Print this Article


 දැන දැක වැඩිය යුතු කුසල් මුල්

 දැන දැක වැඩිය යුතු කුසල් මුල්

" නෙඵම් පතක වැටුණු දිය බිඳුවක් සේ නොඇලී සිටීම අලෝභයේ ස්වභාවයයි. අලෝභී කුසල මූලය සිතට නැගුණු පසු කිසිවක් ග්‍රහණය කර නොගනියි. හරියට විමුක්ති ලාභී ආර්යයන් වහන්සේ නමක් ලෙසිනි."

කුසල යන වචනය සඳහා අටුවාවන්හි අර්ථ කිහිපයක් ම දක්වා ඇත. දක්‍ෂ හා ලාභ ගෙන දීම එයින් වඩාත් ජනප්‍රිය ම අර්ථ දෙකයි.

මූල යනු ස්ථීර ව දරා සිටීමයි. හේතුවයි. ඉඩ සලසාලීමයි. මේ අනුව කුසල මූල යනු දක්‍ෂ බවට, ස්ථීරව දරා සීටීමට හේතු වන කාරණායි. ලාභ ගෙන දෙන හේතුයි. දක්‍ෂකමට හා ලාභයට ඉඩ සලසාලන කරුණුයි. කුසලය යනු සිතේ ඇති නිරෝගී (ආරොග්‍ය) බවයි. එසේම සිත දෝෂයන්ගෙන් (අනවජ්ජ) තොර වීමයි. යහපත් කර්ම ඵල (සුඛවිපාක) ඇති කරවීමයි. නින්දිත වූ පාප ධර්මයන් තදංග විෂ්කම්භන සමුජ්ජේද ප්‍රහාණ වශයෙන් සොලවාලන්නේ, වෙවුළවන්නේ, කම්පා කරවන්නේ වනසන්නේ කුසල් බව අටුවාව වැඩිදුරටත් කුසලය හැඳීන්වීමේ දී දක්වා ඇත. මේ අනුව පාපයට විරුද්ධව නැගී සිටින්නේ කුසලයයි. ඒ බව “කුච්ජිතෙ පාපකෙධම්මෙ සලයති චලයති කම්පෙති විද්ධංසෙතීති කුසලං” යනුවෙන් දක්වා ඇත.

නිවැරදි සැප විපාක ලබා දීම හා වරදට සතුරු බව කුසලයේ ලක්‍ෂණයයි. අකුසල් නැසීම කෘත්‍යයයි. පිරිසිදු බව ඵලයයි. යෝනිසෝ මනසිකාරය පාදස්ථානයයි. කුසලය කාම, රූප, අරූප ලෝකෝත්තර භූමි භේද වශයෙන් සිව්වැදෑරුම් වේ. සතර අපාය, සදිව්‍ය ලෝක හා මිනිස් ලෝකය යන එකොළොස් කාම භූමියෙහි පවත්නා කාමාවචර කුසල් අටකි. රූප භූමි පහළොවෙහි පවත්නා රූපාවචර කුසල් පහකි. අරූප භූමියෙහි පවත්නා අරූපාවචර කුසල් සතරකි. ලෝකෝත්තර කුසල් හතරකි. මෙහි දැක්වූ කාමාවචර කුසලයන්ගෙන් මනුෂ්‍ය ලෝකයේ හා සදිව්‍ය ලෝකයන්හි කැමැති තාක් ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත්තීන් ලබා දෙයි. ඒ බව “කාමාවචර කුසලං කාමසුගති සාධකං” යනුවෙන් දක්වා ඇත.

