Print this Article


සිව් පිරිසිදු සිල්

සිව් පිරිසිදු සිල්

මරු කතරකට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවක් ලෙසින් සසර කතරට ඇදහැලුණ සදහම් අමා වැසි දහරින් ලොවක් සිසිල් කළ මහා මේකුල ධර්මැරාජ වූ බුදුරජාණෝ ය. ගිනිය නො හැකි කල්ප ගණනක් පුරන ලද පාරමී බල ඇති ව සත් වගක් සනහාලන කරුණා සීතල දහම් ඔසු ලබා දී කෙලෙස් රෝගයෙන් දෙවි මිනිසුන් මුදවා ගත් ඒ භාග්‍යවතුන් වහන්සේ තරම් අප සැමට අනුකම්පා කළ මවෙක් පියෙක්, දෙවියෙක් බ්‍රහ්මයෙක්, ශ්‍රමණයෙක් නැත් ම ය.

කැළඹිය නො හැකි සමුදුර බඳු සිල් කඳීන්, කම්පා කළ නො හැකි මිහිකත සදිසි සමාධියෙන්, පමණ කළ නො හැකි ආකාශයවන් ප්‍රඥාවෙන් යුතු ව, පිනැති ලෝ සතුන්ගේ නෙතින් නෙත පෙනී ගිය රන්වන් බුදුරුව තරම් ඇස සනසාලන අන් රූපයක් නැත්ම ය; ඒ මිහිරි සදහම් බඹගොස තරම් කන සනසාලන අන් මිහිරි ශබ්දයක් නැත්ම ය; ඒ අරහං ආදී ගුණ සිසිලස බඳු අන්‍ය වූ මනෝ චිකිත්සාවක් නැත්ම ය.

සසුන් මිහිර විඳගන්නා ශ්‍රාවකයා පළමුකොට බුදුරදුන්ගේ අසිරිමත් චරිතාලංකාරය මෙනෙහි කළ යුතු ය. දහමට දිවි දී සඟ රුවනෙහි සිසිල් සෙවණේ හැදී වැඩී පෝෂණය විය යුතු ය. සිව් පිරිසිදු සීලයෙන් සුවඳවත් ජීවිතයක් ගත කළ යුතු ය. කායික හා වාචසික සංවරය සීලය යැයි සාමාන්‍යයෙන් කියනු ලැබුව ද මානසික සංවරය ද සීලයට අදාළ වේ. මානසික ශික්ෂණයේ පිළිබිඹුව ශාන්ත, සංවර,සත්‍ය වචන හා යහපත් සහ මෛතී‍්‍ර සහගත කාය කර්මයන් ය. එබැවින් පිරිසිදු සිල් ඇති සිල්වතෙකු වීමට නම්, දමනය කළ සිතක් ඇති බව අත්‍යවශ්‍ය වේ.

ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සීලය නමින් සතර සීලයක් බුදුරදුන් විසින් වදාරා ඇත. සිල්වතෙකු යැයි කිවහැක්කේ එකී සතර සීලයන් ම ආරක්ෂා කරන්නාට පමණි. බුදුරජාණන් වහන්සේ විසින් පනවා ඇති විනය ශික්ෂාපද හා සම්බන්ධ සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය යි. උප සපන් භික්ෂූන් විසින් රැකිය යුතු දෙසිය විසි හතක් වූ ශික්ෂා පදයන් ද, භික්ෂුණීන්ට අදාළ තුන්සිය එකොළොසක් වූ ශික්ෂාපදයන් ද උපසම්පන්නයන්ගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නම් වේ.

සාමණේරවරුන් හා සාමණේරියන් රැකිය යුතු දස සීලය ඔවුන්ගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය යි. ගිහියන්ගේ අවම සීලය වන පඤ්ච සීලය ද උපචාර වශයෙන් මීට ම ඇතුළත් වේ.

