නේ පවිත්‍රභාවය නිස යි. එලෙස ළමා මනසත් පවිත්‍ර නිසා ඕනෑම දෙයක් වහා රඳා පවතී. කුඩා කල ඇතැමුනට ජාතිස්මරණ ඥානය පහළ වන්නේ ඒ පිරිසුදු භාවය වඩා තීව්‍ර ලෙස පවතින කල්හි ය. එය ක්‍රම ක්‍රමයෙන් නැති වී යන්නේ සිත කිළිටි වන බැවිනි. කුඩා ළමුන්ගේ සිත්හි යම් දෙයක් රුඳුණහොත් එය බොහෝ කල් පවතින්නට ද ඉඩ ඇත. වැඩිහිටියෙකුට වඩා හොඳින් කුඩා ළමයෙකුට මතක සිටින්නේ ඔහුගේ සහජයෙන් පිහිටි ග්‍රහණ ශක්ති වැඩි නිසා ය. කුඩා ළමයින් ඕනෑම දෙයක් ග්‍රහණය කර ගන්නා සේ ම නිතර ම අනුන් කරන දේ කරන්නට උත්සාහ ගනී. ඔවුහු අනුකරණශීලිහු ය. වෙසෙසින් ම නිතරම තම වැඩිහිටියන් කරන දේ කිරීමට පෙළඹෙති. මෙය කා හටත් නො වැළැක්විය හැකි අතර, අවශ්‍ය කරනුයේ ඔවුන්ට සුදුසු පරිසරය සැකැසීම යි.