Print this Article


දළදා වහන්සේ වැඩසිටි රාජධානි සහ පුදබිම්

දළදා වහන්සේ වැඩසිටි රාජධානි සහ පුදබිම්

රාජධානි මාරුවන විට ඒ ඒ රාජධානි ආශි‍්‍රත රජ මාළිගා අසල දළදා මාළිගා ඉදිවීම දැකිය හැකි විය. මේ නිසා පොළොන්නරු සමයේ උදාවීමත් සමඟ දළදා වහන්සේ රාජ්‍ය උරුමයේ ප්‍රධාන සංකේතය බවට පත්වූහ. මේ අනුව පොළොන්නරු රාජධානිය ආරම්භ වීමෙන් පසුව දළදා වහන්සේ උදෙසා මහාර්ඝ වූ දළදා මැදුරක් ඉදිකරවා නිරන්තරයෙන් පුද පූජා පැවැත් වූ අයුරු මහා වංශයේ දෙවැනි කොටසේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි පිහිටි සම සතළිස් දන්තයන් අතුරෙන් ප්‍රධාන දළදා සතරක් පිළිබඳ තොරතුරු ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වේ. ලක්දිව ලියැවී ඇති ධාතු වංශකතා අනුව ඉහත සඳහන් දළදා වහන්සේලා අතුරෙන් දෙකක් ලංකාවේ පිහිටියේ ය.

එම විස්තර අනුව එයින් එකක් සෝමනුවර සෝමවති නම් ස්තූපයෙහි නිධන් කොට ඇත. (ධාතුවංසය පි. 33-34) දැනට මහනුවර සෙංකඩගල පුරයේ දළදා මාළිගාවෙහි තැන්පත් ව වැඩසිටින්නේ අනෙක් දළදා වහන්සේ ය. මුලදී කාලිංග දේශයේ තැන්පත් කරන ලදැයි සලකන මෙම දළදා වහන්සේ බුදුරජාණන් වහන්සේගේ යටි වම් දළදාව ය. ලංකාවේ අන්තිම සිංහල රාජධානිය වූ සෙංකඩගල පුරයෙහි බෝගම්බර වැවට උතුරුදිගින් පැරැණි රජ මාළිගාවට සමීප ව දකුණු පසින් පිහිටා ඇති අලංකාර සුවිසල් මන්දිරය වන දළදා මාළිගයෙහි විශේෂ ගරු බුහුමන් හා ආරක්ෂක විධි විධාන සහිතව දළදා වහන්සේ තැන්පත් කර ඇත. දළදා මාළිගයේ උඩුමහලේ වැඩසිටින මාළිගය” නමින් හැඳින්වෙන විශේෂ කුටියක් ඇත. මෙම විශේෂ කුටියට පිවිසිය හැක්කේ දළදා තේවා කාර්යයෙහි යෙදෙන භික්ෂූන් වහන්සේලා සහ ඒ තේවා කාර්යයන්ට සම්බන්ධ මාළිගාවේ සේවකයන්ට පමණි.

(අපේ සංස්කෘතික උරුමය – ප්‍රථම කාණ්ඩයට ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ මහාචාර්ය කඹුරුගමුවේ වජිර නා හිමි ලියූ ලිපිය පි. 278 මධ්‍යම සංස්කෘතික අරමුදල – 1995)

