Print this Article


ජීවිතය විනාශ කරන මලකඩ ගැන දන්නවා ද?

ජීවිතය විනාශ කරන මලකඩ ගැන දන්නවා ද?

කාලය නවතින්නේ නැත. එය නොනැවතී ගෙවී යයි. උදා වූ හිරු නිශ්චිත කාලයක් තුළ අවරට ගොස් නොපෙනී යන්නේ දවස නිමා කරමිනි. ගලා බසින දිය පාරක ස්වභාවය ද එසේ ම ය. ගෙවී ගිය කාලය ද, දිවා කාලය නිමා කළ හිරු ද, ගලා ගිය දිය දහර ද කිසිවෙකුටත් නැවත ලබාගත නොහැක.

ජීවිතය ද කාලය මෙන් ගෙවී යන, හිරු මෙන් මොහොතින් මොහොත අවරට ළං වන, දිය දහර මෙන් ක්ෂණයක් ක්ෂණයක් පාසා උත්පාද ඨිති භංග තත්වයට පත් වන ලෝක යථාර්ථය තුළ සදාකාලික නොවූ තාවකාලික ගමන් කිරිමකි. එනිසා ඒ මොහොතේ කළයුතු යම් යම් කාර්යයන් ඒ මොහොතේ ම කළ යුතු ය. එලෙස නොකරන්නේ නම් නැවත එම කාර්යයන් සම්පූර්ණ කිරීමට ඒ ගෙවී ගිය කාලය ජීවිතය අවසන් වන තුරු නැවත ලැබෙන්නේ නැත. එලෙස ජීවිතයේ අතපසු වූ වැඩ අසීමිත සංඛ්‍යාවක් ගොඩ ගැසෙන්නේ පමාව හෙවත් ප්‍රමාදය හේතුවෙනි.

බොදු පිළිවෙත තුළ ප්‍රමාදයට කිසිදු අවකාශයක් ලැබෙන්නේ නැත. එය සහමුලින් උදුරා දැමිය යුතු, ඉවත් කළ යුතු ජීවන ස්වභාවයක් බව බෞද්ධ දර්ශනයේ මොනවට විස්තරවේ. පිළිවෙළක් නැති අසාර්ථක ජීවිත තුළ නිබඳ ව ප්‍රකට වන්නේ ප්‍රමාදය යි. යමෙක් ජීවත් වුව ද ප්‍රමාදයෙන් යුක්ත නම් මිය ගිය තැනැත්තෙකු ලෙස සැලකිය යුතු බව පමාදො මච්චුනො යන්නෙන් සහ 'යෙ පමත්තා යථා මතා' යන බුද්ධ භාෂිතයන්ගෙන් පැහැදිලි වේ. අප ජීවත් වන සමාජයේ එලෙස සැරිසරන මෘත භාවයට පත් මිනිසුන් කොතෙකුත් හමු වීමෙන් මේ බුද්ධ භාෂිතයන්හි ඇති යථාර්ථය නැවත නැවතත් පැහැදිලි කිරීමට අවශ්‍ය නැත.

‘ප්‍රමාදය’ යම් තැනැත්තෙකු ජීවත් වුවත් මියගිය තැනැත්තෙක් බවට පත්කීරීමට තරම් ප්‍රබල වූයේ කවරහෙයින් ද? යන්න විමර්ශනශීලී ව, ගැඹුරින් අධ්‍යයනය කිරීම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

ප්‍රමාදය සියලු කාර්යයන් අතපසු වීමට හේතු වේ. පමාවීමෙන් වැඩ සංඛ්‍යාවක් ගොඩගැසී එකී කාර්යයන් කරගත නොහැකි ව දිනෙන් දින මඟ හැරී යයි. ඇතැම්විට එකී කාර්යයන් කිසිදා සම්පූර්ණ කළ නොහැකි ව ‘අතපසු වූ වැඩ’ නැමැති ගොඩට එක්වන අවස්ථා ද නැත්තේ නොවේ.

