Print this Article


කුසීතකම ඇති තැන වීර්යය නැත

කුසීතකම ඇති තැන වීර්යය නැත

“මහණෙනි කුසීතභාවය නැමැති ස්වර්ග මෝක්ෂ ආවරණය කරන අන් එකම ධර්මයක් වත් මගේ බුදු ඇසට නොපෙනෙයි . ඒ මොන ආකාර කුසීත භාවයක් ද? යම් කුසීත කම කින් උපන් අකුසල් උපදිත් ද, උපන් කුසල් පිරිහෙත් ද එසේ වෙන එකම ධර්මය කුසීත කමයි”

“මහණෙනි වීර්යය ආරම්භය පමණ ප්‍රබල සම්පන්න ධර්මයක් මට නොපෙනේ . කුමක් සඳහාද ? නූපන් කුසල් වඩ වඩා වගා කර ගන්නටය. උපන් අකුසල් නසා දමා වනසා ගන්නටය. පටන්ගත් වීර්යය ඇත්තාහට නූපන් කුසල් වැඩේ . සම්පූර්ණ වෙයි. උපන් අකුසල් මැඩෙයි , වැනසෙයි. මෙසේ වීර්යයේ බලය බුදුරජාණන් වහන්සේ වර්ණනා කර තිබේ”

කුසීත භාවය සත්වයා දුගතියට පිරිහීමට ප්‍රපාතයට ඇද දමයි. එබැවින් සුගතිය, නිවන බලාපොරොත්තුවෙන් කටයුතු කරන සෑම පින්වතෙක් ම වීර්යය ආරම්භයෙන් මෙන් ම වීර්ය බලයෙන් ප්‍රබල විය යුතු ය.

වීර්ය හා කුසීතකම යනු මනුස්ස සන්තානයක උපදින ප්‍රතිවිරුද්ධ ධර්මතා දෙකකි. වීර්යය ඇති තැන කුසීතකම නැත. කුසීත කම ඇති තැන වීර්යය නැත. එසේම කුසීතකම බලවත් වන විට සිතේ නැගෙන වීර්යය යටපත් වී යයි. වීර්යය බලවත් වන විට සිත හැකිලෙන ගතිය ඇති කරන කුසීතකම යටපත් වී යයි.

එසේ නම් , අපි කුසීතකම අඩු වන්නටත් වීර්යය වැඩි වන්නටත් , යම්කිසි ක්‍රමවේදයක් භාවිතා කළ යුතුව ඇත. මේ සඳහා කළ යුත්තේ කුසීත භාවයේ ආදීනවයත් , වීර්යාරම්භයේ ආනිසංසත් හොඳීන් දැන නැවත නැවත ඒවා මෙනෙහි කිරීමයි.කුසීත කම ඇති පුද්ගලයා හිරේ විලංගුවේ වැටුණ කෙනෙකු වැනි ය. හිරේ විලංගුවේ වැටුණු පුද්ගලයාට නිදහසට කටයුතු කිරීමට නොහැකි ය. කම්මැලිකමට හිරවීම් නිසා බොහෝ පුද්ගලයන් දෙලොව ම පරිහානියට පත්වේ.

කුසීත පුද්ගලයා විසින් කුසීතකමට යොදාගන්නාවූ කරුණු කුසීත වත්ථු නම් වෙති. කුසීත වස්තු අටකි පළමුවන කුසීත වත්ථුව: වැඩක් කළ යුතු ව ඇත්තේ වේ. මට වැඩක් කරන්නට ඇත්තේ ය. වැඩ කිරීමේ දී මාගේ ශරීරය වෙහෙසට පත් වන්නේ ය. එසේ සිතා හෙතෙමේ නිදයි.

දෙවන කුසීත වත්ථුව: වැඩක් කොට නිමවන ලද්දේ වෙයි. . මම වැඩක් කෙළෙමි. වැඩක් කළා වූ මාගේ කය වෙහෙසට පත් විය. එබැවින් දැන් නිදමියි සිතා නිදයි.

