Print this Article


සසර දිගු කරන්න වචනයටත් පුළුවන්

සසර දිගු කරන්න වචනයටත් පුළුවන්

එක් ගමක ප්‍රාතිහාර්ය පාන්නට සමත් ගුරුවරයෙක් සිටියේ ය. එක් දිනෙක ගෝලයෙක් ඔහුගෙන් මෙසේ ඇසුවේ ය. “ගුරුතුමනි, ඔබට ප්‍රාතිහාර්ය පාන්නට පුළුවන් කියන කතාව ඇත්තෙක් ද?

“ඔව් මට පුළුවනි’ ගුරුතුමා පිළිතුරු දුන්නේ ය.” එහෙමනම් ගුරුතුමනි, දිව්‍ය ලෝකයත්, අපායත් මවා පෙන්වනු මැනවි’ යනුවෙන් ගෝලයා ඉල්ලීමක් කළේ ය. ගුරුතුමා ටික වේලාවක් නිහඬව සිටියේ ය. මොහොතකින් ඉදිරිපිට විශාල මේසයක් මැවිණි.

එහි ඉතා රසවත්, සුවඳවත් භෝජනවලින් පිරී තිබිණි. ඒ වටා මිනිසුන් පිරිසකි. කෑම කන්නට සූදානම් වන විට ඔවුන්ගේ අත් වැලමිට ළගින් නමන්නට නොහැකි විය. මේ නිසා ආහාර මුව අසලට ගන්නට නොහැකි විය. බොහෝ උත්සාහ කළත් එම කෑම කටට ගන්නට නොහැකි විණි. ඔවුහු තරහින් එකිනෙකා දෙස බැලූහ . තමන්ට කන්නට බැරි නිසා අනුන්ටත් කන්නට අවස්ථාවක් නො දෙමුයි සිතා මේසය මත වූ කෑම භාජන ඒ මේ අත විසිකර පෙරළා දැමූහ. කෑ කෝ ගසා නරක වචන කියමින් කලබල කළහ. මේ අවස්ථාව දුටු ගුරුතුමා

‘දරුව මේ තමයි අපාය’ යැයි කීවේ ය.

“එහෙම නම් ගුරුතුමනි, මට දිව්‍ය ලෝකයත් මවා පෙන්වන්නැයි ගෝලයා කීවේ ය.

පෙර පරිදිම රසවත් කෑම බීමවලින් පිරි මේසයක් මැවී ය. මිනිස්සු කෑම මේසය වටා එක් රැස් වූහ. කෑම කන්නට සූදානම් වන විට ඔවුන්ට ද වැලමිටෙන් තම අත නමන්නට නොහැකි විණි. ඔවුන් කලබල වූයේ නැත. ඔවුහු සතුටෙන් සිනාසෙමින් එකිනෙකා දෙස බලමින් කෑම මුවට ගන්නා ක්‍රමයක් ගැන කල්පනා කළහ. ටික වේලාවක් ගතවිණි. එක් අයෙක් කේක් කෑල්ලක් ගෙන අනික් තැනැත්තාගේ කටට ළං කැරිණි. ඔහු එම කේක් කෑල්ල කෑවේ ය. මේ ක්‍රමයට වැලමිටෙන් අත නමන්නට බැරි වුව ද සතුටෙන්, සිනහවෙන් යුක්තව පි‍්‍රයශීලිව කතාබස් කරමින් අන්‍යොන්‍ය සහයෝගයෙන් කෑම කමින් අපමණ සතුටින් භුක්ති වින්දහ. කෑම මේසයත් වටාපිටාවත් පවිත්‍රව පැවැතිණි.

“දරුව මේ තමයි දිව්‍ය ලෝකය” යනුවෙන් ගුරුතුමා පැවැසී ය.

මෙය ඉන්දියාවේ සහ චීනයේ නිතර ඇසෙන ජන කතාවකි. මතුපිටින් සරල වුවද එහි අර්ථය ගැඹුරු ය. පවුලේ , ගමේ ආයතනයේ සමාජයේ අන්‍යෝන්‍ය වශයෙන් අපගේ යුතුකම් හා වගකීම් ඉටුවිය යුතු ආකාරය ගැන කරුණු පෙන්වා දෙන්නකි. දුර්වලතා මඟහරවාගෙන, ප්‍රශ්න විසඳා ගන්නා ආකාරයත්, අනුන් ගැන සිතන අයුරුත් කලබලවීමෙන් අපට ඇතිවන ප්‍රශ්න විසඳා ගැනීම අපහසු වන බවත්, පෙන්වා දෙන අතර ඒ තුළින් අලුත් ප්‍රශ්න ඇතිවිය හැකි බවත්, වටාපිටාව ගැන නො සැලකිළිමත් භාවය නිසා පරිසරය ම දුර්ගන්ධය වන අයුරුත් මේ තුළින් පෙන්නුම් කර ඇත.