ප්‍රාතිමෝක්ෂ සීලය ශ්‍රද්ධාවෙන් සම්පාදනය කළ යුතු ය. ප්‍රා‍ණඝාතාදී යමක් නො කළ යුතු යැයි ප්‍රතික්ෂේප කළ සේක් නම්, ඒ අපගේ සිත සුව උදෙසාම ය යන ඇදහීම බලවත් ලෙස සිත්හි දරා එකදු සික පදයක් හෝ පළුදු වන්නට නොදී ආරක්ෂා කරන ශ්‍රාවකයා ශ්‍රද්ධා සම්පන්නයෙකි.

බිජුවට රක්නා කිරල් දෙන ජීවිතය ද කැප කර තම බිජුවට ම රක්නා සේ, සෙමෙර මුවා වල්ගය යමක පැටලුන විට සිඳෙයි යන බියෙන් ජීවිතය නිසා හෝ එතැනින් ඉවත් නො වී වල්ගය රක්නා සේ, එකම පුතෙකු ඇති මව තම පුතු රක්නා සේ, එකම ඇසක් ඇත්තෙකු එම ඇස රක්නා සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කළ යුතු යැයි වදාරා ඇත. සිය දිවි හළ මුත් ලෝ හිමි සඳුන් පැනවූ සිකපද නො බි¼දීන ශ්‍රාවකයා සැබෑම සිල්වතා වේ. යම් හේතුවකින් සිකපද බිඳීමක් සිදු වූයේ නම් මෙහොතකුත් ප්‍රමාද නොවී පිරිසිදු කර ගැනීමෙන් ප්‍රතිමෝක්ෂ සීලය ආරක්ෂා කළ යුතු ය.

එකී පාමොක් සීලය අඛණ්ඩ ව රක්ෂා කිරීම පිණිස හේතු වන්නේ ඉන්ද්‍රිය සංවර සීලය යි. සිහියෙන් තොරව වාසය කරන පුද්ගලයාට ඇස ආදී ඉඳුරන්ගෙන් ගනු ලබන අරමුණු නිසා බොහෝ සෙයින් ඇලීම් හා ගැටීම් ඇති වේ. එනම් ලෝභය නම් අකුසල මූලය ද, ද්වේෂය නම් අකුසල මූලය ද පහළ වීම යි.

කිසියම් අරමුණක් පිළිබඳ ව තණ්හාව හෝ ද්වේෂය ඇති වීමත් සමග අකුසල චිත්තෝත්පාද ගණනාවක් පහළ වේ. ඒත් සමග විසම හැඟීම් ඇති වී ප්‍රාණඝාතාදී කාය කර්ම ද, මුසාවාදා දී වචී කර්මය ද ඇති වේ. ප්‍රාතිමෝක්ෂ සිල්පද බිදී යාම යනු එය යි. චක්ෂුරාදී ඉන්ද්‍රියන්ගෙන් ගනු ලබන රූපාදී ආරම්මණ සම්බන්ධයෙන් තණ්හා, ද්වේෂ, දිට්ඨි, මාන ආදී අකුසලයන් පහළ නො වන පරිදි සිහියෙන් යුක්ත වීම ඉන්ද්‍රිය සංවර සීලය රැකීම නම් වේ. ඒ හේතුවෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ද ආරක්ෂා වේ. සිහියෙන් යුක්ත නොවී සිකපද රැකිය නො හැකි බව ඒ අනුව තේරුම් ගතයුතු ය. ගිහි පැවිදි යමෙක් සික පද බිඳ ගනී නම්, ඔහු ඉන්ද්‍රිය සංවරයෙන් වෙන් වූවෙකි. මනේන්ද්‍රිය සංවර කර ගැනීම මෙහිලා අතිශයින් වැදගත් වේ. සිත සංවර වූ පසු සියල්ල සංවර වේ.

