Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 13 කොටස : විමලධර්ම දූත මධ්‍යස්ථානයේ නා හිමියෝ අතුරුදන් වෙති

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 13 කොටස

විමලධර්ම දූත මධ්‍යස්ථානයේ නා හිමියෝ අතුරුදන් වෙති

පිරිවෙන් අධ්‍යාපනය හැදෑරීම පිණිස නවදගල පදුමකිත්ති හිමියෝ අනුරාධපුර සාරානන්ද පිරිවෙනට වැඩම කළ අතර උන් වහන්සේ නේවාසික ව වැඩ සිටියේ ඊට කිලෝමීටර් 4ක් පමණ දුරින් පිහිටි විමලධර්ම දූත මධ්‍යස්ථානයේ ය.

රාත්‍රියට ගම්මඩු ඇතුළු විවිධ සැණකෙළි නරඹන්නට සාමණේර හිමිවරුන් වැඩම කිරීම ගැන අවට දායකයන් උරණ වී එහි විහාරාධිපති හිමියන්ට තර්ජනාත්මක ස්වරයෙන් දෝෂාරෝපණය කළ අතර, ඒ අවස්ථාවේ දී පදුමකිත්ති හිමියෝ එම පිරිසට බැණ වැදුණා හ. පසුදින පිරිවෙනට වැඩම කරද්දී මෙන්ම සාමණේර හිමිවරුන් ආපසු වැඩම කරද්දී ද නාහිමියන්ගේ කුටියේ දොර වසා තිබුණි.

නායක හිමියන් උදෙන්ම කුමන හෝ ගමනක් යන්නට ඇතැයි සාමණේර හිමිවරු සිතූහ. සවස් වන තුරුත් නාහිමියන් නොපැමිණි අතර පසුදින පිරිවෙන් පරීක්ෂණයක් තිබුණු හෙයින් සාමණේර හිමිවරුන් ඉක්මනින් සැතපෙන්නට වන්හ.

‘‘උදේට අපි නායක හාමුදුරුවන්ට කතා කරමු‘‘ ඔවුහු කථිකා කර ගත්හ.

පසු දින උදෑසන ද සාමණේර හිමිවරුන් පිරිවෙන් ගමනට පෙර නාහිමියන් ගැන විමසා බැලූහ. එහෙත් නාහිමියන්ගේ කුටිය වැසූ විලස ම ය. සාමණේර හිමිවරු තැති ගත්හ.

‘‘පොලිසියට කියමු ද?‘‘ එක් සාමණේර හිමිනමක් යෝජනා කළහ. එදින පිරිවෙනේ පරීක්ෂණයක් තිබුණු හෙයින් පිරිවෙනට වැඩම කිරීම අනිවාර්යය විය.

‘‘අපි දවල්ට ඇවිත් මොකක් හරි කරමු‘‘ පදුමකිත්ති හිමියෝ යෝජනා කළහ.

දවල් පිරිවෙනේ සිට ආපසු වැඩම කරන විට ද නායක හිමියන්ගේ කුටිය ද එසේමය. සාමණේර හිමිවරු තැති ගත්හ. දින දෙකකට පෙර සිදුවූ සිදුවීම හමුවේ නායක හිමියන් යම් හෝ විපත්තියක් කර ගත්තාද? එසේ නොවේ නම් නායක හිමියන්ට දෝෂාරෝපණය කළ අය යම් හෝ අනතුරක් සිදු කළාද යන පැනයන් හට ගන්නට විය.

පදුමකිත්ති හිමියෝ එහිදී මුල් තැනක් ගෙන කටයුතු කළහ.

‘‘ මම ගිහින් ගුවන් විදුලි සංස්ථාවේ ගුණසේකර මහත්තය හමුවෙලා එන්නම්‘‘ ගුණසේකර මහතා නිතරම විහාරස්ථානයට පැමිණ නායක හිමියන් හා සාකච්ඡා පවත්වන්නෙකි. පදුමකිත්ති හිමියන් රජරට ගුවන් විදුලියේ ගුණසේකර මහතා හමු වී නාහිමියන්ගේ අතුරුදන්වීම සැල කළහ. ඒ පුවත කන වැකුණු ගුණසේකර මහතා පදුමකිත්ති හිමියන් සමඟ යළිත් විහාරයට ගියේ පළමුව නා හිමියන්ගේ කුටිය පරීක්ෂා කර බැලීම පිණිස ය.

ගුණසේකර මහතා කැටුව පදුමකිත්ති හිමියන් පැමිණෙන විට නා හිමියන්ගේ සොහොයුරියක් පැමිණ සිටියා ය. ඇය පැවසුවේ විමලරතන නාහිමියන් මැදවච්චිය පුහුදිවුල්වැව උන් වහන්සේගේ වෙනත් විහාරස්ථානයකට පැමිණ වැඩ වාසය කරන බවයි.

විමලරතන හිමියන් එසේ වැඩම කෙළේ තමන් විසින් දායක පිරිසට දෝෂාරෝපණ කළ නිසා බව දැනගත් පදුමකිත්ති නා හිමියෝ එම අවස්ථාවේ ම නාහිමියන්ගේ සොහොයුරියත්, තවත් සාමණේර හිමිනමක් ද සමඟ මැදවච්චිය පුහුදිවුල්වැව එම විහාරස්ථානයට වැඩම කළහ.

නාහිමියන්ගේ දෙපා නැමඳ නමස්කාර කර යළිත් අනුරාධපුර විහාරස්ථානයට වැඩම කරන ලෙස ඉල්ලා සිටියහ. නා හිමියන් මුලදී යම් අකමැත්තක් පළ කළ ද අවසානයේදී පදුමකිත්ති හිමියන්ගේ බලවත් ඉල්ලීම මත යළිත් අනුරාධපුරයට වැඩම කළහ.