අකුසල් නසා යහපත් ගුණාංග වඩමින් කුසලයට ස්ථීරව ඉඩ සලසාලන හේතු හෙවත් මුල් තුනකි. එනම්, අලෝභ කුසල මූලය, අදෝස කුසල මූලය හා අමෝහ කුසල මූලයයි. ලෝභය හෙවත් තෘෂ්ණාවේ ප්‍රතිවිරුද්ධතාව අලෝභයයි. මෙයින් පරිත්‍යාගශීලිත්වය, බෙදාහදා ගැනීමේ කැමැත්ත, අත්හැරීම, ආත්මාර්ථකාමී නොවීම අර්ථවත් වේ. අලෝභය දීම හා සම්බන්ධ සිතිවිල්ලකි. නෙඵම් පතක වැටුණු දිය බිඳුවක් සේ නොඇලී සිටීම අලෝභයේ ස්වභාවයයි. අලෝභී කුසල මූලය සිතට නැගුණු පසු කිසිවක් ග්‍රහණය කර නොගනියි. හරියට විමුක්ති ලාභී ආර්යන් වහන්සේ නමක් ලෙසිනි. අසූචි වළකට වැටුණු අයෙකු එහි නොඇලී, එයින් මිදීමට උත්සාහ දරන්නේ යම්සේ ද අලෝභී බව සිතට නැඟුණු පසු කාමය උපදවන සියලු වස්තූන් ද අසූචි වළක් මෙන් දැන දැක ඒ කාම වස්තූන්ගෙන් මිදීමට උත්සාහ කරන බව අටුවාව විස්තර කරයි. ද්වේශය හෙවත් තරහවේ ප්‍රතිවිරුද්ධතාව අදෝසයයි. මෙයින් මෛත්‍රී සහගත බව, කරුණාව, මිතුරුකම, ඉවසා සිටීමේ ගුණය අර්ථවත් වේ. අදෝසය යහපත් මිතුරෙකු හා සමාන ය. නොඉවසීම හා නුරුස්සනා ගතිය ඉවත් කිරීම අද්වේශයේ ස්වභාවයයි. සඳුන් කල්කයෙන් උණ ගතිය නැති කරන්නා සේ අද්වේශයෙන් තරහ ගතිය නැති කරන බව අටුවාව පවසයි. මෝහය හෙවත් මුළාවේ ප්‍රතිවිරුද්ධතාව අමෝහයයි. මෙයින් ප්‍රඥාවන්ත බව, අවබෝධය, බුද්ධිමත් බව, විචක්‍ෂණශීලි බව අර්ථවත් වේ. ලොව ඇති සියලු වස්තූන්හි යථා ස්වරූපී බව විනිවිද දැකිය හැක්කේ අමෝහයටයි. දක්‍ෂ දුනුවායෙකු විසින් විදින ලද හීය එම වස්තුව පසාරු කර ගෙන යන්නාක් මෙන් අමෝහයෙන් ප්‍රස්තුත වස්තුවේ ඇතුළත කිමිදී යථා ස්වභාවය දකියි. මෝහය නැමැති අන්ධකාරය දුරු කරන පහනක් මෙන් ද, වනයේ මං මුළා වූවෙකුට මඟ පෙන්වන්නෙකු මෙන් ද අමෝහය දැකිය යුතු බව අටුවාව පවසයි.

බුදු දහමෙහි දානය, සීලය, භාවනාව, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරිම, අපචායනය, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය හා දිට්ඨිජ්ජුකම්ම යනුවෙන් කුසල් දහයක් උගන්වා ඇත. චීවර පිණ්ඩපාත සේනාසන ගිල්නපස බෙහෙත් පිරිකර යන සිව්පසය අතරෙන් යමක් පූජා කිරීම හා එසේ පූජා කරන විට පූර්ව මුඤ්චන අපර චේතනා පාරිශුද්ධත්වයෙන් ම සිදු කිරීම දානමය කුසලයයි. පන්සිල්, අටසිල්, දසසිල් සමාදන් ව එම සීලය මැනවින් රැකීම සීල කුසලයයි. බුද්ධානුස්සතියේ පටන් සමථ කමටහනුත්, සියල්ල ත්‍රිලක්‍ෂණානුකූල ව දකිමින් විදර්ශනාව වැඩීමත් භාවනා කුසලයයි. දානාදී පින්කම් කොට අසවල් අය සුවපත් වෙත්වා යි ප්‍රාප්තිමය වශයෙන් පින් දීම පත්ති අනුමෝදනා කුසලයයි. අනුන් දුන් පින් අනුමෝදන්වීම හෝ අනුන් විසින් කරන ලද පිනක් දැක මැනවැ යි සතුටු සිතින් අනුමෝදන්වීම පත්තානුමෝදනා කුසලයයි. වැඩිහිටියන්ට උපස්ථාන කිරීම්, වෙහෙර විහාර ආදියෙහි කුදුමහත් කටයුතු කිරීම් ආදී වත්පිළිවෙත් කිරීම වෙය්‍යාවච්ච කුසලයයි. වැඩිමහල් අය දැක පෙර ගමන් යාම්, අසුනින් නැගිටීම් ආදී ගෞරව දැක්වීම් අපචායන කුසලයයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් තොරව ධර්මානිසංස සලකාගෙන ම අනුන්ට ධර්ම දේශනා කිරීම ධම්ම දේසනා කුසලයයි. ධර්මාවබෝධය පිණිස ම මෙහෙය වූ සිතින් ධර්මය ඇසීම ධම්මසවණ කුසලයයි. මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී සම්‍යක් දෘෂ්ටියට පැමිණීම දිට්ඨිජ්ජුකම්ම කුසලයයි.

