Print this Article


ගිම්හානයේ උදාවන වස්සානයේ වසන්තය

ගිම්හානයේ උදාවන වස්සානයේ වසන්තය

"බුදු දහමේ ඉගැන්වෙන පින් අධික පින්කම් අටකි. ඒවා අට මහ කුසල් යනුවෙන් හැඳීන්වේ. එම කුසල් අටෙන් පළමු වැන්න කඨින චීවරයක් පූජා කිරීමයි. දැනට වස් තෙමස ඇතුළත ප්‍රායෝගික ව සිදුවන පින්කම් දෙස බැලීමේ දී එම අටමහ කුසල්වලින් කිහිපයක් ම සිදුවන අවස්ථා ද දක්නට ලැබේ."

ඇසළ මස පුර පසළොස්වක පොහෝදායින් වස්සානයේ සුයාමය ඇරඹෙයි. කෙලෙස් ගිම්හානයෙන් වියැළුණු බොදුනු සිත් කුසල් වැස්සෙන් සිහිල් වන සමය උදා වන්නේ ද වස්සාන සමයේ දී ය. පැවිදි ගිහි දෙපසම එක්සිත් ව තෙමසක් පුරාවට පිවිතුරු සිතින් යුතුව පින් දහම් කිරීමට එකමුතු වන්නේ ද මෙම වස්සාන සමය ආරම්භයේ දී ය.

බුදුරජාණන් වහන්සේගේ නියමයක් අනුව වැසි කාලයේ භික්ෂුන් වහන්සේලා වස් එළඹීම සම්බන්ධයෙන් දූරාතීතයේ සිට ලබා ඇති අත්දැකීම භාවිතය, පරිචිතය හා අවබෝධය සුඵපටු වූවක් නොවේ. ඉතිහාසයේ නොයෙක් රජවරුන් විසින් පවා ඉමහත් අභිරුචියකින් හා කැපවීමකින් කරන ලද මෙය ආගමික ශාසනික ජාතික හා සාමාජික වටිනාකම් රාශියක් සහිත පුණ්‍යකර්මයක් වේ. වස් සමය උදාවන මෙම අවස්ථාවෙහි එය වැදගත් වන ආකාර පිළිබඳ සලකා බැලීම ඉතා වැදගත් වේ.

කාල නියමයක් සහිත පින්කම

පින්කම් වූකලී සෑම මොහොතක ම කළ යුතු උදාර ක්‍රියාවක් ලෙස බුදුදහම සලකන බව ඔබ දන්නා කරුණකි. එහෙත් කඨින පින්කමක් එසේ කළ හැකි නොවේ. බුද්ධ නියමය අනුව වස්සාන සමය ආරම්භ වන පොහෝ දිනයේ භික්ෂුවක විසින් පෙර වස් සමාදන් විය යුතු ය. එසේ නොමැති වුවහොත් ඉන් පසු එළඹෙන පොහෝ දිනයේ දී පසුවස් සමාදන් විය යුතු ය. පෙරවස් සමාදන් වූ පොහෝ දිනයේ සිට තුන් මසක කාලය වැසි තුන් මස ලෙස සැලකේ. මෙම කාලය තුළ ගිහි පැවිදි දෙපක්ෂයට පින් දහම් සපුරා ගැනීමේ ක්‍රමවේදයක් සැකසී ඇත. වස් කාලය පුණ්‍ය මාසය ලෙස ද සැලකෙනුයේ මෙකල ගිහි පැවිදි දෙපක්ෂයම මහත් වූ පුණ්‍ය සම්භාරයක් රැස් කර ගන්නා බැවිනි. ඉක්බිති ව එළඹෙන චීවර මාසය තුළ පමණක් කඨින චීවරයක් පූජා කළ හැකි හෙයින් බුදු සසුනෙහි කාල නියමයක් සඳහන් වන මහා පින්කම කඨින චීවර පූජාවයි.

