Print this Article


දානය ලෝකය වෙනස් කරයි

දානය ලෝකය වෙනස් කරයි

දිනෙක, එක්තරා පුද්ගලයකු පාසලට පැමිණ විදුහල්පතිතුමාගෙන් සමාව අයැද සිටියේ ය. ඒ, කයිට්ලීගේ බයිසිකලය සොරකම් කළ තැනැත්තා ය.

2000 වසරේ අග භාගයේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ෆී‍්‍රමොන්ට්  (Fremont)  ජාතික පාසලෙහි හත වසරේ ඉගෙනුම ලැබූ සංක්‍රමණික ශිෂ්‍යයෙකු වූ කයිට්ලී චුන්ග්ට ඔහුගේ 12 වන උපන් දිනය වෙනුවෙන් තෑගි කළ බයිසිකලය පාසල් රථගාල තුළ දී සොරකම් කෙරිණි. ඉන් බොහෝ ළතැවුලට පත් දරුවා මහ හඬින් ඉකිබිඳිණු දුටු ඔහුගේ පන්තියේ මිතුරු මිතුරියන් ඔහු වටා එක්ව ඔහු ව අස්වැසූහ.

“කයිට්ලී! අනේ, අඬන්න එපා, අපි, අපේ සල්ලි එකතු කරලා ඔයාට අලුත් බයිසිකලයක් අරන් දෙන්නම්.”

ඉන්පසු පරිත්‍යාගශීලී කුඩා දරුවෝ හැකි අයුරින් මුදල් එකතු කළහ. මේ පිළිබඳ ව ඇසූ පන්තිභාර ගුරුවරිය ගුරු මඬුල්ල දැනුම්වත් කළ අතර, ඔවුහු ද මීට එකතු වූහ. ගුරු මඬුල්ලෙන් මේ ගැන දැනගත් අනධ්‍යයන පාසල් සේවකයෝ ද මුදල් පරිත්‍යාග කළහ.

අවසානයේ බයිසිකල් හතරකට ප්‍රමාණවත් මුදල් එකතු විය. ඉන් එක බයිසිකලයක් කයිට්ලීට ද, අනෙක් බයිසිකල් තුන වෙනත් දුප්පත් සිසුන් තිදෙනෙකුට ද පිළිවෙළින් ලැබිණි. කනින් කන මේ ගැන ඇසූ මව්පියෝ ද තවත් බයිසිකල් කිහිපයක් පාසලට රැගෙන දුන්හ. මේ බයිසිකල් දානය සිදුවීම ගැන දැනගත් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු මාධ්‍යවලට ඒ ගැන වාර්තා කළෙන්, මාධ්‍ය එය මහජනයා වෙත සම්ප්‍රේෂණය කළහ.

ඉන් පසු දිනෙක, එක්තරා පුද්ගලයෙකු පාසලට පැමිණ විදුහල්පතිතුමන්ගෙන් සමාව අයැද සිටියේ ය. ඒ කයිට්ලීගේ බයිසිකලය සොරකම් කළ තැනැත්තා ය. එබඳු සොරකම් යළිත් නොකරන බවට පොරොන්දු වූ ඔහු, තම සොරකම්වලින් ඉපයූ මුදල් සියල්ලෙන් ම ෆී‍්‍රමොන්ට් පාසලට බයිසිකල් මිලට ගෙන දුන්නේ ය.

කුඩා දරුවන්ගේ දානමය සිතිවිලි කෙතරම් දෙනෙකුගේ ජීවිත කුසලය වෙත යොමු කරනු ලැබී ද? ‘සැබෑ ලෝකය වෙනස් කිරීම යනු මෙයයි.

භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ වරක් මෙසේ වදාළහ.

“තරහ නොගැනීමෙන් ම තරහ ගන්නා බව දිනිය යුතු ය. අයහපත් බව යහපත් බවින් ම දිනිය යුතු ය. මසුරු මළ සහිත තෘෂ්ණාව දානයෙන් දිනිය යුතු ය. සත්‍යය මුල් කර ගනිමින් අසත්‍යය දිනිය යුතු ය. (ධම්මපදය, ගාථා අංක - 223)

