Print this Article


දුටුගැමුණු රජතුමා - 04: විහාරමහා දේවියගේ කුස පිළිසිඳගත් සිල්වත් සාමණේරයෝ

දුටුගැමුණු රජතුමා - 04:

විහාරමහා දේවියගේ කුස පිළිසිඳගත් සිල්වත් සාමණේරයෝ

වෙරළ අසබඩ මුනින් අතට පෙරළා තිබූ ඔරු කඳක බැඳ තිබූ සියක් රියන් දිග විශාල මී වදයක් පිළිබඳ තොරතුරු ගම් වැසියෙකුගෙන් රජතුමාට දැනගන්නට ලැබිණි. රජතුමා ඉමහත් සතුටට පත් වී එම මී වදය ගෙන්වා සංඝයාට පුදා ඉතිරිය විහාරමහා දේවියට අනුභවය කිරීමට කටයුතු සැලැස් වීය.

රජතුමාත්, විහාරමහා දේවියත් සියලු සම්පත්තියෙන් ආඪ්‍යාව සිටියත් නොලැබුණු එක් සම්පතක් පිළිබඳ දැඩි කනස්සල්ලෙන් පසුවූහ. තිස්සමහාරාම විහාරයට පැමිණ දන් පිරිනමා මහ රහතන් වහන්සේලා සමඟ කතා කරමින් සිටින අවස්ථාවක දී “හාමුදුරුවනේ අපට ඇති තරම් ධනය තිබෙනවා නමුත් අපට දරුවෝ නැහැනේ” යනුවෙන් පැවසූහ.

එම වදන් ඇසූ තිස්ස තෙරුන් වහන්සේ මදක් කල්පනාකර “බිසවුනි ඔබ පෙර ආත්මයෙහි බොහෝ පින් කළ තැනැත්තියක්. එම නිසා අනාගතයේ පින්වත් දරුවන් ලබනු ඇත. කලබල නොවුණු මැනවි. අර පෙනෙන සිලාපස්ස පිරිවෙනේ ගිලන් කුටියේ ඉතා සිල්වත් සාමණේරයන් වහන්සේ නමක් අසාධ්‍ය ව වැඩ වෙසෙති. මේ විහාරස්ථානයේ වෙහෙර වහන්සේගේ හතරැස් කොටුවේ අඩුපාඩු සැකසීමට පැමිණි පසු අසනීප විය. දැන් අසාධ්‍ය ව පරලොව යාමට සූදානමින් සිටිති. උන්වහන්සේ වෙත ගොස් උවටැන් කිරීම මැනවි’ යනුවෙන් පැවසූහ. එයින් සතුටට පත් දේවිය රජතුමා සමග ගිලන් ව සිටි සාමණේරයන් වහන්සේ වැඩ සිටි කුටියට පැමිණියහ. උන්වහන්සේගේ රෝගී බව විමසා සිටියහ. අනතුරුව සුවඳ පැනින් නහවා, ඖෂධ ගල්වා, ඔසු පැන් පිරිනමා, ඇඳ ඇතිරිලි පිරිසුදු කොට, සුවඳ මල් අතුරා ගිලන් හිමියන් එහි සතපවා ඇප උපස්ථාන කළෝ ය. විහාරමහා දේවියගේ පැමිණීම පිළිබඳ උන්වහන්සේ සතුටට පත්ව සිටියහ. දේවිය සමඟ ප්‍රසාද සිතින් කතා කළහ. ‘රෝගීව සිටින ඔබ වහන්සේ මරණින් මතු මිනිස් ලොව උපදින්නේ නම් පින් දහම් කරගත හැකි ය. එය දුර්ලභ කරුණක්. ඔබ වහන්සේ මරණින් පසු මිනිස් ලොව උපදින්නේ නම් මාගේ කුසෙහි ඉපදෙන්නට අධිෂ්ඨාන කරගන්නා ලෙස ආයාචනය කළා ය.