සංඛ්‍යා නියමයක් සහිත පින්කම

වස්සාන කාලයේ සිදු කෙරෙන මෙම මහා පින්කමෙහි තවත් විශේෂත්වයක් වන්නේ එයට සංඛ්‍යා නියමයක් ද තිබීම හේතුවෙනි. එක් විහාරස්ථානයක කඨින නාමයෙන් පූජා කළ හැකි වන්නේ එක් චීවරයක් පමණි. භික්ෂුවක විසින් වස් සමාදන් වී ගෙවිය යුතු දින සංඛ්‍යාව මාස තුනකි. එසේම වස් විසූ ආරාමයෙහි එම කාලය වැඩ සිටිය යුතු වන අතර ආරාමයෙන් පිට ගෙවිය හැකි උපරිම දින සංඛ්‍යාව දින හතකි. එම දින හත ඇතුළත වස් එළඹි ස්ථානයට ආපසු පැමිණෙන අධිෂ්ඨානය එම භික්ෂූන් වහන්සේ තුළ පැවතිය යුතු ය. එය සත්තාහකරණීය යන විශේෂ නාමයෙන් හැඳීන්වේ. එසේම එක් ආරාමයක භික්ෂූන් වහන්සේලා කෙතරම් ප්‍රමාණයක් වස් වසා සිටිය ද සංඝයා විසින් කඨින චීවරය පැවරිය හැක්කේ වස් ඉතා මැනවින් ආරක්ෂා කළ එක් භික්ෂූන් වහන්සේ නමකට පමණකි. මේ අනුව එක් විහාරස්ථානයක, වස් ශික්ෂා පදය ආරක්ෂා කළ එක් භික්ෂූන් වහන්සේ නමකට පිළිගත හැකි එක් චීවරයක් පමණක් හෙයින් සංඛ්‍යා නියමයක් ද පවතී.

පින් අධික පින්කම

බුදුදහමේ ඉගැන්වෙන පින් අධික පින්කම් අටකි. ඒවා අට මහ කුසල් යනුවෙන් හැඳීන්වේ. එම කුසල් අටෙන් පළ මුවැන්න කඨින චීවරයක් පූජා කිරීමයි. දැනට වස් තෙමස ඇතුළත ප්‍රායෝගික ව සිදුවන පින්කම් දෙස බැලීමේ දී එම අටමහ කුසල්වලින් කිහිපයක් ම සිදුවන අවස්ථාව ද දක්නට ලැබේ. මෙය මහා කුසලයක් වීමට හේතුව කරුණු රාශියක් එක්වීමෙන් සිදු කළ හැකි පින්කමක් වීම නිසා ය.

ජීවිත කාලයක සිදුකළ හැකි දුර්ලභ පින්කම

හැමදා කළ හැකි පින්කමක් නොවීම, අටමහ කුසලයෙන් එකක් වීම, බුද්ධාඥාව පරිදි සිදු කරන ලද වතක් වීම, ගිහි පැවිදි දෙපිරිසම එකතුව නිසි කලට නිසි පරිදි සිදු කළයුතු ආගමික කටයුත්තක් වීම, නිසි පරිදි වස් සමාදන් වී එය මනාව ආරක්ෂා කළ භික්ෂුවක් සිටීම, තෙමසක් පුරා උන්වහන්සේට සිවුපසයෙන් ඇප උපස්ථාන කිරීම, සැදැහැයෙන් හා පරිවාර සම්පත්තියෙන් යුතුව සකසා ගත් කඨින චීවරයක් තිබීම, සාමාන්‍ය චීවරයෙන් වෙනස් වී විශේෂ චීවරයක් වීම, සංඝයා විසින් විනය කර්මානුකූල ව ඒ පිළිබඳ කටයුතු සිදු කිරීම යනාදී කරුණු රාශියක එකතුවෙන් සිදු කළයුතු පින්කමක් වීම නිසා මෙම පින්කම කෙනෙකුට දුර්ලභ ව සිදු කිරීමට ලැබෙන පින්කමක් ද වේ.

