Print this Article


පිරිවෙන් මූලික ‍ශ්‍රේණියටත් පෙළ පොතක්

පිරිවෙන් මූලික ‍ශ්‍රේණියටත් පෙළ පොතක්

මූලික පිරිවෙන්වල මූලික ශ්‍රේණිය ඉගැන්වීම සඳහා මෙතෙක් පිරිවෙන් පෙළ පොතක් නොතිබීම හේතුවෙන් එම ශ්‍රේණිවල උගන්වන ගුරුවරු ස්වකීය අභිමතය පරිදි යෝග්‍ය ඉගැන්වීමේ ක්‍රමවේදයක් මෙතෙක් අනුගමනය කළහ. එබැවින් 2021 වසරේ සිට කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂිත මූලික ‍ශ්‍රේණිය විෂය නිර්දේශයක්, පෙළ පොතක් මෙන් ම ගුරු අත්පොතක් සම්පාදනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකය කටයුතු සංවිධානය කොට ඇත. පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමියන්ගේ අධීක්ෂණය පරිදි සමස්ත ලංකා හසුරුකුසලතා විෂය අධ්‍යක්ෂවරුන් වන තමාඩුවේ පුඤ්ඤානන්ද, ජූලංගැටේ චන්දිම යන හිමිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙය සම්පාදනය කෙරේ.

මෙතෙක් මූලික පිරිවෙන් ‍01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා සියලුම විෂයන් ආවරණය වන පරිදි සකස් කළ විෂය නිර්දේශයන් හා පෙළපොත් පැවතිණි. එසේ ම ඉකුත් වසරේ සිට මෙම සියලු වසරවල සෑම විෂයක් ම ආවරණය වන පරිදි ගුරු අත්පොත් ද සම්පාදනය කෙරිණි. ඒවා මේ වසරේ සිට කි‍්‍රයාත්මක කෙරිණි.

මූලික පිරිවෙන් මූලික ශ්‍රේණිය සඳහා ද මෙසේ විෂය නිර්දේශයක් හා පෙළ පොතක් සම්පාදනය කිරීම තුළින් එම ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු ද වඩාත් විධිමත් භාවයකින් පවත්වාගෙන යාමට හැකිවන බව ජාතික පිරිවෙන් උපදේශක දොඩම්පහළ ශී‍්‍ර රාහුල හිමියෝ පවසති.