ගිලන් ව සිටින සාමණේරයන් වහන්සේ විහාරමහා දේවියගේ ඉල්ලීම පිළිබඳ සතුටට පත් නොවූහ. බිසව විසින් විහාරස්ථානයේ වැඩ සිටි සියලු භික්ෂූන් වහන්සේලාට අටපිරිකර පූජාකර එම පින් ද ගිලන් ව සිටින සාමණේරයන් වහන්සේට අනුමෝදන් කරවූවා ය.

නැවත සාමණේරයන් වහන්සේගෙන් ආයාචනය කළා ය. “එදා රටත්, ජනතාවත් බේරා ගැනීමට මුහුදට බිලි වූ මා හට සුරක්ෂිත ව මාගම පුරවරයට පැමිණීමට හැකිවුයේත් අග බිසව වීමට හැකි වූයේත් ලෝක පාලක දෙවිවරුන්ගේ ආශීර්වාදය ලැබීම නිසා යි. මාගේ එකම අභිප්‍රාය අනාගතයේ සම්බුද්ධ ශාසනය රැකගෙන රට එක්සේසත් කළ හැකි දරුවකු ලබා ගැනීමයි. දැනටමත් ඇතැම් විහාරස්ථානවල පාලනය මිථ්‍යා දෘෂ්ඨික බලවේගවලට නතුවීම කනගාටුදායකයි. ඔවුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පාමුල කැතකරනවා, පහරනවා. එය නැති කිරීමට ඔබ වහන්සේ ඉදිරිපත් වුව මැනවි. සම්බුද්ධ ශාසනයත් ,රටත් බේරා ගැනීමට ඔබ වහන්සේට ලැබෙන මේ අවස්ථාව දෙව්ලොව සැපතට වඩා උතුම් නොවේද ? යනුවෙන් දේවිය පැවසුවා ය.

ඒ අවස්ථාවේ දී සාමණේරයන් වහන්සේ මඳ සිනහවක් පෑහ. නිහඬව ම විහාර මහා දේවියගේ ඉල්ලීමට එකඟතාව පළ කළහ. බොහෝ සතුටට පත් දේවිය වැඳ නමස්කාර කර මාළිගය බලා පිටත් වූවා ය. මද දුරක් යත්ම රජතුමාගේ අස්රිය මඩවළක එරිණි. රියදුරු එය ඉවතට ගැනීමට බොහෝ උත්සාහ කළ ද ව්‍යර්ථ විය. ඒ අවස්ථාවේ දී දේවිය තමාගේ කුසෙහි බරක් දැනෙන බවත් ඒ නිසා ගිලන්ව සිටි සාමණේරයන් වහන්සේ අපවත් වූ බව සිතෙන නිසා නැවත පිරිවෙනට යා යුතු බවත් පැවසුවා ය. රජතුමාත්, බිසවත් පා ගමනින් ම ආපසු සිලාපස්ස පිරිවෙනට පැමිණියහ. ගිලන්ව සිටි සාමණේරයෝ අපවත් වූ බව මගදීම දැන ගන්නට ලැබිණි. උන්වහන්සේගේ ආදාහන කටයුතු රාජකීය ගෞරව සහිතව සිදු කිරීමට රජතුමා නියම කෙරිණි.

පොළොවෙහි එරුණු රිය ස්වල්ප වේලාවකට පසුව ආයාසයකින් තොරව පොළව මතට පැමිණි බව රියැදුරුගෙන් දැනගත් දේවිය එහි කිසියම් සුවිශේෂත්වයක් ඇති බව අවබෝධ කොට ගත්තා ය. කාලයක් ගත වූ පසුව දේවියට දොළදුකක් හට ගත්තේ ය.