දන් දෙන පින්වත් පුද්ගලයා සියලු දෙනාට ම පි‍්‍රයශීලී, මිතුරන් බොහෝ ඇති, සැමගේ ගෞරවයට පාත්‍ර වන කෙනෙකු වේ. එයට හේතුව කුමක් ද? දන් දීමෙන් පෙන්නුම් කරන ඒ පරිත්‍යාගශීලී ඇතුළාන්තයයි. තමා කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව, ඉවසීම, විවෘත බව, අභ්‍යන්තර ශාන්තිය සේ ම ඕනෑම මොහොතක පිහිටක් විය හැකි ස්වභාවය ඇත්තෙකු බව දන්දීම තුළින් ලොවට මනාව පිළිබිඹු වෙයි. සෑම දෙනම ඔහු හෝ ඇය වෙත ආකර්ෂණය වන්නේ මේ ගුණ මදක් හෝ දන්දෙන්නා තුළ ඇතැයි යන විශ්වාසයෙනි.

සතුරෙකු වුව ද දන් දෙන්නා පිළිබඳ සිතන්නේ මඳක් හෝ ප්‍රසාද සිතකිනි. දන් දෙන්නාට හානි කිරීමට මුලින් ඔවුහු දෙවරක් කල්පනා කරනවා ම ය. වරක් ලොස් ඇන්ජලීස් නුවර බෞද්ධ තායි කාන්තාවකගේ හෝටලයකට මංකොල්ලකරුවෙකු පිස්තෝලයක් රැගෙන කඩා වැදුණි. ඔහු මුදල් ඉල්ලා තර්ජනය කළේ ය. එහෙත් තායි සේවිකා පිරිස උපක්‍රමික ව ඔහුට පහර දී අල්ලා පොලීසියට බාර දුන්හ. නම ගිය අපරාධ රැසකට සම්බන්ධ ඔහුගෙන්, පිස්තෝලයක් තිබියදීත් ඔවුනට වෙඩි නොතැබුවේ ඇයිදැයි පොලිස් නිලධාරීහු ප්‍රශ්න කළහ. වෙව්ලන, එහෙත් කෘතවේදී හඬින් හෙතෙම පිළිතුරු දුන්නේ ය.

“අනේ සර්! මේ මිනිස්සු හැම ඉරිදාම දුප්පත්, යන්න එන්න තැනක් නැති හුඟාක් මිනිස්සුන්ට නොමිලේ කන්න දෙනවා. මමත් හුඟාක් කාලයක් එහෙම කාපු කෙනෙක්. ඒ වගේ රත්තරං මිනිස්සුන්ට මම කොහොමද හිතකින් වෙඩි තියන්නේ?”

සෑම දීමක් ම සැබෑ දානයක් නොවේ. ඇතැම් අය දෙන්නේ නානා අදහස් ඇතිව ය.

ඇතැම් අය කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුව දෙති. අසරණයෙකුට උපකාර කොට ‘බොහොම පින් ස්තූතියි’ වත් නොකීවොත් ඔවුහු මුහුණ නරක් කර ගනිති. සමහරු දන් දෙන්නේ අපේ කුලවංශයේ අත්ත, මුත්ත, කිත්ත, කිරි කිත්තාදීන් ද මෙය කළ හෙයින් කරමියි සිතා ය. ඇතැම් දෙනා නොදුන්නොත් හොඳ නැතැයි කියා දෙති. ඇතැම් කෙනෙක් මින් මට පරලොව දී දිව්‍යමය සැපත් ලැබේ යැයි තෘෂ්ණාවෙන් දෙති. ඇතැම් කෙනෙක් පරණ ඇඳුම්, සපත්තු, කෑම, ආදිය දෙන්නේ තිබුණොත් කරදරයක් වේය සිතා ය. කේන්දර පිළිගන්නෝ අපලවලින් යක්ෂ, ප්‍රේත, භූත දෝෂවලින් බේරීමට දෙති. මෙවන් දාන පිරිසුදු දක්ෂිණා නොවෙති. දන් දීමට මුල් වූ අදහස පටු හෙයින්, ඉන් ලැබෙන පින ද, වැඩෙන කුසලය ද, සමාජයට වන බලපෑම ද එලෙසින් ම පටු ය.