මීටත් අමතරව තවත් තැනක දී අටමහා කුසල් නමින් තවත් කුසල් අටක් දක්වා තිබේ. ඒ මෙසේය.

කඨින චීවර පූජාව, අෂ්ඨ පරිෂ්කාර පූජාව, ආවාස දානය, බුද්ධප්‍රමුඛ සාංඝික දානය, ධර්ම ග්‍රන්‍ථ ලිවීම හෝ ලියවීම, කෙත්වතු පූජා කිරීම, ප්‍රතිමා කරවීම හා වැසිකිළි තැනීම යන මේවායි.

උසස් ආත්ම භාවයක් ලැබූ මනුෂ්‍යයින් විසින් දස කුසල් හා අටමහා කුසල් නිතර නිතර බොහෝ සෙයින් සිදු කළ යුතු බවයි බුද්ධ දේශනාව. “කත්තබ්බං කුසලං බහුං” කිව්වේ ඒකයි. එසේම මෙසේ කුසල් කරන්නා වූ මිනිස්සු පිළිබඳ ශ්‍රක්‍ර දිව්‍ය රාජයා ඇතුළු දෙවිවරු සොයා බලන බවත්, කුසල් කරන මිනිසුන්ගේ නම් ගම් රන් පොත්වල ලියා තබන බවත් ලෝකානු විචරණ සූත්‍රයේ දැක්වේ. ඒ මෙසේයි.

අටවක පොහෝ දවස්හි ශ්‍රක්‍රදිව්‍ය රාජ තෙමේ අමාත්‍ය වූ සතරවරම් දෙවිවරුන්ට ආමන්ත්‍රණය කොට “දරුවෙනි, අද අටවක පොහෝ දවස ය. මනුෂ්‍ය ලෝකයට ගොස් කුසල් කරන මනුෂ්‍යයන්ගේ නාම ගෝත්‍රයන් දැන එව” යි කීවේ ය. එවිට සතරවරම් දෙවිවරු තමන් වෙසෙන වාසස්ථානවලට පැමිණ පිරිවර අමාත්‍යයන්ට “මනුෂ්‍ය ලෝකයට ගොස් එහි හැසිර කුසල් කරන මිනිසුන්ගේ නම් ගම් රන් පතෙහි ලියා ගෙන එව” යි නියම කළාහු ය. ඒ අමාත්‍ය දේවතාවෝ එතැන් පටන් අද දක්වා ම අටවක පෝය දවසෙහි මනුෂ්‍ය ලෝකයට පැමිණ කුසල් කරන්නවුන්ගේ නම් ගම් ලියා ගෙන යන්නාහ. නැවත මාසේ පෝය දවසෙහි සතරවරම් දෙවිවරුන්ගේ පුත්‍රයෝ ද මනුෂ්‍ය ලෝකයට පැමිණ කුසල් කරන්නවුන්ගේ නම් ගම් ලියා ගෙන යන්නාහ. පසළොස්වක පෝය දවසෙහි සතරවරම් දෙවිවරුම මනුෂ්‍ය ලෝකයට පැමිණ කුසල් කරන්නවුන්ගේ නම් ගම් ලියා ගනිති. මේ පරීක්‍ෂණයේ දී කුසල් කරන මනුෂ්‍යයෝ බොහෝ වී නම් දෙවියෝ සතුටු වෙති. කුසල් කරන්නවුන් අල්ප වී නම් නොසතුටු වෙති යි දැක්වේ. කුසල් දැන දැක වැඩිය යුත්තේ ඒ නිසාවෙනි.