Print this Article


ගිහි - පැවිදි දෙපිරිසට ම පින් පිරෙන වස්සානය

ගිහි - පැවිදි දෙපිරිසට ම පින් පිරෙන වස්සානය

අපේ රටේ භික්ෂූන් වහන්සේ වස් විසීම් කටයුතු ආරම්භ කරන්නේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුව ඇති වූ ආගමික ප්‍රබෝධයත් සමඟ ය. දෙවනපෑතිස් රාජ්‍ය සමයේ මිහින්තලයේ අට සැට ලෙන්වල භික්ෂූන් වහන්සේ වස් සමාදන් වූ බව මහාවංසයේ සඳහන් පුවතකි.

එදා ඇති වූ ආගමික ප්‍රබෝධයත් සමඟ අද දක්වා ම සැදැහැවත් බෞද්ධ උපාසක- උපාසිකාවෝ ඇසළ පුන් පොහෝදා උපසපන් භික්ෂූන් වහන්සේට වැසිසළු, දැහැත්ගොටු පිළිගන්වා ඉදිරි තුන් මාසයේ මේ විහාරයේ පෙරවස් විසීමට යැයි ආරාධනා කිරීම දුරාතීතයේ සිට පැවත එන සිරිතකි.

වැසිසළු පූජාව සහ වස් ආරාධනාව

වැසිසඑ පූජා කිරීමේ සිරිත ආරම්භ වූයේ ද වැසි සමයේ පිඬුසිඟා වඩින භික්ෂූන් වහන්සේට විඳීන්නට සිදු වූ විවිධ දුක් ගැහැට සියැසින් දැක විශාඛා මහෝපාසිකාවගේ සිතෙහි හටගත් අදහසක් අනුව ය. එහි දී විශේෂයෙන් ම වෙනදාටත් වඩා සිවුපසයෙන් ඇප උපස්ථාන කිරීමට පොරොන්දු වන බවත්, විශේෂයෙන් සිහිපත් කිරීම සිරිත ය.

වැසිසළු පූජා කිරීම සිදු කරනුයේ සුදු රෙදි කඩක් රැගෙන දැහැත් අතක් ඒ මත තබා බෙහෙත් ද්‍රව්‍ය සමඟ ගොටුවක් සකස් කොට පිළිගන්වා පසඟ පිහිටුවා වැඳ . ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරව පෙරදැරිව සිදු කරන මෙම ආරාධනාව අප කෙරෙහි කරුණාවෙන් පිළිගන්නා සේක්වා. ඉදිරි වස් කාලය තුළ බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් පනවා වදාළ විනය ශික්ෂාවන්ට අනුකූල ව පෙර වස් සමාදන් ව, සමාදන් වූ වස් ශික්‍ෂා පද ආරක්ෂා කර ගනිමින්, කුඩා වරදෙහි පවා බිය දකිමින් සීල, සමාධි, පඤ්ඤා ගුණ වඩමින් සතර මඟ, සතර ඵල හා නිවන සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන සේක්වා. අපව කැපකරු දායකයින් සේ සිහි තබා ගන්න.

අපට ධර්මයෙන්, විනයෙන් දියුණුවීමට අවශ්‍ය අනුශාසනා කරුණාවෙන් ලබාදෙන සේක්වා.

මෙම ප්‍රකාශය සෙසු පොදු දායක - දායිකාවනට ඇසෙන පරිදි ශබ්ද නගා ප්‍රකාශ කරමිනි. මෙහිදී දායක සභාවේ වගකිව යුතු තැනැත්තෙකු මූලිකත්වය ගැනීම සිරිත වේ.

වසරේ කළ හැකි එකම පින්කම

වසරකට වරක් , එක් විහාරස්ථානයක එක් වරක් පමණක් කඨින පින්කම සිදු කරන්නට අවස්ථාව ලැබෙන බැවින් විහාරස්ථානයේ වෙසෙන භික්ෂූන් වහන්සේත්, මූලිකව ක්‍රියා කරන දායක – දායිකාවනුත් මේ පින්කම කෙරෙහි දක්වන්නේ විශේෂ උනන්දුවකි. මෙහිදී තම ගමේ විහාරස්ථානයේ වස් ආරාධනාව ලැබ වස් සමාදන් වූ, වස බිඳෙන්නට නොදී රැකගත්, නියමිත දින වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේ ම වීම අත්‍යවශ්‍ය මූලික සුදුසුකම වේ. එක් විහාරස්ථානයක මෙබඳු සුදුසුකම් සපුරා ඇති උපසපන් භික්ෂූන් වහන්සේ කිහිප නමක් වැඩ වෙසෙත් නම් කඨින වස්ත්‍රය (චීවරය) පවරන්නේ වඩාත් සුදුසුකම් ඇති භික්ෂූන් වහන්සේට, සෙසු වස් විසූ භික්ෂූන් වහන්සේගේ ඒකමතික තීරණය පරිදි ය. මේ කටයුතු සිදු කරන්නේ ද සීමාමාලකයේ දී ය. මෙය විනය කර්මයක් වන්නේ එනිසා ය. දායකයාට කඨින චීවර දානය මහත්ඵල මහානිසංස ගෙන දෙන මහා පින්කමක් වන්නේ ද මේ හේතූන් නිසා ය.