ඒත් සමඟම පිරිවෙන් නිවාඩු ලබා දුන්නේ පිරිවෙන් පරීක්ෂණ නිම වූ නිසා ය. පදුමකිත්ති හිමියෝද නාගදීපය බලා පිටත් වූහ. උන් වහන්සේ වැඩම කළ දිනයේදී ම මන්නාරමේ සිට අශ්වයෙක් නාගදීප විහාරස්ථානයට ගෙන එන ලදී. පදුමකිත්ති හිමියන් සතුන්ට දැඩි ආදරයක් කරුණාවක් දැක්වූ භික්ෂූන් වහන්සේ නමකි.

උන් වහන්සේ අශ්වයාට දැඩි සේ ඇලුම් කරන්නටත් උගේ අවශ්‍යතා සොයා බලන්නටත් විය. අශ්වයා ද පදුමකිත්ති හිමියන්ට දැඩි ඇල්මක් දැක්වූ අතර පදුමකිත්ති හිමියන්ගේ සමීපතමයකු බවට පත් විය.

‘‘උන්නාන්සේගේ සත්ත්ව කරුණාව නම් බොහොම හොඳයි, ඒ වුණාට කිළිනොච්චියේ අපේ පන්සලට යනව හොඳයි, එහේ ඉන්නෙ එක හාමුදුරුනමක් විතරයි, හිටපු අනිත් උන්නාන්සෙත් වෙන පන්සලකට ගිහිල්ල‘‘ නාගදීපයේ නා හිමියෝ පදුමකිත්ති හිමියන්ට පැවසූහ.

ඒ වන විට කොටි ත්‍රස්තවාදීහු යාපනය ඇතුළු ප්‍රදේශ රැසක විවිධ කොල්ලකෑම් මෙන්ම පහර දීම් අතුළු කලබල ඇති කර තිබුණි. කිළිනොච්චිය බැංකුවක් කොල්ල කා එහි රත්තරන් බඩු හා මුදල් රුපියල් ලක්ෂ 6කට අධික මුදලක් ද කොල්ල කා තිබුණි. එම බැංකුව ද පිහිටා තිබුණේ නාගදීප විහාරයට අයත් කිළිනොච්චියේ ලුම්බිණි විහාරයට නුදුරිනි.

කිළිනොච්චිය වඩාත් වැදගත් වූයේ වවුනියාව හා යාපනය අතරමැද ම පිහිටි නගරය නිසාය. කොළඹ සිට නාගදීපය දක්වා ගමන් කරනා ඇතැම් වන්දනාකරුවන් කිළිනොච්චියේ මේ විහාරයේ මඳක් ගිමන් හැර යන පුරුද්දක් ද තිබුණි.

තමන් වහන්සේ එම විහාරයට යෑමට පාර නොදන්නා බව පදුමකිත්ති හිමියන් නා හිමියන්ට පැවසූ අතර නා හිමියන් පැවසුවේ ‘උන්නාන්සේට අනුරාධපුරයට වඩින්න පුළුවන්, කිළිනොච්චියට වඩින්න පාර දන්නේ නැහැ, ඉන්නවකො මම පාර හරියටම වරදින්නෙ නැතුව යන්න ලියල ම දෙන්නම්‘‘ කියමින් කිළිනොච්චියේ ලුම්බිණි විහාරයට යා හැකි පාර පැහැදිලිව ම ලියා ඇඳ දුන්හ.

ඒ වන විට කොටි ත්‍රස්තවාදී ක්‍රියා ආරම්භ වී තිබුණු හෙයින් හමුදාව ඇතැම් තැන්වල කඳවුරු බැඳීමට සූදානමින් සිටිනු දක්නට ලැබුණි.

නා හිමියන් විසින් ලබා දුන් මාර්ගය අනුව පසු දින කිළිනොච්චියට යාමට පදුමකිත්ති හිමියෝ අදිටන් කර ගත්හ.

‘‘ආයෙ මොකක්ද හෙටක්, දැන්ම ගියොත් හවස් වෙන්න කලින් යන්න පුළුවන්, ආ මේ සල්ලිත් මඟ වියදමට තියා ගන්න‘‘ යැයි කියමින් නා හිමියෝ මුදල් දැමූ ලියුම් කවරයක්ද පදුමකිත්ති හිමියන්ට ලබා දුන්හ.

ඒ නියෝගයට විරුද්ධ වීමට හැකියාවක් පදුමකිත්ති හිමියන්ට තිබුණේ නැත. උන් වහන්සේ දිවා දානයෙන් පසුව කිළිනොච්චියට යාමට සූදානම් ව නා හිමියන්ට වැඳ පිටත් වීමට සූදානම් වන විටම ලියුම්කරු පැමිණියේ ය. එක් ලියුමක් පමණක් නා හිමියන් නමට තිබුණු අතර එම ලියුම අනුරාධපුරයේ විමල ධර්මදූත මධ්‍යස්ථානයේ විමලරතන හිමියන් විසින් එවන ලද්දක් බව දැක, ‘‘ඔහොම පොඩ්ඩක් ඉන්නව, විමලරතන උන්නාන්සෙ ලියුමක් එවන්නෙ මොකක් හරි ලොකු හේතුවකට විතරයි, මොනව හරි මැරෑටි වැඩක් කළාද? ‘‘ යැයි අසමින් උන් වහන්සේ ලියුම කඩා බැලූහ.

මතු සම්බන්ධයි....