Print this Article


දුප්පත් ද පොහොසත් ද?

දුප්පත් ද පොහොසත් ද?

මේ ලෝකයේ සිටින පිරිස් දුප්පත් පොහොසත් කියා ප්‍රධාන කොටස් දෙකකට වර්ග කළ හැකි ය. ඒවා ද වඩාත් ම දුප්පත්, ටිකක් දුප්පත්, වඩාත් ම පොහොසත්, ටිකක් පොහොසත් කියා තව තවත් කොටස්වලට වර්ග කළ හැකි ය.

ඔබ මේ කොටස්වලින් කුමන කොටසට අයත් ද? බොහෝ දෙනෙකු සිතන්නේ අනේ මම දුප්පත් කෙනෙක් කියලයි. ඒ ඔබ සිතන ආකාරයයි. ඔබට ඇති දේ ගැන මොහොතක් සිතා බලන්න. ඔබට නැති දේ ගැන මොහොතක් සිතා බලන්න.

මෙහෙම කිව්වම මට නැවක් නැහැ. ගුවන් යානයක් නැහැ. තේ වත්තක් නැහැ. පොල්වතු නැහැ. ආදී වශයෙන් නැති බොහෝ දේ කිව හැකි ය. එසේ නොව මිනිසෙකු වශයෙන් ඉපදී මිය යන්නේ නැතිව ජීවිතය ගෙවීමට මට මොනවා ද? අවශ්‍ය කියා සිතන්න. නොමැරී ජීවිතය ගෙවීමට අවශ්‍ය කරන දේවල් අතර මට නැත්තේ මොනවාද? අඳින්න ඇඳුමක්, කන්න ආහාර, නිදන්න තැනක්, මේ ආදී වශයෙන් ඔබට ජීවත්වීමට අවශ්‍ය මූලික දේ ඇත්නම් ඔබ දුප්පතෙක් කියා මොහොතකටවත් නො සිතන්න.

මේ ලෝකයේ රෑවෙන විට නිදාගන්න තැනක් සොයන මිනිසුන් කොපමණ සිටිනවා ද? කුස පිරෙන්න ආහාරයක් නැතිව බඩගින්නේ දුක්විඳින මිනිසුන් කොපමණ සිටිනවා ද? ආසාවට බීම වීදුරුවක් බොන්න, රස කැවිලි කන්න කෙළ ගිලිමින් සිටින අය කොච්චර ද? ලස්සන ඇඳුමක් අඳින්න ආසාවෙන් අන් අයගේ ඇඳුම් දෙස බලමින් සතුටුවෙන අය කොපමණ සිටිනවා ද? අන් අය පාරේ ගමන් කරන වාහන දෙස බලමින් එම වාහනයක් ගැනීමට නොව එක දවසක් රවුමක් හරි යන්න ආසාවෙන් සිටින අය කොච්චර ද කියා ඔබ දන්නවා ද? ඇත්තට ම මෙවැනි ලෝකයක අපි ජීවත් වෙමු.

සමහරු බොහෝ සැප විඳිති. තවත් අය දුක් විඳිති. මේ පව පින අතර වෙනස නොවේ ද? ඔබ කිසිවිටෙකත් දුප්පත් කියා නොසිතන්න. තිබෙන දේ ගැන සිතා සතුටුවෙන්න. නැති දේ ගැන නොසිතන්න. ආශාවන් අඩු කරගන්න. සරල හා අල්පේච්ඡ ජීවිතයක් ගැන සිතන්න. ඔබට සතුට ලැබෙයි.