Print this Article


අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිරුව තාරා දෙවඟනගේ පිළිරුව එක පෙළට මතුකර ඇති : වැල්ලවාය බුදුරුවගල පුදබිමේ අසිරිය

අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිරුව තාරා දෙවඟනගේ පිළිරුව එක පෙළට මතුකර ඇති

වැල්ලවාය බුදුරුවගල පුදබිමේ අසිරිය

“බුදුරුවගල” මෙම පුද බිම මෙකල හඳුන්වන නාමයයි. බුදුරුවක් පිහිටි ගලෙහි මතුකර (අල්ප උන්නත ලෙස) නෙළා ඇති නිසා මේ පුදබිමට ඒ නාමය හඳුන්වා ඇතත් මෙහි විශාලතම බුදුරුව අඩි 52 පමණ උස ය. ඒ බුදු පිළිම වහන්සේ පමණක් නොව අවලෝකිතේශ්වර බෝධිසත්ව රූපය, තාරා දෙවඟනගේ රූපය ද තවත් එවැනි පිළිම කීපයක් ම මෙම පිහිටි ගලෙහි එක පෙළට මතුකර දක්වා තිබේ.

වැල්ලවායේ බුදුරුවගලට සමාන වූ ස්ථානයක් ලංකාවේ වෙනත් තැනක දැකිය හැකි නොවේ. එම නිසා අපේ පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ මූර්ති නිර්මාණ අතර ඉතා විශේෂිත වූ පුදබිමක් ලෙස බුදුරුවගල හඳුන්වා දිය හැකි ය.

වැල්ලවාය නගරයේ දකුණු දෙසට යන විට බුදුරුවගල විදුහල හමුවේ. ඊට ඉදිරිපසින් බටහිර දෙසට ඇති පාරේ ටික දුරක් යන විට බුදුරුවගල ගම්මානය ද, වැව ද හමුවේ. එම වැව පසුකර කිලෝමීටර් පහක් (5) පමණ ඉදිරියට යනවිට භාවනා මධ්‍යස්ථානය හමුවෙයි. එය ඉදිරිපිට ඇති රිය නැවතතුම් පළ පසුකර මද දුරක් මහ වනය මැදින් ඉදිරියට යන විට කඳු වැටියක් හමු වේ. මේ කඳු වැටිය මැද විශාල පර්වතයක මෙම ප්‍රතිමා වහන්සේ නෙළා තිබෙනු දැකිය හැකි ය.

මෙහි ඇති සියලුම ප්‍රතිමා පිහිටි ගලෙහි මතුකර, මැටි බදාමයෙන් ඒවා නැවත මතුකර නිර්මාණය කර තිබේ.

මෙහි විශාල ම පිළිමය බුදු පිළිම වහන්සේ වේ. එම බුදු පිළිම වහන්සේගේ දකුණු අත අභය මුද්‍රාවෙන් ද, වම් අත කටක හස්ත මුද්‍රාවෙන් ද නෙළා තිබේ. මෙහි එක පෙළට ඇති අනෙක් ප්‍රතිමා හයම මෙම බුදු පිළිම වහන්සෙට වඩා උසින් අඩු ය. මෙම බුදුරුවෙහි වම් අතෙහි වම් උරහිස මත තබා පහතට වැටෙන සිවුරු කොන රඳවා සිටින ලෙස නෙළා තිබේ. මෙම බුදු පිළිම වහන්සේ දෙපස බෝධිසත්ව රූප දෙකක් නෙළා ඇත.

අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවෙහි ජටාමකුටය හෙවත් ශීර්ෂාභරණයෙහි දඹේගොඩ බෝසත් පිළිමයෙහි මෙන්ම සමාධි බුදුරුවක් නෙළා තිබේ. මේ නිසා මෙය අවලෝකිතේශ්වර බෝසත් පිළිමයක් ලෙස හඳුනාගත හැක. උඩුකය එහි විවෘත ය. යටිකය සළුවකින් සැරසී ඇත. දෑත උරහිස තෙක් ඔසවා සිටින ලෙස නෙළා ඇත. අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිම වහන්සේ තේජාන්විත භාවයක් පෙන්නුම් කරයි. අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිම වහන්සේට අමතරව (බුදු පිළිම වහන්සේ හැර) තවත් පිළිම පහක් මෙහි නෙළා ඇත. බෝධිසත්ව රූප දෙකක්, බුදු පිළිම වහන්සේ දෙපස ද සුධන කුමාර හා තාරා දෙවඟනගේ ප්‍රතිමාවක් ද මෙහි දක්නට ලැබේ.