ගිහි පැවිදි දෙපක්ෂය ම එකුතුව කෙරෙන පින්කම

පින්කම් වූකලී හුදෙකලාව මෙන්ම සාමූහිකව ද කළහැකි දේ ය. එහෙයින් අපි තනි තනිව ද පින්කම් කරමු. එසේම ඇතැම්විට අනෙක් අය ද එකතු කොට ගෙන සාමූහික ව ද පින්කම් කරමු. එහෙත් වස්සාන සමයේ භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වී කඨින චීවරයක් පූජා කිරීමෙන් අවසන් කෙරෙන සියලු පින්කම් මුඵමණින් ම සාමූහික ව සිදුවන පින්කම් ය. ගිහියන් සාවධාන ව හා මහත් කැපවීමකින් ඇප උපස්ථාන කරන බැවින් භික්ෂූන් වහන්සේලා වෙනත් කාලවලට වඩා සවිඤ්ඤාණික ව කුරු කුහුඹුවකුටත් හිංසාවක් නොවන පරිදි බණ භාවනාදී කටයුතුවල යෙදෙමින් මෙකල කල් ගෙවති. අයං වස්සාන කාලො (මේ වස් කාලයයි) යනුවෙන් ඇතැම් භික්ෂූන් වහන්සේ ලා තමන්ට පෙනෙන ස්ථානයක එය ලියා තබා ඇත්තේ ද සෑම මෙහොතකම සිහිපත් කිරීමේ අවශ්‍යතාව නිසා ය. එසේම මෙම පින්කමෙහි බලගතු බව දන්නා ගිහියෝ ද දිනපතා විහාරස්ථාන කරා එළඹ භික්ෂූන් වහන්සේගේ අවශ්‍යතා වෙනදාටත් වඩා කැපවීමෙන් ඉටුකිරීම, දානමාන, බෝධිපූජා, මල් පහන් පූජා, බණ ඇසීම්, භාවනා කිරීම් ආදිය කරති. මේ නිසා මෙම වස් තෙමසෙහි සිදුවන පින්කම් ගිහි පැවිදි දෙපක්ෂයේ ම එකතුවෙන් සිදුවීම විශේෂත්වයක් වේ. වෙනත් විධියකින් කිවහොත් මෙය පෞද්ගලිකත්වය යටපත් කොට සාමූහිකත්වය ඔප් නංවන්නා වූ පින්කමකි.

කුසල කර්මයක් මෙන්ම විනය කර්මයක් ද වන පින්කම

දිව්‍ය මනුෂ්‍ය සම්පත් කෙළවර නිර්වාණ සම්පත් මුදුන්පත් කොට කෙරෙන කඨින චීවර පූජාව සිතෙහි පාපී අකුසල ධර්මයන් කම්පා කරවමින්, එහි ආදීනව මෙනෙහි කරවමින්, කෙලෙස් සිතිවිලි නිසා මිනිස් සිතට පමුණුවන විපත් අවබෝධ කරවන හා සසර දුක ඉක්මවීමෙන් ලැබෙන සැනසීම අරමුණු කොට ඇති නිසා මහත් කුසලයක් වේ.

එසේම භික්ෂූන් වහන්සේලා බුදුරදුන් අනුදැන වදාළ පරිදි සීමා සම්මත කළ උපෝෂථාගාරයකට රැස්ව ඇවැත් දෙසීම, වස් සමාදන්වීම, සත්තාහකරණයෙන් ආවාසයෙන් බැහැරවීම, පා සිවුරු අත්පස තබා පරිහරණය කිරීම, සංඝ සම්මුතියෙන් කඨිනය පැවැරීම වැනි විනය කර්ම රාශියක් මෙම කාලය තුළ ඉටු කරති. මේ නිසා වස් කාලය තුළ සිදුවනුයේ මහත් වූ කුසල් ගෙන දෙන්නා වූ ද විනය කර්ම සිදු කෙරෙන්නා වූ ද පින්කමකි.

එකම ස්ථානයක පූජා දෙකක් එකට සිදුවන එකම පින්කම

වස් තෙමස අවසන සිදුවන කඨින චීවර පූජාවේ දී පින්කම් දෙකක් එකදින සිදුවේ. ගිහි දායකයන් විසින් සාමාන්‍ය චීවරයක් හෝ චීවරයකට පොහෝනා වස්ත්‍රයක් ගෙනවුත් එය කඨින චීවරයක් වශයෙන් සකසා දෙන ලෙස මහා සංඝ රත්නයට පූජා කරනු ලබයි. ඉන් අනතුරුව මහා සංඝරත්නය විසින් එය කඨින චීවරයක් ලෙස සකසා වස් ආරක්ෂා කළ භික්ෂූන් අතුරෙන් එක් ප්‍රතිබල සම්පන්න භික්ෂුවක් තෝරා සියලු දෙනා වහන්සේගේ එකඟතාවයෙන් පූජා කරනු ලැබේ. මෙසේ එකම දිනයේ දී පූජා දෙකක් සිදුවන නිසා මෙය මහත් බලසම්පන්න පින්කමක් වන බව ද දත යුතු ය.

කවර පින්කමකින් නමුත් කඨිනානිසංශ ලැබිය හැකි පින්කම

වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ නමකට බුද්ධ නියමය පරිදි වෙනත් කාලවලට වඩා ලැබිය හැකි ප්‍රතිලාභ රාශියක් පිළිබඳව බණ පොතෙහි සඳහන් වේ. එනම් ශික්ෂාපද පහකින් ආපත්ති පහකට පත් නොවී සිටිය හැකි ය. එසේම මෙම කාලය තුළ විවිධ පින්කම්වල දිවා රෑ නිරතවීමෙන් ගිහියෝ ද මහත් වූ කුසල් හුස් කර ගන්නා බව අමුතුවෙන් කිවයුතු නොවේ.