එලෙස මඟ හැරුණු සමහර කාර්යයන් ජීවිතය අවසන් වන තුරුත් ඇතැම්විට සම්පූර්ණ කර ගත නොහැකි ය. මේ ආකාරයට ජීවිතයේ එදිනෙදා කළ යුතු කාර්යයන් නොකෙරෙන්නට බලපාන ප්‍රධානම හේතුව ප්‍රමාදීබවයි. මිනිසා එකී ප්‍රමාදයට ගොදුරු වන්නේ ‘කෝසජ්ජ’ හෙවත් කුසීතකමේ අතුරු ඵලයක් ලෙසිනි.

මැලි, කම්මැළි, අලස, උදාසීන යන වචනවලින් ගම්‍ය වන්නේ ද ඉහත සඳහන් කුසීතකමයි. ශාන්ති නායක බුදුපියාණන් වහන්සේ කුසීතකම මල ධර්මයක් බව දෙසූහ. මල ධර්ම යනු මලකඩයි. මලකඩ ඇතිවන්නේ ලෝහ හෙවත් යකඩ මත ය. මල බැඳුණ යකඩය එකී මලකඩින් ම විනාශයට පත් වේ. මලකඩ යකඩ විනාශ කරන දිලීරයකි. මෙලොව ඇති අනෙක් සියලු වස්තුන් ද ඒ ඒ වස්තුන්ට අයත් මලකඩ හෙවත් දිලීර මගින් අනුක්‍රමයෙන් විනාශ වීම සියලු වස්තූන්ට පොදු ය.

ඒ අනුව සියලු වස්තූන් විවිධ මලකඩයන්ගෙන් විනාශවන බව මොනවට පසක් වේ. යකඩයක වේවා වෙනත් වස්තුවක වේවා, විනාශයට හේතු වන්නේ එක් වර්ගයක දිලීරයක් හෙවත් මලකඩක් පමණි. එහෙත් මිනිසා විනාශ කිරීමට පාදකවන මලකඩ වර්ග හතක් ඇති බව ශාන්ති නායකයාණන් වහන්සේ පෙන්වා දී තිබේ. කෙසේවුව ද මේ ලිපියේ අරමුණ එම හත අතුරෙන් එකක් වන කුසීතකම නැමැති මලකඩ පමණක් විමසීමයි.

කුසීතකම නැමති මලකඩ අපේ ජීවිතයේ කවර අංගයක් කා විනාශ කරන්නේ ද යන්න පළමුව වටහාගත යුතු ය. 'මලං වණ්ණස්ස කෝසජ්ජං' යන බුද්ධ භාෂිතය විමසීමෙන් එයට පිළිතුරු ලැබේ. පුද්ගලයාගේ රූපවත් බව, නිරෝගි බව, පිරිසුදු බව කම්මැළිකම නැමැති මලකඩ විසින් කා විනාශකරන බව ඉහත සඳහන් බුද්ධ භාෂිතයෙන් ප්‍රකාශ වේ. පිරිසුදුකම නිරෝගි බවට හේතු වේ.

නිරෝගි තැනැත්තාගේ සියලු අඟපසඟ මැනවින් පවතින අතර නිරෝගි පුද්ගලයා ළගන්නා සිරුරකින් යුත් රූපවත් තැනැත්තෙකි. ඒ අනුව පුද්ගලයාගේ සුන්දරත්වය සහ සෞඛ්‍ය සම්පන්න බව නැති වීමට කම්මැළිකම හේතුවන බව සක්සුදක් සේ පැහැදිලි ය. කම්මැළිකම පුද්ගලයා සම්පූර්ණයෙන් විනාශ කරන හලාහල විෂ හා සමාන පුද්ගලනාශක මලකඩකි. කම්මැළියා වෙලාවට අවදි නොවේ. නිදන්නේ ද නිදිය යුතු වෙලාවේ නොවේ. කම්මැළියාට නින්දට රාත්‍රිය, දවාල වශයෙන් වෙනසක් ඇත්තේ ම නැත. කම්මැළිකමෙන් නිතර නිතර නිදන තැනැත්තාගේ සෞඛ්‍ය තත්වය කෙසේදැයි තවදුරටත් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ.

