Print this Article


නාඬන් අම්මෙ නාඬන් මම විහිළු කළා: මව් සෙනෙහසක අසිරිය

නාඬන් අම්මෙ නාඬන් මම විහිළු කළා:

මව් සෙනෙහසක අසිරිය

මවගේ පියාගේ දෑස් කඳුළුවලින් පුරවන, මව්පියන්ට අසීමිත දුක් දෙන කොපමණ දරුවන් සිටිත් ද? කේයස්ගේ සුදෝ සුදු කවි පන්තිය කියවන මොන ම දරුවෙකුටවත් මවට, පියාට දුක් දෙන දේ කිරීමට පෙළඹීම වළක්වාලීමට මහත් වූ මෙහෙයක් ඉටු කරයි.

පෙරදිග අපරදිග ලෝකයේ මිනිසුන් හතර වටේට මුහුදින් වට වූ මෙම සුන්දර කුඩා දිවයිනට ධර්මද්වීපය නම් වූ අපර නාමයකින් හඳුන්වනු ලැබුවේ අප රට තුළ තිබෙන ස්වභාවික භෞතික සැප පම්පත් නිසාම නොවේ. බුදු දහම අප වෙත ලැබීමෙන් අනතුරු ව එයට අනුගාමී ව, දැහැමි ව ජීවත්වීම එසේ ගෞරව සම්මාන ලැබීමට ප්‍රධාන හේතුව බව ඉතා පැහැදිලි ය.

එම නිසා අප රටේ සාහිත්‍යකරුවන්, ලක් වැසියන් එකී අරුත්බර මාවතක යොමු කිරීමට ගත් උත්සාහය අතිශයින් ම ප්‍රශංසා කටයුතු ය. සාහිත්‍ය සේවනය මගින් ඕනෑ ම ජන සමාජයක ගමන් මග වෙනස් කිරීමට හැකියාව තිබෙන බව සත්‍යයකි. එහෙත් වර්තමානයේ සංකීර්ණ මෙන් ම සංකර වූ අතෘප්තිකර සමාජ පසුතලය එකී සාහිත්‍යයෙන් අප ව ඈත් කර දැමීමට සමත් වී ඇත. නැවතත් අප ඉතිහාසය තුළ පසු කළ සම්මානනීය ගමන් මගට ප්‍රවේශ වීමට ඉඩකඩ තවමත් ඉතිරි වී ඇත. ඒ බුදු දහම මැනවින් ඇසුරු කිරීම හා බුදු දහමේ පෝෂණයෙන් ලද සාහිත්‍ය ඇසුරු කිරීමෙනි.

කලල්ඇල්ලේ ආනන්ද සාගර, සාගර පලන්සූරිය නමින් පෙනී සිටි කවියා පසු ව කේයස් නමින් ප්‍රසිද්ධ වුණ කොළඹ යුගයේ සිටි ප්‍රශස්ත ගණයේ කවියෙකි. ඔහු විසින් රචනා කරන ලද “සුදෝ සුදු” කවිපොත බටහිර ටෙනිසන්ගේ “ඊනෝක් ආර්ඩන්” නම් කෘතිය ආභාසයෙන් රචනා කොට ඇත. මෙම කවි පන්තිය මවකට උපන් අන්ධ දරුවෙකු පිළිබඳ ගෙතී ඇති කතා පුවතකි. එහි සමුදයාර්ථය විමසා බැලීමේ දී කුඩා දරුවෙකුගේ සිත තුළ සිය මව පිළිබඳ ව උපන් මව් සෙනෙහසේ අසිරිය කියා පායි. දිනක් මෙම අන්ධ දරුවා පාසල් ගිය පසු එම පන්තියේ අනික් ළමයි මල්වල ලස්සන පාට පිළිබඳ කතා බහ කරති. එහෙත් ඒ පිළිබඳ ව කිසි ම වැටහීමක් අන්ධ දරුවාට නැත. ඔහු පාසල නිම වී නිවස කරා පැමිණ තම මව සොයාගෙන යයි. මවගේ තුරුල්ලට වී අන්ධ දරුවා මවගෙන් ප්‍රශ්නයක් විමසයි.

මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දකිනවා කියනා ඒවා
මොනවද අම්මෙ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා

අම්මේ, අද පන්තියේ ළමයි මල් ලස්සනයි; පාටයි; කියා පැවසුවා. ඒ කිසි ම දෙයක් මට නො තේරෙයි. එයට හේතුව කුමක් ද? ඔහු මවගෙන් විමසා සිටියි. මවට එම පැනයට පිළිතුරු දීමට හැකියාවක් නොමැත.

මව සිය දරුවා තුරුලට අරගෙන නිහඬ වෙයි. දරුවා විවිධ ප්‍රශ්න නඟමින් මවගේ මුවින් පිළිතුරක් ලබා ගැනීමට උත්සාහ දරයි.

මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද
ඒවා මොළොක් බව තේරෙනවා මටද
එළියක් කියා මොකවත් හෙම තියෙනවද
මට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද

මල්වල සුවඳ නැහැයට දැනෙයි. එහෙත් පන්තියේ ළමයි අඳුර සහ ආලෝකය යනුවෙන් සඳහන් කළේ කුමක් ද? එය මට අවබෝධ නො වන්නේ කුමන හේතුවක් නිසා ද? ඒ පැනයට ද මවට පිළිතුරු දීමට නොහැකි වන්නේ උපතින් ම දෑස් අන්ධ වූ නිසා බව දරුවාට පැවසීමට ශක්තියක් නොමැති හෙයිනි.

මව සිය දරුවා තුරුලට රැගෙන නිහඬ වෙයි. මවගේ සිත තුළ දරු සෙනෙහස උතුරා යමින් මව අසීමිත ව සංවේදී වෙයි. එහෙත් දරුවාට එම හේතුව දැන ගැනීමට අසීමිත කැමැත්තක් උපදී. ඔහු නැවතත් මවගෙන් විවිධ ප්‍රශ්න විමසා සිටියි.

උණුසුම දැනේ දහවල මට රැයට වඩා
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මා කණ කොලුවෙකිලු කුඩා
ලොකු වෙන කොට දැනේවි ද මම අසමි හඬා

උණුසුම සහ සිසිලස මගේ ගතට දැනෙයි. ඊට වඩා වැඩි යමක් ලෝකයේ තිබේ ද? මට එය නොතේරීම මගේ මනසට තදින් දැනෙයි.

නැවතත් දරුවා මවගෙන් මෙසේ විමසා සිටියි.

ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙළෙක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙක
පාට කියා ඇත්නම් ගතියක් මලෙක
අම්මේ අත නොගෑවෙන එක තමයි දුක

මල් පෙතිවල ඇති සිනිඳු බව එය අල්ලන හැම විට ම මට තේරෙයි. එහෙත් ඇයි? ඒ මල්වල පාට අතට නො දැනෙන්නේ. මෙම කිසි ම පැනයකට මවට පිළිතුරු දීමට නොහැකි වන්නේ අසීමිත දරු සෙනෙහස ඇයගේ සිතෙහි පිරී ගොස් ඇති හෙයිනි. දරුවාගේ දෑස් අන්ධ නිසා ලෝකේ කිසි ම දෙයක් නො පෙනෙන බව සිය මවට කියා ගත නොහැකි ය. මව සිය දරුවා තව තවත් තුරුලට රැගෙන පපුවට හිර කරගෙන නිහඬවෙයි. එහෙත් කෙසේ හෝ මෙයට පිළිතුරක් මවගෙන් ලබා ගැනීමට දරුවා උත්සාහ කරයි.

ලස්සන කියන දේ නැහැයට වත් කනට
මගේ දිවට හරි මගෙ අත පයවලට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
ඉවසා ගෙන ඉන්න අම්මේ බැරිය මට

මෙසේ දරුවා විමසන විට සිය මවට දරා ගැනීමට නොහැකි විය. මනස තුළ හිර කරගෙන සිටි අසීමිත දරු සෙනෙහස මනස පුරා පිටාර ගලයි. මව දරුවා බදාගෙන ඉකි ගසමින් හඬයි. මවගේ දෑසින් ගලන දරු සෙනෙහසේ උණු කඳුළු මවගේ අහිංසක මුව තෙමා ගෙන සිය උකුලේ රැඳී සිටින දරුවාගේ අත දිගේ ගලයි.