පිරිසුදුව දන් දෙන්නා එසේ නොවේ. හෙතෙම වැඩකාරයකුට දෙන්නාක් මෙන් ඔහේ නොදෙයි. තමා කන බොන අයුරින් හෝ ඊටත් වඩා ඉහළින් හෝ දෙයි. දෙන දෙය පිරිසුදු, නැවුම් දෙයක් ද? ලබන්නාට ප්‍රණීත දෙයක් ද, දෙන්නේ සුදුසු කාලයක ද, මෙය ලබන්නාට කැපසරුප් යහපත් දෙයක් ද? යනුවෙන් සිතා බලා පරීක්ෂාකොට දෙන දෙය හොඳින් සකසා, ගෞරවයෙන්, පිරිසුදුව කර්මය, කර්මඵල විශ්වාස කරමින් තමන්ගේ අතින්ම දෙයි. දී හිත පහදා සතුටු වෙමින්, එම පරිත්‍යාගය මුළු හිතින් අත්හරියි. එයින් ලබන්නා කුමක් කරාදැයි නැවත එබී බැලීමක් සැබෑ දන් දෙන්නා තුළ නැත.

අතට අසුවන, පෙනෙන දේ පමණක් දීම දානය නොවේ. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඉඩම් කඩම්, යාන වාහන පරිත්‍යාගය ආමිස දානයයි. එයට වඩා ඉහළ දාන දෙකක් භාග්‍යවතුන් වහන්සේ දක්වා තිබේ. ලෝකය වෙනස් කිරීමටත්, නිර්වාණගාමී මාර්ගයේ පාරමිතා සපුරමින් දහම් මගෙහි ඉදිරියට යාමටත් උපකාරවන අභය දානය ද, ධර්ම දානය ද ඒවා ය. ශරීර අංග ප්‍රත්‍ය දන් දීම ද, මරණයෙන් සතුන් මුදාලීම ද, සීලමය ප්‍රතිපත්ති පිරීම ද අභය දානයන් ය. සකල ලෝ සතුන් බොහෝ දුක් විපාක ලැබෙන අකුසලින් දුරු කොට, මෙලොව, පරලොව දෙකෙහි ම සන්තෘෂ්ටියත්, සුවපත් බවත්, ශාන්තියත් ඇති කර ගන්නටත්, භයංකර සසර දුකින් අත මිදී ලබන පරම සුවය වූ නිවන් සම්පත් ලබන්නටත් උපකාර කෙරෙන උතුම් වූ ධර්ම දානය ලොව උත්තුංගම දානය වෙයි.

දානශීලී තැනැත්තා කායික ක්‍රියාවෙන් දන් දෙයි. සිත සතුටින් රෝගීන්ට උවටැන් කිරීම, ආහාර පානාදිය පරිත්‍යාගය, මව්පිය වැඩිහිටියන් රැක බලා ගැනීම, වෙහෙර විහාර ගොඩනැංවීම, අසරණයන්ට පිහිට වීම, පොදු ජන මංමාවත්, ඒදඬු පාලම්, විශ්‍රාම ශාලාදිය තැනීම එබඳු කායික දානශීලී ක්‍රියාවන් ය. හිංසාව, ඝාතනය, සොරකම කාමයේ වරදවා හැසිරීම, රහමෙර පානය යන පාප ක්‍රියාවලින් වැළකීම ද කායික ව කරන අභය දානයන් ය. එසේම හෙතෙම වචනයෙන් ද දානය ප්‍රගුණ කරයි. කරුණාව දයාව හා ආදරය පිරි වචන කතා කිරීමම, බොරු, කේලාම්, පරුෂ වචන හා හිස් වචනවලින් වැළකීම වාචසික දානයන් ය. තෙවැන්න වනා හී මානසික දානය වන අතර, කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව, උපේක්ෂාව, අල්පෙච්ඡ බව, උඩගු නොවන නිහතමානී බව මානසිකව කරන දානයන් ය.

දානය පුහුණු කරන්නා අකුසල දුරු කරයි. කුසලය වැඩිදියුණු කරයි. ලොව ආයුෂ වර්ණ සැප බල, ප්‍රඥා යන පංච විධ සම්පත්තියෙන් ආඪ්‍ය කරමින්, තමන් ද ඉන් ආඪ්‍ය බවට පත්වෙයි. ලෝකය සුන්දර වන්නේ ද, යහපත් අතට වෙනස් වන්නේ ද දානය පුහුණු කරන පිනැතියන් නිසාම ය. එවන් සත්පුරුෂයන් ඇති තාක්, ලොව නිර්වාණ පාරමී ඇත්තෝ දුලබ නොවෙති.