Print this Article


රජු කළ පවට මුහුද ගොඩ ගලයි

දුටුගැමුණු රජතුමා -02

රජු කළ පවට මුහුද ගොඩ ගලයි

නිර්දෝෂී කැලණිතිස්ස රහත් තෙරණුවෝ උණු තෙල් කටාරමෙහිලා මෘතදේහය මුහුදට විසි කිරීමට අණ කිරීම පිළිබඳ රජතුමා බොහෝ පසුතැවීමට පත්විය. තමන් විසින් කරගන්නා ලද ආනන්තරිය පාප කර්මයේ විපාක සුළුපටු නොවන බව වටහාගත් රජතුමා ඉමහත් කම්පාවට පත්විය. හදිසි කෝපය නිසා තමන් විසින් කළ වරද පවසා භික්ෂූන් වහන්සේලාගෙන් සමාව අයැද සිටියේය.

මුහුද ප්‍රචණ්ඩ වී ඇතැයි ද , එම නිසා මුහුද ගොඩ ගැලීමේ ලකුණු පහළ වී ඇතැයි රාජ පුරුෂයෝ රජතුමාට දැනුම් දුන්හ. එය ඇසූ රජු ගේ සිතට සැකයක් මතුවිය. තද කුණාටුවක් හෝ සුළි සුළඟක් නැතිව මුහුද රළු වෙන්නේ කෙසේද? තද වැස්සක් නැතිව ගං වතුරක් ඇතිවෙන්නේ කෙසේද?

මුළු නගරයම වසාගෙන පැතිරී යන අඳුර දුටු රජතුමා ගේ සිතට බියක් දැනිණි. තිස්ස රහත් තෙරණුවෝ නිරපරාදේ ඝාතනය කොට මුහුදට විසි කිරීමෙන් දෙවිවරු කෝපයට පත් වී මුළු රටත්, තමන්වත් විනාශයට පත් කිරීමට සූදානම් වන්නේ දැයි සැකයක් රජතුමාට ඇතිවිය.

රට තුළ හමාගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ජනයා සන්නිපාත ශාලාවට එක් රැස්වී සිටියහ. දැඩි සුළඟේ පීඩනය දරාගත නොහැකි ව ඇතැම් පිරිස් බිම දිගාවී ගෙන මර ලතෝනි දෙමින් ජීවිතය බේරා ගැනීමට නිරර්ථක උත්සාහයක නිරත වූහ. කාන්තාවන් පිරිසක් තමන් හැඳ සිටි ඇඳුමෙන්ම තම දරු මල්ලන් වඩාගෙන තමාටත් වඩා තම දරු මල්ලන්ගේ ජීවිත රැක ගැනීමට දැඩි උත්සාහයක යෙදුණහ. මේ සියලු සිදුවීම් දැක බියට පත්ව සිටි රජතුමා මාලිගයට රැස්ව සිටි පුරෝහිත බමුණන්, ඇමැතිවරු ප්‍රමුඛ රාජ සභාවෙන් අදහස් විචාළේ ය. රැස්ව සිටි පිරිස අතරින් ඉදිරියට පැමිණි මණිනාග සිටුතුමා මෙය ලංකා ඉතිහාසය තුළ කිසි දිනක සිදු නොවූ සිදුවීමක් බව පැවසුවේ ඉමහත් සිත් තැවුලෙනි. ගෙවල් දොරවල් යට කරමින් මුහුද ගොඩට ගලාවිත් තිබුණේ ය. එහි ප්‍රභලත්වය කෙතරම් ද යත් වරායේ නැංගුරම් ලා තිබූ චීන හා ගී‍්‍රක නැව් දෙකක් මුහුදු බත්වී තිබිණි. මුහුදු රකුසා මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් ගිලගෙන තිබුණේ ය. මේ නිසා පවුල් දහස් ගණනක් අනාථ විය. නිවාස දහස් ගණනක් විනාශ විය. ජීවිත බේරාගත් පිරිස ගෙවල් දොරවල් අතහැර හැඳිවත පිටින්ම පලායමින් සිටියහ. මෙම කුණාටුව නතර වන සේයාවක්වත් පෙනෙන්නට නොමැති බව ප්‍රකාශ කර සිටියේ ය.

එදා මුහුද ගොඩ ගැලීම මහා ව්‍යසනයක් වූවයි සිතන්නට තුඩු දෙන්නේ, අප ජීවිත කාලය තුළ සිදුවූ සුනාමි ව්‍යසනය සිහියට නැඟීම නිසා ය. 2004 දෙසැම්බර් 6 වැනිදා මුහුද ගොඩ ගලා ලංකාව ඇතුළු ආසියාතික රටවල් ගණනාවක ලක්ෂ සංඛ්‍යාත ජීවිත හා දේපළ විනාශයට ලක්වන තෙක් කිසිවෙක් කැලණිතිස්ස රජු දවස මහුද ගොඩ ගැලීම විශ්වාස නොකළහ.

රජතුමා ඉතාමත් වේදනාවෙන් යුතුව කල්පනා කරන්නේ තමා කළ අපරාධයට තමාට දඬුවම් නොදී මුළු රටම විනාශ කිරීමේ තේරුම කුමක්ද කියා ය. සිදුවන විපත දරාගත නොහැකි වූ රජතුමා මෙම විනාශයෙන් රට බේරා ගැනීමට තමාට කළ හැකි යම් දෙයක් ඇද්දැයි පුරෝහිත බමුණන්ගෙන් හා ඇමැති මණ්ඩලයෙන් විමසා සිටියේ ය.