බුදුරුවගල මෙම පිළිමවලට ඉහළින් ආවරණයක් හෝ පියස්සක් (වහලයක්) පවතින්නට ඇත. එම මහා ගල්කුල හාරා ඇති කුහර වලින් ද, පැරණි උළු කැට කැබලි ද මේ සඳහා සෙවණක් පැවති බවට සලකුණු කරයි. (හෙළ කලා විස්කම් සිරිසමන් විජේතුංග - පි. 98 - 99 )

මෙම ප්‍රතිමා නිර්මාණය කළ කාලය පිළිබඳ සඳහන් කරන විට ක්‍රිස්තු වර්ෂ 7 හා 8 සියවස්වලට අයත් යැයි සැලකිය හැකි ය. බුදු පිළිම වහන්සේ සමඟ මෙහි නෙළා ඇති මහායාන බුදු සමයට අයත් ප්‍රතිමා අනුව මේවා රෝහණ දේශයේ විසූ මහායානිකයන්ගේ විශිෂ්ට නිර්මාණ ලෙස සැලකිය හැකි ය. ලක්දිව වෙනත් ප්‍රතිමා මෙන් මෙම බුද්ධප්‍රතිමා වහන්සේ හොඳින් ගලෙහි මතුකර නෙළා නැත. එහෙත් එහි සියුම් විස්තර ඒ මතුපිට ආලේප කරන ලද බදාමයෙන් මතු කරන්නට ඇතැයි සිතිය හැකි ය. වෙනත් ලාංකික බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ මෙන් ඒකාංශ පාරුපනයෙන් (සිවුර නෙළා ඇති අන්දම) යුක්තව ද, වම් අතින් සිවුර දරා සිටින ලෙසින් ද, දකුණු අතින් අභය මුද්‍රාව නිරූපණය වන ලෙසින් ද මෙම බුදුරුවගල බුදු පිළිම වහන්සේ නෙළා තිබේ. මෙම පිළිම වහන්සේගේ සිවුර සායම්වලින් වර්ණවත් කර තිබූ ලකුණු මෙහි දක්නට ලැබේ.

හතරැස් ස්වරූපයක් ගන්නා මෙම බුදු පිළිම වහන්සේගෙ මුහුණෙහි නාසය මතුපිට පැතලි බවක් ගනී. දෙකන් හොඳින් සාදා ඇත. දකුණු ඇස රේඛාමය ස්වභාවයකින් දක්වා ඇතත්, වම් ඇස හොඳින් නෙළා ඇත. බුදුපිළිම වහන්සේ උෂ්ණිසය (හිස මුදුණ) සහිත කෙහෙරැළි දක්වා තිබුණත් ඒවායේ රැළි බවක් නැත. දෙතොල් තීව්‍රර ලෙස මතුකර ඇති නිසා එය මුහුණෙන් එළියට මතු වී තිබේ.

එසේ වුව ද මේ ප්‍රතිමා වහන්සේ ගලින් යාන්තමට මතුකර දක්වා ඇති නිසා දෙපතුල් සහ පද්මාසනය වෙනම සාදා ඊට සවිකර තිබේ. 1968 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ පිළිම වහන්සේගේ කැඩී බිඳී ගිය තැන් පිළිසකර කර තිබේ. (ලක්දිව බුද්ධ ප්‍රතිමා - මහාචාර්ය මාලිංග අමරසිංහ පි. 109 - 110 - 2010 - දයාවංශ ජයකොඩි සහ සමාගම)

බුදුරුවගල බුදු පිළිම වහන්සේට දකුණු පැත්තේ ඇති අවලෝකිතේශ්වර බෝසත් පිළිමයට වම් පසින් තාරා දෙවඟනගේ රූපය නෙළා ඇත. අල්ප උන්නත ලෙස සාදා ඇති ශ්‍රී ලංකාවෙන් මෙතෙක් ලැබී ඇති විශාලතම තාරා දෙවඟන රූපය මෙය වේ. මෙහි ත්‍රිභංග ඉරියව්වෙන් යුත් තාරා ප්‍රතිමාව අඩක් ඔසවන ලද දකුණු අතින් කටක මුද්‍රාව දක්වයි. පහළට හෙලන ලද වම් අතෙහි අමෘත කලස වෙයි. යටිකයේ ධෝතිය (ඇඳුම) පහළට ඇත. උඩුකය විවෘත ය. ආභරණ නැත. හිසේ (ශීර්ෂාභරණය) ජටාමකුටය වේ.

බුදුරුවගල පිහිටි මෙම මූර්ති නිර්මාණ අපගේ පුරාණ බෞද්ධ කලා ශිල්පීන්ගේ නිර්මාණාත්මක භාවය මනාව හෙළි කරන්නකි.