සටහන් හෙවත් නිමිති සිතට ගැනීම හේතුවෙන් රූපාදී අරමුණු නිසා කෙලෙස් ඇති වේ. ඇසින් රූපයක් බලා ගැහැනු-පිරිමි වශයෙන්, ලස්සන-අවලස්සන වශයෙන්, තරුණ-මහලු වශයෙන්, සතුරු-මිතුරු ආදී වශයෙන් සිතට ගැනීම රූප නිමිති ගැනීම යි. මුහුණ, ඇස්, කෙස්, තොල්, දත්, අත්, පා, ළැම, උකුල ආදී කොටස් වශයෙන් සිතට ගැනීම ව්‍යඤ්ජන නිමිති ගැනීම යි. ශබ්දාදිය සම්බන්ධයෙන් ද එසේ නිමිති ගැනීමෙන් සිත ලෝභයට හෝ ද්වේෂයට බැස ගනියි. සතිය ගිලිහී ගොස් පාපී වචන හා කි‍්‍රයාවන් පහළ වී සිකපද බිඳී යයි. මෙය රැකීමට තරමක් අපහසු සීලයක් වුව ද ගිහි පැවිදි සියල්ලෝ පිරිසිදු පාමොක් සීලයක් තුළින් පින් රැස් කර ගැනීමට බලාපොරොත්තු වෙත් නම්, හැඟීම් පාලනයක් ඇතිව චක්ෂුරාදිය සංවර කර ගත යුතු ය.

නො මනාව සෙවෙනි කළ ගෙය තෙමෙන්නාක් මෙන් නො වැඩූ සතිය හේතුවෙන් සිත රාගයෙන් තෙත් වේ. ද්වේෂයෙන් දූෂිත වේ. පුද්ගලයෙකුට පහළ වන තාක් පාපයන් පහළ වන්නේ අසංවර ඉඳුරන් නිසාවෙනි. සෑම අපරාධයකට ම මූලය ද එය යි. රාගයෙන් සිත මුදවා ගැනීම පිණිස අසුභසති මනසිකාරය ද, ද්වේෂයෙන් වෙන් වීම පිණිස මෛතිය ද වැඩීම මෙහිදී ඉන්ද්‍රිය සංවරය සඳහා මහෝපකාරී වේ.

ආහාර, ඇඳුම්, නිවාස, බෙහෙත් යන මූලික අවශ්‍යතා හා ඉන් පරිබාහිර අවශ්‍යතා ඉටුකර ගැනීමේ දී බුද්ධාදීන් විසින් පිළිකුල් කරනු ලබන නො මනා කි‍්‍රයාවලින් වැළකී දැහැමෙන් සෙමෙන් ජීවත් වීම ආජීවපාරිශුද්ධි සීලය යි. එය සම්පාදනය කරන පැවිද්දා අනෙසනයන්ගෙන් ප්‍රත්‍ය නො සෙවිය යුතු ය.

වෙදකම, කේන්ද්‍ර බැලීම, පලාපල කීම, නැකැත් හා මන්ත්‍ර ගුරුකම් කිරීම, ගිහියන්ගේ නැති ගුණ කීම හා චාටුබස් කියා ඔවුන් රැවටීම, නැති නම්බු නාම දී කථා කිරීම, දරුවන් නැළැවීම, තමාගේ නැති ගුණ හෝ ඇති ගුණ ඇඟවීම, වඩ වඩාත් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් අල්පේච්ඡ බව පෙන්වීම, තමා භාවනා කරන්නෙකු යැයි හෝ මගඵල ලාභියෙකු බව ඇඟවීම යනාදී ක්‍රම මගින් සිව්පසය නො සෙවිය යුතු ය.

පිඬුසිඟා ගැනීම් ආදියෙන් ජීවත් විය යුතු ය. පැවිද්දා ගොවියෙක් හෝ වෙළෙන්දෙක් නොවේ. කපුවෙක් හෝ තැරැව්කාරයෙක් නොවේ. රැකියා කරන්නෙක් හෝ රට කරවන්නෙක් නොවේ. ගිහියන් සැදැහැයෙන් දෙන සිව්පසය පරිභෝග කරමින් ඔවුනට බුදු බණ කියා දී සතර අපායෙන් මුදවාලීම පිණිස අවවාද අනුශාසනා කරන්නෙකි.