කඨින චීවරය හෝ කඨින වස්ත්‍රය මහා සංඝ රත්නයට පූජා කරන අවස්ථාවේ සැදැහැවත් දායක - දායිකාවන් දොහොත් මුදුන් දී වැඳගෙන පාලි භාෂාවෙන් තෙවරක් ප්‍රකාශ කරන්නේ ,

අවසරයි, ස්වාමීන් වහන්ස, මේ පින්කමට සම්බන්ධ වූ අපි සියල්ලෝ ම, මෙම කුසල කර්මය ද, කුසල කර්ම විපාකයන් ද හොඳ විශ්වාසයෙන් පිළිගෙන, සාංසාරික වශයෙන් ලැබෙන සියලු දුක්වලින් එතෙර වනු පිණිස, කඨිනය ඇතිරීම පිණිස (කැප කිරීම සඳහා )මෙම වස්ත්‍රය, ( චීවරය ) සැරියුත් මුගලන් පරම්පරානුයාත මහා සංඝරත්නයට පූජා කරමු. පූජාම වේවා. වස් විසූ සෙසු භික්ෂූන්ට ද චීවර පූජාවන් සිදු කළත් ඒවා කඨින චීවර නාමය නොලබයි. ඒ සිවුරු පූජාවන් හඳුන්වන්නේ වස්සාවාසික සිවුරු වශයෙනි.

කඨින වස්ත්‍රය සූදානම් කර ගැනීම

කඨින චීවරය හෝ වස්ත්‍රය පිළියෙළ කර ගන්නා අවස්ථාවේ එයට විහාරස්ථානයේ වස් විසූ භික්ෂූන් වහන්සේ සහභාගී කරවා ගැනීම විනයානුකූල සිරිත නොවේ. වෙනත් දැන උගත් භික්ෂූන් වහන්සේ නමක් වෙතින් උපදෙස් ලබා ගැනීම වරදක් නොවේ. එය හුදෙක් ම දායක - දායිකා පින්වතුන්ගේ කටයුත්තක් වන බැවිනි. කඨින වස්ත්‍රය හෝ චීවරය විහාරස්ථානයට රැගෙන එන්නේ ද චීවරය පූජා කරන දිනයේ ම වීම විශේෂ සිදුවීමකි. එනිසා ම කඨින චීවරය හදිසියේ, අහම්බෙන් අහසින් වැටුණු දෙයක් විදියටයි සලකන්නේ. කඨින වස්ත්‍රය හෝ කඨින චීවරය කඨින පින්කම් දිනයේ ඉතා හිමිදිරි පාන්දර විහාරස්ථානයට වැඩම කරවන්නේ විහාරස්ථානයෙන් බැහැර සුදුසු නිවසක සිට මහත් හරසරින් යුත් පුද පෙරහැරකින් ය. දෝලාවකින් වැඩම කරවන්නේ මහ රජ කෙනෙකු කැඳවාගෙන යන ලීලාවෙනි. එසේ කිරීමෙන් බොහෝ දෙනෙකුට කඨින චීවරය වැඩම කිරීමේ අවස්ථාවට සම්බන්ධවීමට ද හැකි ය. ගමේ විහාරස්ථානයේ සැදැහැවත් ජනතාව, එසේ වැඩම කළත් විහාරස්ථානයේ ප්‍රධාන දොරටුව ළඟ නැවතී, එක් ප්‍රධාන දායක මහත්මයෙක් පන්සලට ගොස් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේට දන්වා සිටින්නේ, එය මහා සංඝරත්නය විෂයයෙහි සඟසතු කොට පූජා කිරීම සඳහා ඊට අවසරය ලබාදෙන මෙන් ය. කොස් ගසේ කොළයේ නැට්ට නොපෙනෙන්නට පෙර හිමිදිරි පාන්දර කඨින වස්ත්‍රය හෝ කඨින චීවරය විහාරස්ථානයට වැඩම කරවන්නේ විනයානුකූල කළයුතු ආගමික වතාවත් එදින ම නිම කළයුතු බැවිනි. මේ හැම සිදුවීමකින් ම පැහැදිලි වන්නේ කඨින චීවර පූජාවේ ඇති බලගතුකම යි.