වඩාත් සුවිශේෂ කරුණක් වන්නේ කඨින පූජාව සිදුකළ තැන් පටන් පැය විසි හතරක් යනතුරු කරනු ලබන කවර පූජාවකින් වුව ද කඨිනානිසංශ ලබාගත හැකි වීමයි. කඨින චීවරයක් පූජා කිරීම සෑම කෙනෙකුටම කළ හැක්කක් නොවේ. එබැවින් ඊට සාමූහික ව සහභාගී වීමට පෙර කල සිටම ලක්වැසි ජනයා පුරුදු වී සිටියහ. එසේම කඨින චීවර පූජාව ම පරාමර්ශනය කර ගනිමින් තම ශක්ති ප්‍රමාණයෙන් කරනු ලබන කවරාකාර පූජාවකින් හෝ ඔවුහු කඨිනානිසංශ ලබා ගනිති. එහෙයින් ද මෙය සුවිශේෂී පින්කමක් වේ.

සංස්කෘතිකාංග රැසක් ඒකාබද්ධ වූ පින්කම

වස් තෙමස තුළ සැදැහැතියෝ භික්ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි විවිධ ආකාරයේ පින්කම් කරති. සංඝික දාන, ධර්ම ශ්‍රවණය, භාවනා කර්ම, බුද්ධපූජා, ධාතුපූජා, බෝධිපූජා, විහාරදාන, වැසිකිළි කැසිකිළි පිළිසකර කිරීම්, පැන් පොකුණු ළිං ආදිය ඉදි කිරීම්, දහම් පොත් පත් පිදීම, ඖෂධ පූජා, පැවිදිවීම්, විහාරාරාම හුණු පිරියම් කිරීම්, සිවුරු පඬුපෙවීම් ආදී විවිධාකාරයේ පින්කම් හා ශබ්ද පූජා, පෙරහර ආදිය ද යොදා ගනිමින් ඉතා විසිතුරු ලෙස සිදු කරති. මෙම පින්කම් සංස්කෘතිකාංග රාශියක එකතුවෙන් සිදු වන්නක් හෙයින් බාල මහලු සියල්ලෝ ම ඊට මහත් අභිරුචියෙන් සහභාගී වෙති. මෙම කාලය තුළ සිදුවන පින්කම් හේතුවෙන් ජාතික සමගිය වර්ධනය වන හෙයින් ජාතික වශයෙන් ද වැදගත් වේ. එසේම සාමාජික වශයෙන් පැතිකඩ රාශියකින් ප්‍රතිලාභ හිමිවන පින්කමක් ද වේ. ආගමික භක්තිය වසරින් වසර නැවුම් වන හෙයින් ආගමික වශයෙන් වැදගත් වන අතර ඇතැමෙක් මෙම කාලය තුළ චීවර, සුවඳ දුම්, පුද පූජා භාණ්ඩ අප්‍රමාණ ව අලෙවි කොට ආර්ථික වශයෙන් ද ප්‍රතිලාභ ලබා ගන්නා පින්කමක් වේ.

මෙසේ දුලබ වශයෙන් සිදුකළ හැකි, ඒවායේ නිසැක බල මහිමයෙන් ස්වර්ග මෝක්ෂ සම්පත් ලැබිය හැකි පින්කම් රාශියක් ගිහි පාර්ශ්වයට මෙන්ම පැවිදි පාර්ශ්වයට ද සිදුවන ඉතා අගනා කාලයක් ලෙස වස්සාන තුන් මාසය හදුනාගත යුතු ය. මෙහි දුර්ලභ බවත්, මහානීය ආනිසංශ රාශියක් සිදුවන බවත් මැනවින් තේරුම් ගැනීම නිසා පෙර සිටි රාජරාජමහාමාත්‍යාදීහු පවා මෙම පින්කම් මහත් අභිරුචියකින් සිදු කර ගත්හ. එබැවින් මෙම මහඟු කාලයේ වටිනාකමත් එම පින්කම්හි ආනිසංශත් වටහා ගැනීමෙන් ඔබත් තම ජීවිතයට සාංසාරික වටිනාකමක් හිමි කර ගැනීමට අදිටන් කර ගැනීම සුදුසු ය.