Print this Article


දිවැස් ඇති භික්ෂූන් වහන්සේ අතුරින් අග්‍ර වූ අනුරුද්ධ මහ රහතන් වහන්සේ

දිවැස් ඇති භික්ෂූන් වහන්සේ අතුරින් අග්‍ර වූ අනුරුද්ධ මහ රහතන් වහන්සේ

අසූමහා ශ්‍රාවකයන් වහන්සේ අතර අනුරුද්ධ මහ රහතන් වහන්සේ දිවැස් ඇති භික්ෂූන් වහන්සේ අතුරින් අග්‍රස්ථානය ලැබීමට භාග්‍යවන්ත වූහ. ඒ උදෙසා උන්වහන්සේ සසරේ කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ දී සිදු කළ පින්කම් විශිෂ්ඨ ය.

පදුමුත්තර බුදුන් වහන්සේ සදහම් දෙසද්දී එක්තරා ධනවත් සැදැහැති කුල පුත්‍රයෙක් දුටු දසුන පින්බර ය. ඒ පදුමුත්තර බුදුන් වහන්සේ වෙතින් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් දිවැස් ඇති භික්ෂූන් වහන්සේ අතුරෙන් අග තනතුර ලබා ගත් අවස්ථාව යි. ඒ සුවිශේෂී භික්ෂූන් වහන්සේ නමක් යැ’යි සිතූ ඔහුට ද මෙවැනි ම අග තනතුරක්, මතු බුදු වන බුදුන් වහන්සේ නමකගෙන් ලැබීමේ බලවත් අදිටන ඇති විය. ඒ උදෙසා මෙම කුල පුත්‍රයා සසර භවයන්හි කළ පින්කම් අපමණ ය.

දිනක් පදුමුත්තර බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සඟරුවන තම නිවසට වඩමවා ප්‍රණීත ආහාරපානයෙන් දන් පිදුවේ ඉමහත් ශ්‍රද්ධාවෙනි. සත් දවසක් ම මෙලෙස දන් පුදා අවසන් දිනයෙහි වදාළ අනුමෙවෙනි බණෙන් පසුව පදුමුත්තර බුදුන් වහන්සේගේ ශී‍්‍ර පාද මූලයේ වැඳ වැටුණුමොහු මෙසේ පැවසුවේ ය.

ස්වාමීනි,මා මෙලෙස සත් දිනක් මුළුල්ලේ ම ඉමහත් ශ්‍රද්ධාවෙන් දන් පිරිනැමුවේ පින්බර අරමුණක් උදෙසා ම යි. ඔබ වහන්සේ සත් දිනකට පෙර යම් භික්ෂූන් වහන්සේ නමකට දිවැස් ඇති භික්ෂූන් වහන්සේ අතුරෙන් අග්‍රස්ථානය ලබා දුන් දසුනෙන් මම අපරිමිත සතුටට පත් වුණෙමි. මට ද අනාගත බුදුවරයෙකුගෙන් මෙලෙස දිවැස් ඇති භික්ෂූන් වහන්සේ නමක් වීමේ අදහස ඇති විය . ඒ උදෙසා මා සත් දිනක් මුළුල්ලේ ම බුද්ධ ප්‍රමුඛ මහ සඟරුවනට දන් දුන්නේ ඉමහත් ශ්‍රද්ධාවෙනි. මෙහිදී පදුමුත්තර බුදුන් වහන්සේ දිවැසින් බලා මෙයින් කල්ප ලක්ෂයකට පසුව බුද්ධත්වයට පත්වන ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ මෙම කුල පුත්‍රයාගේ පැතුම ඉෂ්ඨ සිද්ධ වන බවට නියත විවරණ ලබා දුන්නහ.

එයින් අපමණ සතුටට පත්වූ මෙම කුල පුත්‍රයා සසරේ දෙව් මිනිස් ලොව සිය දහස් වර භවයන්හි උපත ලබමින් දිවැස් ලැබීමට සමත් වන ‘ප්‍රදීප පූජා’ ආදී පින් දහම් කරමින් පිරූ පාරමී දම් අපමණ ය.

පින් දහම් නිසා දිගු සසරක ඇති සැපයත්, දෙව්- මිනිස් සුගතිගාමී භවයන්හි උපත ලබන අකාරයත් මෙයින් පසක් වේ. කෙසේ වෙතත් තම උත්තුංග අරමුණු උදෙසා ම සසර භවයන්හි පින්දහම් කළ එතුමා කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේ බරණැස් නුවර කෙළෙඹියෙක් ව උපත ලබා කළ පින්කම ද අසිරිමත් ය. වැටි දහසකින් සපිරි පහන් මාලාවක් රැය පහන් වන තුරා ම තම හිස මත තබාගෙන,කාශ්‍යප බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේ නිදන් කළ, යොදුනක් පමණ සුවිසල් දාගැබක් වටා සක්මන් කළේ ඉමහත් ශ්‍රද්ධාවෙනි.