තුන්වන කුසීත වත්ථුව: ගමනක් යාමට සිදු වී ඇත්තේ වෙයි. ඔහු මෙසේ සිතයි. මා විසින් ගමනක් යා යුතුව ඇත. යන කල්හි මාගේ ශරීරය වෙහෙසට පත් වන්නේ ය. එබැවින් මා විසින් කලින් සැතපිය යුතුය යි හෙතෙමේ නිදයි.

සතර වන කුසීත වත්ථුව: ගමන නිම කළේ වෙයි. ඔහුට මෙබඳු අදහසක් ඇති වේ. ගමනක් ගියා වූ මාගේ කය වෙහෙසට පත්ව ඇත්තේ ය. දැන් මම නිදමියි සිතා හෙතෙම නිදයි.

පස් වන කුසීත වත්ථුව: භෝජනයක් සෑහෙන පමණට නො ලබයි. ඔහුට මෙබඳු අදහසක් වෙයි. මම පිඬු පිණිස හැසිර වුවමනා පමණට භෝජනයක් නො ලැබුවෙමි. මාගේ සිරුර ක්ලාන්ත ය, අප්‍රාණික ය. එබැවින් මම නිදමියි නිදයි.

සවන කුසීත වත්ථුව: භෝජනයක් සෑහෙන පමණට ලබයි. ඔහු මෙසේ සිතයි. මම භෝජනය රිසි පමණට ලැබුවෙමි. දැන් මාගේ කය ක්ලාන්ත ය. අකර්මණ්‍ය ය. බරය. දැන් විශ්‍රාම ගනිමි යි නිදයි.

සත් වන කුසීත වත්ථුව: ස්වල්ප ආබාධයක් ඇති වේ. ඔහුට මෙබඳු අදහසක් වෙයි. මට දැන් ස්වල්ප ආබාධයක් ඇත්තේ ය. දැන් මට විවේක ගැනීමට කාලය යි. ඔහු නිදයි. අට වන කුසීත වත්ථුව: රෝගයෙන් නැඟුණේ වෙයි. ඔහුට මෙබඳු අදහසක් ඇති වෙයි. මම දැන් රෝගයෙන් නැඟී සිටිමි.

මාගේ කය තව ම දුබල ය. අකර්මණ්‍යය. මම දැන් නිදමියි නිදයි. මෙසේ නිදන පුද්ගලයා නො පැමිණි ධ්‍යාන විදර්ශනා මාර්ග ඵලයන්ට පැමිණීම සඳහා කායික මානසික වීර්යය නොකරයි. නමුත් සංසාර දුකෙන් එතරවීමේ අපේක්‍ෂාවෙන් බුදු සස්නෙහි පැවිදි ව පිළිවෙත් පුරන සැදැහැවත් පුද්ගලයා, කුසීත වස්තු වශයෙන් දක්වන ලද මේ කරුණු අට වීර්යය කිරීමට හේතුවන කරුණු බවට පත්කර ගනී.

ඉදිරියට වැඩක් කරන්නට යෙදී තිබීම අලස පුද්ගලයාට නිදා ගැනීමට කරුණක් වන්නාක් මෙන් ම සැදැහැවත් පුද්ගලයාට වීර්යය කිරීමට කරුණක් වේ. හෙතෙමේ ඉදිරි කාලයේ වැඩක යෙදෙන්නට සිදුවී ඇති කල්හි වැඩක යෙදෙන්නා වූ මට නොපැමිණි ධ්‍යානාදියට පැමිණීම සඳහා භාවනා කිරීමට නො ලැබෙන්නේ ය.

වැඩ පටන් ගැනීමට කලින් නො පැමිණි ධ්‍යානාදියට පැමිණීමට උත්සාහ කළ යුතු යැයි විශ්‍රාම ගැනීමක් නො කොට වඩා උත්සාහයෙන් කටයුතුවල යෙදෙයි . මේ කුසීත වස්තුව ආරම්භ වස්තුව වන ආකාරය යි.

අනෙකුත් කුසීත වස්තූන් ද මේ ආකාරයට සැදැහැවත් පුද්ගලයා ආරම්භ වස්තුන් බවට ද, වීර්ය‍ය කිරීමට හේතු වන ආකාරයට ද නුවණින් විමසා බලා සකසා ගනී. මේ ආකාරයට ආරම්භ වස්තූන් සහිත වීර්යය අපේ මනසින් උපදින ආකාරයට මනසිකාරය සකස් කර ගන්නා ආකාරය අප දැන ගත යුතුව ඇත.

