Print this Article


පහන් සිතක කවි

උතුම් පොහෝ දින

කසුප් සමිඳු මුල් වී බුදු බණ සැකසූ
පළමු දහම් සංගීතිය සිදු කෙරුණු
අබිදම් විනය සුතුරය තුන් පිටක මතූ
පරපුර වෙතට නිති නිසි ලෙස දුන් මහරූ
උතුම් පොහොය දිනය යි නිකිණිය සොඳුරූ
අනඳ සමිඳු ලැබ අරහත් බව ඔකඳින්
උතුම් රහත් සමිඳුන් හා එකතු වෙමින්
පළමු වරට දම් සංගීතිය කරමින්
දහම් විනය රැකගත් යුරු සිහි කරමින්
අදත් නිකිණි සඳ ඇත අහසේ දිළෙමින්
පින්බිම සේරුවිල වෙත දන රැස් වෙන්නේ
ලලාට දා වැඳ පින් රැස්කර ගන්නේ
පසුවස් එළඹුමත් නිකිණියෙ සිදු වෙන්නේ
නිකිණි පොහොය එලෙසිනි වැදගත් වෙන්නේ

****

මනුස්සකම

දහමින් විනා අදමින් වැඩ නොකළ යුතු
අන් සතු දෙය එපා ඇති දෙය තමා සතු
නො සොයා කිසිම දිනයක අන් අයගෙ තතු
රට දැය නඟා පෙරට ම යා යුතු ය මතු

බාධක කම්කටොළු නිති පසුකර ලන්න
නැණ ගුණයෙන් ඔබ දිවිමග බබළන්න
නින්දා ප්‍රශංසා සමසේ පිළි ගන්න
අටලෝ දහම අනුව ම ජීවත් වන්න

****

කවි කිවිඳියනට සතර පෝ දාටම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස ඉල් පුර පසළොස්වක පෝදා සිට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.