උරුවෙල් දනව්වේ එක් බමුණු ගෙදරක දාසියක් වූවා ය. බමුණාගේ ලේලිය මේ දාසියට බොහෝ නපුරුකම් කළා ය. වරදක් නැතත් කෙස් වැටියෙන් අල්ලා පහර දුන්නා ය. වේදනාව ඉවසාගත නොහැකිව ඇය කෙස් වැටිය මුලින්ම කපා හිස බූ ගා ගත්තාය. මෙය දුටු ලේලිය ගෙලෙහි ලණුවක් ගැට ගසා එයින් අල්ලාගෙන ඇයට පහර දුන්නා ය. මල් දමක් සෙයින් ගෙලෙහි එල්ලෙන රැහැන නිසා ඒ දාසිය රජ්ජුමාලා නමින් ප්‍රසිද්ධ වූවා ය.

තාඩන පීඩන ඉවසාගත නොහැකි දාසිය දිනක් ජලය ගෙන එන්නට යන බව හඟවමින් නිවසින් පිටවූවා ය. කැළයට ගොස් “අනේ මට මෙලෙස ජීවත්වීමෙන් ඇති ඵලය කුමක් ද?” ජීවිතය නැතිකර ගනිමියි සිතා මළ පුඩුවක් සාදා බෙල්ලට දමා ගන්නට සූදානම් විණි. කිසියම් කෙනෙකු සිටී දැයි අවට විපරම් කර බැලුවා ය.රන් පැහැති සිරුරෙන් බබළමින් ගසක් මුල වැඩසිටින බුදුරදුන් දැක උන්වහන්සේ දෙස ඇසිපිය නො ගසා බලා සිටියා ය. දෑස ඉවතට නොගෙන ම බලා සිටියා ය. බුදුරදුහු ඇයට කතා කළහ. “දුවණියනි, මැරෙන්න කටයුතු කරන්න එපා. මා වෙත පැමිණෙන්න.” බුදුරදුන්ගේ කරුණාවන්ත ආමන්ත්‍රණයත් සමඟ ම ඇයගේ සියලු වේදනා අමතක විණි. ඇයට මහත් සැනසීමක් ලැබුණි. බුදුරදුන් වෙත පැමිණ වැඳ වැටුණි. බුදුරදුන් දෙසූ ධර්මය අසා ඇය සෝවාන් වූවා ය. බුදුරජාණන් වහන්සේ රජ්ජුමාලාට අවවාද කළේ සතුරන්ට වුවද තමන්ට තාඩන, පීඩන කරන අයට වුවද තමන් මරා දමන්නට උත්සාහ කරන අයට වුවද කරුණාව, මෛත්‍රිය දක්වන ලෙස ය.”

වතුර කළයක් පුරවාගෙන මෛත්‍රී සිතින් නිවසට ගියා ය. වෙනදාට වඩා ප්‍රසන්න මුහුණින් නිවස දෙසට එන රජ්ජුමාලාගේ දර්ශනය බමුණාගේ පුදුමයට හේතු විය. “දුව වතුර ගෙන එන්නට ගොස් මෙ තරම් ප්‍රමාද වූයේ ඇයි? අද ඔබගේ මුහුණ බබළනවා, වෙනදා වගේ නොවෙ යි. ආදරයෙන් කරුණාවෙන් කටයුතු කරන බව පෙනෙනවා. මෙබඳු වෙනසක් ඇතිවුයේ කොහොම ද? කියා බමුණා ඇසුවේ ය. ‘අද මම බුදුහිමි සරණ ගියෙමි. තුනුරුවනට මාගේ ජීවිතය පූජා කළෙමි.

“බමුණ” “මෙතෙක් මාගෙන් වරදක් වී ඇත්නම් මට සමාවනු මැනවි” මෙය ඇසූ බමුණා. පුදුමයට පත්වී ඇය කෙරෙහි කරුණාවෙන් හා ආදරයෙන් බැලී ය. බමුණා තම ලේලිට කතාකර මින්පසු රජ්ජුමාලාට කිසිදා හිංසාවක් නො කරන ලෙස කීවේ ය. සියල්ලෝම බුදුරදුන් වෙත පැමිණ දහම් ඇසූහ. උන්වහන්සේ සියල්ලන්ගේ ම සිත නිවැරදි මගට යොමු කළහ. අනුන්ගේ සිත් රිදෙන වේදනාගෙන දෙන අසහනකාරි වදනින් පමණක් නොව කායික හිංසා පීඩාවලින් ද, වළකින ලෙස ඔවුනට උපදෙස් දුන්හ. මේ දහම් ඇසූ බමුණාගේ ලේලිය අද පටන් “මේ රජ්ජුමාලාව මගේ කුසින් උපන් දරුවෙකු සේ සේ සලකමි’ එසේ නැත්නම් එක කුස උපන් සහෝදරියකට සේ සලකමි” යනුවෙන් පොරොන්දු වූවා ය.