තවත් ආත්ම භාවයක දී දිළිඳු කුලයක උපත ලැබූ මෙතුමා අන්නභාර නාමයෙන් සුමන සිටුවරයාගේ ඇසුරෙහි වාසය කළේ ය. දිනක් උපරිට්ඨ පසේ බුදුන් වහන්සේ සත් දිනක් නිරෝධ සමාපත්තියට සම වැද අවසන් දිනයේ පිණ්ඩපාතය පිණිස අන්නභාර අසලට වැඩම කළේ ඔහු කෙරෙහි වූ අනුකම්පාවෙනි. මේ නිසා අන්නභාර දුගියා කරගත් පින්කම ඉමහත් ය. තමන්ටත් , තම භාර්යාවටත් අනුභව කිරීමට වෙන් ව තිබූ ආහාර කොටස පිණ්ඩපාතයට වැඩම කළ පසේ බුදු රදුන්ට පිදුවේ ඉමහත් ශ්‍රද්ධාවෙනි. මේ දසුනෙන් සතුටට පත් වූ සුමන සිටු ගෙදර සේසත වසන දේවතාවෝ තෙවරක් ම සාධු නාද නැඟූහ. ඒ සාධු නාදය ඇසුණු සිටුතුමා ද දානයේ පින අනුමෝදන් ව, අන්නභාර දුගියාට කහවුණු දහසක් පිදී ය. මේ සුපින්බර පුවත ගැන දැනුම්වත් වූ රටේ රජතුමා ද අන්නභාර දුගියාට කහවුණු දහසක් බැඳී පියල්ලක් පිදී ය. එදිනම අන්නභාර දුගියා මහා ධන සිටු තනතුරු ලබා නොයෙක් සැප සම්පත් විඳ ජීවිතාන්තය දක්වා ම බොහෝ පින්කම් කර නැවත දෙව්ලොව උපත ලැබුවේ ය.

මේ අනුව විමසා බැලීමේ දී අන්නභාර සසර භවයන්හි අපමණ පින් දහම් කළත් දුගී ව උපදින්නට ඇත්තේ තමන් කළ අකුසලයක් නිසා විය හැකි ය. එහෙත් ශ්‍රද්ධාවන්ත අන්නභාර දුගියා එක් දිනකින් සිටුවරයෙක් වන්නට ඇත්තේ තමා කළ කුසලයේ බලය නිසයි. ඒ ආත්ම භාවයේ ම පළ දෙන එම කුසලය, හෝ අකුසලය දිට්ඨධම්ම වේදනීය කර්මය වශයෙන් බුදු දහමේ හැඳීන් වේ.

මෙලෙස දෙව්ලොව උපත ලැබූ අන්නභාර සිටුතුමා සසරේ අවසන් ආත්ම භාවයේ දී මිනිස් ලොව උපත ලබුවේ අනුරුද්ධ නාමයෙනි. අමිතෝදන ශාඛ්‍ය රජු තම පියාණන් වහන්සේ ය. ගෞතම බුදුන් වහන්සේගේ සුළු පියාණන්ගේ පුතණුවන් ය. මහානාම ශාඛ්‍ය රජුගේ බාල පුතණුවන් ය.