එක් දොළක් නොව දොළ තුනක් නිසාත් ඒවා ඉටුකරලීමට ඇති දුෂ්කරතාවයත් නිසා දේවිය ඒ පිළිබඳව කිසිවකුටත් නොකියා ඉවසා දරාගෙන සිටීමට වෑයම් කළා ය. ඒ නිසා දිනෙන් දින ඇයව කෘෂ වීමටත්, දුර්වර්ණ වීමටත් පටන් ගත්තේ ය. ඇයගේ මේ ශාරීරික වෙනස්වීම් දුටු රජතුමා කම්පා විය. ඇයගෙන් ඒ ගැන විමසුවේ ය. පහසුවෙන් ඉටුකරලිය නොහැකි දොළ දුක් තුනක් තමාට හටගෙන ඇති බව ඇය පැවසුවා ය. “කුසේ සිටින දරුවාගේ යහපත පිණිස මා එය කෙසේ හෝ ඉටු කරන්නමි. දේවියනි එය නෙවළහා පවසන්න.” රජු පැවසී ය. “රජතුමනි, එයින් කරුණු දෙකක් පි‍්‍රයමනාප ය, අනෙක බියකරු ය. අවදානම් සහිතය. පැවසීමට මැළි වූයේ ඒ නිසායි" දේවිය පැවසුවා ය. දොළදුක ඉටු කිරීම පිළිබඳව පසුව කතා කළ හැකි බවත් පළමුව එය නොවලහා පවසන ලෙසත් රජු ඉල්ලා සිටියේ ය.

සියක් රියන් දිග මී වදයක් ගෙන සංඝයා වහන්සේලාට පුදා එහි ඉතිරිය තමා ම කඩාගෙන අනුභව කිරීම එක් දොළදුකකි. අනුරාධපුර රජ කළ එළාර රජුගේ ප්‍රධාන යෝධයා ගේ හිස ගසා ඒ මොහොතේම තිසා වැවෙන් ගත් ජලයෙන් ස්නානය කිරීම අනෙක් ආශාව වූවේ ය. එළාර රජුගේ නිල් මානෙල් විලෙන් නොමළ මල් ගෙන පළඳන්නට පහළ වී ඇති ආශාව අනෙක් දොළදුක විය. රජතුමා වහාම මාගම රාජධානිය පුරා අණබෙර කරුවෙක් යැවීය. සියක් රියන් දිග මී වදයක් ඇති තැනක් පවසන යම් අයෙක් වෙතොත් ඔහුට බොහෝ සම්පත් දෙන බව පැවසෙන පණිවිඩය ප්‍රචාරය කෙරුණි.

වෙරළ අසබඩ මුනින් අතට පෙරළා තිබූ ඔරු කඳක බැඳ තිබූ සියක් රියන් දිග විශාල මී වදයක් පිළිබඳ තොරතුරු ගම් වැසියෙකුගෙන් රජතුමාට දැනගන්නට ලැබිණි. රජතුමා ඉමහත් සතුටට පත් වී එම මී වදය ගෙන්වා සංඝයාට පුදා ඉතිරිය විහාරමහා දේවියට අනුභවය කිරීමට කටයුතු සැලැස්වීය. ඉන්පසු රජතුමා කල්පනා කළේ එළාර රජුගේ ප්‍රධාන යෝධයාගේ හිසත් තිසා වැවෙන් පැන් හා එළාර රජුගේ විලෙන් මල් ගෙන ඒමටත් දස මහ යෝධයන් අතුරෙන් කවරෙක් සමත් වේ ද යන්නයි. සංග්‍රාම ශූරත්වයෙහි මෙන්ම උපායෙහි දක්ෂයකු වන වේළුසුමන යෝධයා කැඳවා රජතුමා කළයුතු දේ විධානය කළේ ය. “සතියක් ගත වීමට පෙර අවශ්‍ය කටයුතු සම්පාදනය කරමියි” පැවසූ වේළුසුමන යෝධයා රජු වැඳ අවසර ගෙන පිටව ගියේ ය.