එදිනෙදා ජීවිතයේ දී අප භාවිත කරන වචන පිළිබඳ මනා අවධානයක් තිබිය යුතුයි. අනුන්ට වේදනා ගෙනදෙන වචන භාවිතයෙන් වැළකීමට අප උත්සාහ කළ යුතුයි.වචනයට පුදුම බලයක් ඇත. මේ පුදුම බලය නිවැරැදිව තේරුම්ගත් ශ්‍රේෂ්ඨ උත්තමයාණෝ බුදුරජාණන් වහන්සේ ය. වචනයට සසර දිගු කරන්නටත් පුළුවන. සසර කෙටි කරන්නටත් පුළුවන. මේ නිසාම නිවන් මගෙහි එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි තුන්වන අංගය ලෙස ‘සම්මා වාචා’ යන්න පෙන්නුම් කර ඇත. බොරු කීමෙන්, කේළාම් කීමෙන්, පරුෂ වචන කීමෙන්, අන්‍යයන්ට නින්දා අපහාස කිරීමෙන් එලොවටත් මෙලොවට ප්‍රයෝජනයක් නොමැති ප්‍රලාප කතාවෙන් අප ඉවත් විය යුතු යි. නොහික්මුණු අසභ්‍ය වචන අනුන්ගේ සිත් රිදව යි. එය ශාරිරික වේදනාවට වඩා මානසික වේදනාවක් ගෙන දෙනු ඇත. අසන්නා පමණක් නොව කියන්නා ද පසුව මානසික වේදනාවට පත්වනු ඇත.

උපදේශනය, මඟපෙන්වීම, අනුශාසනය, සාදරයෙන් පිළිගැනීම අප සතු යුතුකමකි. සමහරු මූණ ඉදිරිපිට වරද පිළි ගනිති. නමුත් පසුව විවේචනය කරති. මෙවැනි අය ද සමාජය තුළ බොහෝ විට දැකගන්නට පුළුවන.සමහර ළමයින් දෙමාපියන් දෙන අවවාද පිළිගැනීමට සූදානම් නැත. ඒ දරුවන් කියන්නේ අම්මලා, තාත්තාලාගේ උපදෙස් බොහෝවිට යල්පැන ගිය ඒවා බවයි. සමහර අය වරදක් පෙන්වා දුන් විට එය ඉතා ගෞරවයෙන් පිළිගනිති. නැවතත් එබඳු වරදක් සිදුවුවහොත් පෙන්වා දෙන ලෙසද ඉල්ලා සිටිති.

පුප්ඵභාණි, මධුභාණී, ගූථභාණි යනුවෙන් වචන තුනක් ධර්මයෙහි සඳහන් ය. මල්මෙන් සුවඳවත් ,ලස්සන වචන හා මී පැණිමෙන් රසවත් ආසා කරන අපට කායික හා මානසික සුවයක් ලබාදෙන වචන පුප්ඵභාණි හා මධුභාණී යන්නෙන් අදහස් කරයි. බොරුව, කේලම, සැරපරුෂ වචන භූථභාණි, යන්නෙන් අදහස් වේ. මේවාට අප අශික්ෂිත වචනයැයි කියමු.

දරුවන් නොමග යන විට දෙමාපියෝ මානසික වශයෙන් මොනතරම් පීඩාවට පත්වෙනවා ද?

පේ‍්‍රම සම්බන්ධතා , මත්පැන්, මත් කුඩු, ජාංගම දුරකථන, පේස්බුක් හරහා කෙතරම් ළමා ජීවිත අගාධායට පත් ව ඇත් ද? මෙබඳු අවස්ථාවල දී ජීවිත අද්දැකීම් ලද පරිණතභාවයට පත්වූ අය අවවාද උපදෙස් දුන්න ද, ඒවා පිළිගැනීමට අද සමාජයේ බොහෝ දෙනා සූදානම් නැත. අවවාද දෙන අය ද ආදර්ශ සම්පන්න විය යුතු ය. අවවාද දීමේදී උපදෙස් පිළිපදින මට්ටමට යොමුවන මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයන් යොදා ගැනීම ඉතා වැදගත් වනු ඇත.

විශේෂයෙන් ළමා ලෝකය දෙස බලන විට දෙමාපියන්ගේ ආදර්ශය ඉතා වැදගත් ය. සමගිය, සතුට, සමාදානය ඇති නිවස දරුවාගේ ජීවන ගමනට මහත් ආලෝකයකි. මුහුණදුන් අභියෝග නො සැලී ආ ගමන දරුවන්ට පෙන්වාදීම දූ පුතුන්ට මහත් ශක්තියක් වනු ඇත. යහපත, අයහපත තෝර ගාන්නට බුද්ධිය තිබිය යුතුය. ජීවිතය වඩාත් සාර්ථක ඵලදායි එකක් බවට පත්වන්නේ එවිට ය.