ඉමහත් යස ඉසුරු මධ්‍යයේ හැදී වැඩුණු එතුමා ‘නැත’ යන අර්ථයවත් නොදත් පින්වත් කුමාරයෙකි. එතුමා දිනක් තම යහළුවන් සමඟ කෙළි දෙලෙන් වාසය කරද්දී , ඔට්ටුවකට කැවුම් පොදියක් පොරොන්දු වී එය තම මෑණියන් වහන්සේගෙන් ඉල්ලුවේ ය. තමන් බලාපොරොත්තුවන සෑම දෙයක් ම ලබා ගැනීමට කුමාරයා පින්වන්ත ය. ඒ නිසාම ‘නැත’ වදන කුමරුට ඒත්තු යන්නේ ම නැත. එදා තම මෑණියන් කැවුම් පිරී ගිය බඳුනක් කුමරුට පිරිනැමී ය. පසුව එහි කැවුම් අවසන් ව ගිය ද කුමරුට ‘නැති’ වදන තේරෙන්නේ ම නැත. ඒ නිසාම ඔහුසේවිකාවට පවසන්නේ ‘නැති කැවුම්’ රැගෙන එන ලෙස යි. කුමරුගේ මෑණියන් කුමරුට ‘නැත’ අර්ථය ඒත්තු ගැන්වීමට හිස් කැවුම් බඳුන වසා සේවිකාව අත යැවී ය. මේ දසුනින් දෙව් බඹුන් බොහෝ දුකට පත්වූයේ කුමාරයා අධික පින්වන්ත වූ නිස යි. ඒ නිසාම දිව්‍ය ඕජාවන්ගෙන් සපිරි රසවත් කැවුම් බඳුනක් කුමරුට ලැබීමට සැලැස්වී ය. මෙය නොදත් සේවිකාව එහි කැවුම් නැති බව පවසා හිස් කැවුම් බඳුන කුමරු අතට පිරිනැමී ය. එහෙත් පින්වන්ත අනුරුද්ධ කුමරු බඳුන විවර කරද්දී ම සුවඳවත්, රසවත් කැවුම් එහි පිරී තිබිණි. වෙනදාටත් වඩා රසවත් වූ කැවුම් අනුභව කළ කුමරු තම මෑණියන්ට පැවසුවේ ‘නැති කැවුම් ඉතා රසවත්’ බව යි. තවත් අවස්ථාවක බත් ලැබෙන්නේ කොහෙන්දැ’යි ඇසූ විට බත් පිණිස ලැබෙන හාල් කුඹුරෙන් ලබා ගන්නා බව එක් අයෙක් පැවසුව ද, කුමරු පැවසුවේ බත් ලැබෙන්නේ පිඟානෙන් බව යි. මෙලෙස ‘නැත’ අර්ථයවත් නො අසන්නට තරම් අනුරුද්ධ කුමාරයා පින්වන්ත වූයේ සසරේ කළ පින්කම්වල බල මහිමය යි.

දිනක් කිඹුල්වත් පුරයට වැඩම කළ බුදුන් වහන්සේ ශාඛ්‍ය කුමාරවරු පිරිසක් සසුන් ගත කරවූහ. එහිදී මහානාම ශාඛ්‍ය‘ රජු අනුරුද්ධ කුමාරයාගෙන් මෙසේ විමසී ය. අනුරුද්ධය, බොහෝ ශාඛ්‍ය කුමාරවරු සසුන් ගත වන බැවින්, අපගේ පවුල්වල ද යම් කිසිවෙක් පැවිදි වී නැති නිසාත්, ඔබ පැවිදි වන්නට කැමැති ද? නැතිනම්, මා පැවිදි වන්නේ දැ’යි විමසී ය. එහිදී සසුන් ගත වීමට කැමැති වූ අනුරුද්ධ කුමරු තම යහළු කුමාරවරුන් වන භද්දිය, දේවදත්ත, ආනන්ද, භගු, කිම්බිල, උපාලි සමඟින් පැවිදි වූහ. අනුරුද්ධ තෙරණුවෝ ,අග්‍රශ්‍රාවක සැරියුත් මහ තෙරුන් වහන්සේගෙන් කමටහන් ලබා චේතිය රටෙහි පාචීන වංස මිගදාය වනයට වැඩම කළහ. ඒ දිගු සසරක අවසානය වන උත්තරීතර නිවන් මඟ උදෙසා බවුන් වඩන්නට ය. එහිදී උන්වහන්සේට අග කොටස පැකිළෙන බව දිවැසින් දුටු අසම සම බුදුන් වහන්සේ අහසින් ම වැඩම කර මහා ආර්ය වංශ ප්‍රතිපදාව වදාළ සේක. නැවත බුදුන් වහන්සේ භේසකලා වනයට වැඩම කරන මොහොතේ ම අනුරුද්ධ තෙරුන් වහන්සේ සියලු කෙලෙසුන් නසා රහත් වූහ. එතැන් සිට ම දන් වළඳන අවස්ථාව හැර සෑම මොහොතක ම නිබඳව ම ආලෝකය වඩා දිවා රෑ දෙකෙහි ම දිවැසින් සත්ත්වයන් දෙස බලමින් වාසය කරන බැවින් උන්වහන්සේ ලැබූ තනතුර සුවිශේෂී ය. ඒ ගෞතම බුද්ධ ශාසනයේ දී දිවැස් ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රස්ථානය ලැබීම යි.

ධර්ම සංගායනාවන්ට ද තමන් වහන්සේගේ මෙහෙවර ඉටු කරමින් අවුරුදු එකසිය පනහක් ආයු ලබන්නට භාග්‍යවත් වූ උන්වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලබා, ඒ උතුම් අදහස උදෙසා සසර භවයන්හි පිරූ පාරමී දම් බල මහිමය මෙලෙස ගෞතම බුදු සසුනේ දී ඉෂ්ඨ සිද්ධ වීම විශිෂ්ඨ ය.