කම්මැළියා තමාගේ පැවැත්මට අවශ්‍ය ආහාර පාන පවා නිසි වෙලාවට පිළිවෙළකට ගන්නේ නැත. ඇඳුම් පැළඳුම් ද සෝදන්නට පිරිසුදු කරගන්නට ඔහුට වෙලාවක් නැත. සතියකට දින කීපයක් පමණක් දත කට මැදීම, නා පිරිසුදු වීම ඔහුගේ දින චරියාවයි. දිනපතා දත කට මැද නා පිරිසුදුවීමක් කම්මැළියාට ඇත්තේ ම නැත. අපිරිසුදු, දුගඳ හමන ඇඳුම් නොසේදීම නිසා කම්මැළියා අප්‍රිය අප්‍රසන්න තැනැත්තෙක් වෙනවා පමණක් නොව විවිධ චර්ම රෝග ආදී ලෙඩ රෝගවලින් පීඩා විඳීන්නෙක් බවට ද පත්වේ.

කම්මැළිකම නැමැති මලකඩ පුද්ගලයාගේ රූපවත් බව සහ ශරීර සෞඛ්‍යය කා විනාශ කරන්නේ ඒ ආකාරයෙනි. නිසි වෙලාවට අවදි නොවන, ආහාර පාන නොගන්න, දත කට මැද නා පිරිසුදු නොවන කම්මැළියා යම් බෝවන රෝගයක් වේ නම් ක්ෂණයෙන් ඊට ගොදුරු වේ. එපමණක් නොව ශරීර පැවැත්මට අවශ්‍ය නිසි ව්‍යායාම කරන්නට කම්මැළියාට කොහෙත්ම වෙලාවක් නැත. එනිසා ඔහු දියවැඩියාව, හෘදයාබාධ, රුධිර පීඩනය ආදි බෝ නොවන රෝග රැසකට නිතැතින් ගොදුරු වන්නෙකි. වර්තමානයේ මෙරට බෝ නොවන රෝගීන් සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින්නේ කම්මැළිකම නැමැති මලකඩය හේතුවෙනි.

කම්මැළිකමෙන් යුත් ගෘහණියක් තම ස්වාමි පුරුෂයාට සහ ආදරණීය දරුවන්ට මෙරට ඇති පෝෂ්‍යදායී ආහාර වෙහෙස මහන්සිවී උයාපිහා දෙනවා වෙනුවට චූන් පාන් ආදී ක්ෂණික ආහාර ලබා දෙන්නේ කම්මැළිකම නැමැති මලකඩ නිසා ය. මෙරට අනාගතය බාර ගන්නා දරුවන් නිතැතින් ලෙඩ රෝගවලින් යුත් පිරිසක් වීමට එකී මලකඩය හේතුවන බව මොනවට පසක්වේ. කම්මැළිකම ඇතැමෙකුට හුදු සරල දෙයක් ලෙස පෙනුණ ද එය පින්වත් ඔබේ සිරුරේ නිරෝගි රූපවත් බවත්, පිරිසුදු ප්‍රසන්න බවත් නිතැතින් ඈත් කරයි. එපමණකින් නොනවතින කම්මැළිකම නැමැති මේ මලකඩ, එදිනෙදා පින්වත් ඔබ කළ යුතු කාර්යයන් නොකිරීමට පොළඹන අතර අන්‍යයන්ට පමණක් නොව ඔබට ම, ඔබ ප්‍රයෝජනයක් නැති, ප්‍රමාදී, අසාර්ථක හිස් පුද්ගලයෙක්වීම කිසිසේත් වැළැක්විය නොහැකි ය.