මහණෙනි, සම්‍යක් ප්‍රධානයෝ සතර දෙනෙකි. ඒ කවර යත්, නූපන් පවිටු අකුසල් දහම් නුපදවීම පිණිස කැමැත්ත ඇති කර ගනී , වෑයම් කරයි , වීර්යයෙන් ආරම්භ කරයි , සිත දැඩි කොට පිහිටුවයි ද, මහත්කොට වීර්යයෙහි යෙදෙයිද, උපන් පවිටු අකුසල් දහම් ප්‍රහාණය පිණිස කැමැත්ත ඇති කර ගනියි , වෑයම් කරයි වීර්යයෙන් ආරම්භ කරයි , සිත දැඩි කොට පිහිටුවයි , මහත්කොට වීර්යයෙහි යෙදෙයි , නූපන් කුසල් දහම් උපදවා ගැනීම පිණිස කැමැත්ත ඇති කර ගනී ද, වෑයම් කරයි ද, වීර්යයෙන් ආරම්භ කරයි ද, සිත දැඩි කොට පිහිටුවයි ද, මහත්කොට වීර්යයෙහි යෙදෙයි ද, උපන් කුසල් දහම් හි බහුලත්වය පිණිස නැවත නැවත ඇතිවනු පිණිස, වැඩීම පිණිස, පරිපූර්ණත්වය පිණිස කැමැත්ත ඇති කර ගනියි , වෑයම් කරයි, වීර්යයෙන් ආරම්භ කරයි, සිත දැඩි කොට පිහිටුවයි , මහත්කොට වීර්යයෙහි

යෙදෙයි ද, මහණෙනි, මේවා සතර සම්‍යක් ප්‍රධාන යැයි හැඳීන්වේ.

මෙවැනි සතර ආකාරයක වීර්යයක් උපදින ආකාරයට අපේ මනස සකස් කර ගැනීමට ද අපි දැනුවත් විය යුතුව ඇත. ඉහත සියලු ආකාරවලට චිත්ත සන්තානයෙන් වීර්යය ඉපදී එන ආකාරයට අප මනසිකාරය සකස්කර ගැනීම සඳහා කළ යුතු දේ කුමක්ද යන්න අප ඉතා පැහැදිලිව තේරුම් නොගත්හොත් මෙවැනි උසස් තත්ත්වයකට අප සිත පත්කර ගැනීමට නුපුළුවන. එබැවින් මෙම වීර්යයෙන් යුත් මානසික තත්ත්වයන් ඇති කර ගැනීම සඳහා කළයුතු දේ විමසා බලමු.

අටුවාවෙහි විරියසම්බොජ්ඣංග ඇතිකර ගැනීමට හේතු වන කාරණා එකොළොසක් දක්වා තිබේ. අපාය භය ගැන සිතෙන බව ය, වීර්‍යයේ අනුසස් දක්නා බව ය. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මඟ ප්‍ර ත්‍යවේක්ෂා කරන බව ය.සැදැහැතියන් විසින් දෙන බොජුනට ගරු කරන බව ය, උරුමයේ මහත් බව ප්‍රත්‍යවේක්ෂා කිරීම ය, ජාතියේ මහත් බව ප්‍ර ත්‍යවේක්ෂා කිරීම ය. එක්ව පිළිවෙත් පුරන්නන්ගේ මහත් බව ප්‍රත්‍යවේක්ෂා කිරීම ය, අලසයන් දුරු කරන බව ය. පටන් ගත් වීර්යය ඇති පුද්ගලයන් සේවනය කරන බව ය, විරිය සම්බොජ්ඣංගයට නැමුණු, බරවුණු සිත් ඇති බව මේ ආකාරයට මෙනෙහි කිරීම් බහුල ව සිදු කිරීමෙන් ඉහත සදහන් වීර්යය වර්ධනය විය යුතු සියලු ආකාරයන් තමන් ගේ සන්තාන ගත ව ඇති කර ගත හැකිව ඇත.සිදුකර බැලීමෙන් ම මෙය ප්‍රත්‍යක්‍ෂකර ගත හැක.