ගිහියා ද නො කළ යුතු වෙළෙඳාම් ආදියෙන් වෙන්ව සොර කිරුම් මිනුම්, අල්ලස් ගැනීම් වලින් තොරව ධාර්මික රැකියාවකින්, වැටුපට සරිලන සේවයක් සපයා මිල මුදල් සපයා ගැනීම මගින් තම දිවි වැඩුම පිරිසිදු කළ යුතු ය. අඹු දරුවන් පෝෂණය කිරීම් ආදිය උදෙසා හෝ වෙනයම් කරුණක් හේතුවෙන් මත්ද්‍රව්‍ය, වසවිෂ, අවි ආයුධ වෙළෙඳාම් කිරීම ආදිය මිත්‍යා ආජීවයට ඇතුළත් වේ. එමගින් බරපතළ විදියේ පාප කර්මයන් සිදුවන බැවින්, මරණින් මතු අපාගත වන්නට ද සිදු වේ. ගිහියන් හා පැවිද්දන් අතර යහපත් සම්බන්ධයක් වේ නම් දෙපිරිසගේ ම ආජීව පාරිශුද්ධි සීලය ආරක්ෂා වනු ඇත. දැහැමෙන් හා සෙමෙන් ජීවිතයක් පැවැත්වීම උදෙසා වීර්යය හා ධර්ම ඥාණයක් අවශ්‍ය වන නිසා නිතර බණ ඇසීම හා ධර්මය සාකච්ඡා කිරීම වැදගත් වේ.

ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය ප්‍රඥාවෙන් සම්පාදනය කළ යුතු ය. ඉහත කී අනේසනයන් නො කර දැහැමෙන් ලද පිණ්ඩපාතාදිය පරිභෝග කිරීමේදී එහි ප්‍රයෝජන සලකා ධාතු වශයෙන් හා ප්‍ර තිකූල වශයෙන් මෙනෙහි කර පරිභෝග කිරීම ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය නම් වේ.

පැවිද්දා සිවුරු පොරවන වාරයක් පාසා, වළඳන දන් පිඬක් පාසා, සෙනසුනට පිවිසෙන වාරයක් පාසා, වළඳන ගිලන්පස උගුරක් පාසා එකී ප්‍රත්‍යවේක්ෂාව තබාගත යුතු ය. එසේ නොවේ නම් ඉණ පරිභෝග හෙවත් ණයට කෑමක් වේ. එය ද සිල්වත් පැවිද්දාට ය. ශ්‍රමණ දුස්සීලයාගේ පරිභෝගය සොරා කෑමක් ලෙස දක්වා තිබේ.

ගිහියා ද තලු මරමින්, රස විඳීමින් ආහාර පාන පිළිබඳ ගිජු නො වී තරමක් දුරටවත් ජීවත්වීම් ආදී ප්‍රයෝජන සලකා ආහාර පාන ගැනීම් ආදිය කළ යුතු ය. වළඳන බත්පත, අඳීන වස්ත්‍රය, සෙවණ ලබාදෙන නිවස ආදිය නිසා බොහෝ කෙලෙස් ඇති වී දුගතියේ නො වැටෙන ලෙස ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය පුරුදු කිරීමට වගබලා ගත යුතු ය.

සිව් පිරිසිදු සීලයෙන් තොරව ලැබෙන සුගතියක් හෝ නිවනක් නැත. ගිහි-පැවිදි සියල්ලන් ම පැළඳීය යුතු ආභරණයක් වන චතුපාරි ශුද්ධි සීලය අප්‍රමාදී ව සම්පාදනය කොට තම ජීවිතයේ සැනසීම උදාකර ගනිත්වා!