සිය අත දිගේ ගලන මෙම දියරය අහසින් වැටෙන වැහි බිඳු නොව සිය මවගේ කඳුළු බව දරුවා තේරුම් ගනී. වතුර බින්දුවත් මවගේ කඳුළුවල අරුතත් අතර වෙනස ලෝකයේ සෑම දරුවෙකුට ම තේරුම් ගැනීමට හැකියාවක් තිබේ. අවසානයේ දී මෙම අන්ධ දරුවා මවට මෙසේ පවසයි.

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මම විහිළු කළා
එන්න ද ගොසින් බොරු කී කොල්ලන්ට තලා

එපා අම්මේ අඩන්න. මගේ දෑස් අන්ධ වුණේ ඔබගේ වරදක් නිසා නොවේ. එය මා පෙර කළ අකුසලයක් නිසා විය හැකියි. ඒ බව කේයස් කෙළින් ම නො පවසා පාඨකයාට අවබෝධ කර ගැනීමට ඉඩ සලසා මෙම කවි පද අතරෙහි සඟවා තබයි. සිය මව අඬන විට දරුවා ඊට අකමැති වෙයි. ලොව කිසි ම දෙයක් නො පෙනෙන්නේ සිය දෑස් අන්ධ නිසා බව දරුවා ම තේරුම් ගනියි. එහෙත් මව ඉකිගසමින් ඇඬීම මෙම අහිංසක අන්ධ දරුවාට දරාගත නොහැකි ය. මවගේ සැනසීම උදෙසා “ එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා ” යනුවෙන් පවසන්නේ එහෙයිනි.

“අම්මේ පන්තියේ ළමයින් පවසා ඇත්තේ බොරුවකි. මම ගොස් එම බොරු කී කොල්ලන්ට දඬුවම් කර එන්නම්.”

මෙම සුදෝ සුදු කවි පන්තියේ අවසාන පද්‍ය සටහන පොළොවෙහි උපන් අප සියලු ම දෙනාට හොඳට ම කට පාඩම් වී ඇත. මෙම දරුවා මවගෙන් විමසුවේ දෑස් අන්ධ වූයේ ඇයි ද? යන පැණයකි. මවට දීමට බැරි කිසිවක් ඉල්ලා නැත. එහෙත් එහි දී මව හඬන විට දරුවා කිසිසේත් ම අකමැති ය.

වර්තමාන අප ජීවත් වන සමාජය දෙස ගැඹුරින් විමසා බලන්න. මවට, පියාට දීමට නොහැකි දේවල් ඉල්ලමින් මවගේ පියාගේ දෑස් කඳුළුවලින් පුරවන, මව්පියන්ට අසීමිත දුක් දෙන කො පමණ දරුවන් සිටිත් ද? කේයස්ගේ සුදෝ සුදු කවි පන්තිය කියවන මොන ම දරුවෙකුටවත් මවට, පියාට දුක් දෙන දේ කිරීමට පෙළඹීම වළක්වාලීමට මහත් වූ මෙහෙයක් ඉටු කරයි.

බුදුන් වහන්සේගේ දේශනාවට අමතර ව දරුවන් ගේ සිත තුළ උපන් අසීමිත මව් සෙනෙහසේ ප්‍රමාණය, එහි ගැඹුර, දිග, පළල හා මිහිර කේයස්ගේ සුදෝ සුදු කවි පන්තිය තුළ අන්තර්ගත වී ඇත. එහෙත් අවාසනාවට එවැනි උත්තම ගණයේ සාහිත්‍ය ඇසුරු කිරීමට ළමා පරපුරට අද අවකාශයක් නොමැත. එම සාහිත්‍ය අපේ පැරැන්නන් මැනවින් ඇසුරු කොට මෙම සමාජය නිර්මාණය කොට තිබිණි. වර්තමාන දරු පරපුර එය ඇසුරු කරනවා වෙනුවට මුහුණු පොත පුරා සැරිසරමින් වල්මත් වී සිටීම කවර නම් ඛේදවාචකයක් ද? නැවතත් මෙම වන්දනීය සාහිත්‍යට ළමා මනස නැඹුරු කිරීම වැඩිහිටි අප කාගේත් පරම යුතුකමකි.