එවක ඉන්දියාවේ කාලිංග දේශයේ වැඩ සිටි දළදා වහන්සේ උරුම කරගැනීම පිණිස එරට රජුන් අතර ඇති වූ අරගලයක් නිසා දළදා වහන්සේ ආරක්ෂාව පිණිස දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් දළදා වහන්සේ රැගෙන ලංකාවට පැමිණියහ. ඉන්දියාවේ තාම්රලිප්තියෙන් නැව් නැඟී රාජකීය යුවල ගොඩ බැස්සේ සිංහල ද්වීපයෙහි ලංකාපට්ටන නම් ස්ථානයට යි. ලංකාපට්ටනයෙන් අනුරාධපුරයට පැමිණි දන්ත සහ හේමමාලා දෙදෙනා මේඝගිරි විහාරයට පැමිණ තාවකාලික ව දළදා වහන්සේ එහි තැම්පත් කළහ. මේ පුවත ඇසූ එකල අනුරාධපුරයේ රජ කළ සිරි මේඝවර්ණ රජු (ක්‍රි.ව.301-328 ) ඉමහත් සොම්නසින් මේඝගිරි විහාරයට පැමිණ ගෞරව භක්ති පූර්වකව දළදා වහන්සේට වැඳ පුදා පිළිගෙන අලංකාර රථයක වඩා හිඳුවා මහ පෙරහරින් රජ ගෙදරට වැඩමවා රජුගේ සිංහාසනය මත තැන්පත් කළේ ය. අනතුරුව ඇතුළු නුවර මාහැඟි දළදා ගෙයක් ඉදිකරවා දළදා වහන්සේ එහි වඩා හිඳුවීය. වාර්ෂිකව අනුරාධපුරයේ අභයගිරි විහාරයට දළදා වහන්සේ වැඩමවා ප්‍රදර්ශනය කර දළදා පෙරහරක් ද පැවැත් වීය. අනුරාධපුරයේ රජ මාළිගය අසලම දළදා මාළිගය ද ඉදි කරන ලදී. දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහා රජ මාළිගය අසලම දළදා මාළිගය ද සෑදීමේ සම්ප්‍රදාය පමණක් නොව රාජ මාළිගයට මෙන් ම දළදා වහන්සේ තැන්පත් කළ විහාරයට දළදා මාළිගය යන නාමය ද භාවිතය එසේ ඇරඹුණි. මෙකල ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් හිමියෝ ද දළදා පෙරහර පිළිබඳ සිය වාර්තාවල සඳහන් කරති. මින් පසුව රාජධානි මාරුවන අවස්ථාවලදී දළදා වහන්සේ ද එම රාජධානිවල රජ මාළිගය අසලම දළදා මාළිගා නිර්මාණය කර ජීවමාන බුදුරජාණන්වහන්සේට මෙන් පුද පූජා පැවැත්වීමේ චාරිත්‍ර වාරිත්‍ර ද ඇති විය. අනුරාධපුර රාජධානිය බිඳවැටීමෙන් පසු තවදුරටත් එය රාජ්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වා ගෙන යෑම අනාරක්ෂිත යැයි සැලකූ සිංහල පාලකයෝ එකොළොස් වැනි සියවසේ දී පොළොන්නරුව සිය රාජ්‍ය මධ්‍යස්ථානය කරගත්හ. අනුරාධපුර සමයේ රජවරුන්ට ජනතා සහයෝගය ලබාගැනීමේ දී මෙන්ම විශේෂ පුද පූජාවලට හා ගෞරවයට ලක්විය. රාජධානි මාරුවන විට ඒ ඒ රාජධානි ආශි‍්‍රත රජ මාළිගා අසල දළදා මාළිගා ඉදිවීම දැකිය හැකි විය. මේ නිසා පොළොන්නරු සමයේ උදාවීමත් සමඟ දළදා වහන්සේ රාජ්‍ය උරුමයේ ප්‍රධාන සංකේතය බවට පත්වූහ. මේ අනුව පොළොන්නරු රාජධානිය ආරම්භ වීමෙන් පසුව දළදා වහන්සේ උදෙසා මහාර්ඝ වූ දළදා මැදුරක් ඉදිකරවා නිරන්තරයෙන් පුද පූජා පැවැත් වූ අයුරු මහා වංශයේ දෙවැනි කොටසේ සඳහන් වේ. මෙකල වටදාගෙය නමින් හැඳින්වෙන්නේ එම දළදා මාළිගය යි. මහවිජයබාහු රජු (ක්‍රි.ව. 1070-1110) චෝල පාලනයෙන් රට මුදවා ගැනීමෙන් පසුව ඒ රජුගේ රාජ්‍ය පාලනය තහවුරු කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුව පොළොන්නරුව අගනගරය කරා ගෙන ආවේය. මෙම ගොඩනැගිල්ල දන්තධාතු මන්දිරය බව හඳුනා ගැනීම එතරම් අපහසු නොවේ. එයට හේතුව රජුගේ මරණයෙන් පසුව පැවති කලබලකාරී යුගයන්හි දී දළදා වහන්සේ ආරක්ෂා කිරීම සඳහා යොදවන ලද වේලයික්කාර භට හමුදාව විසින් කරවන ලද නුදුරෙහි ඇති ද්‍රවිඩ ශිලා ලිපිය ඒ බව හඳුන්වා දෙන බැවිනි. මෙම ගොඩනැගිල්ල අයිතිය රෝහණයේදී ලබාගෙන සිය අගනුවර වූ පොළොන්නරුව කරා නැවත ගෙනැවිත් එහි තැන්පත් කිරීම උදෙසා මහාපරාක්‍රමබාහු රජු විසින් ඉදිකරවන ලදැයි සැලකෙන මුල් මන්දිරය නැවත ප්‍රතිසංස්කරණය කිරීමක් විය හැකි ය. (පොළොන්නරුව –මධ්‍යකාලීන ලක්දිව අගනගරය – මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න. පි.155-156 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. 1998)

විජයබාහු රජු ගෙන් පසුව ලංකාව එක්සේසත් කර පොළොන්නරුවේ රාජධානිය පිහිටුවා ගැනීම සඳහා මහාපරාක්‍රමබාහු රජතුමාට බලවත් සටන් ගණනාවක් කිරීමට සිදුවිය. සතුරන්ට එරෙහිව සටන් කර ජයගත් නමුදු දන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍රා ධාතුව තමාට අයත් කර ගැනීමට පරාක්‍රමබාහු රජුට නොහැකි විය. අවසාන මොහොත දක්වාම මානාභරණ අත්පත් කරගෙන සිටි දළදා වහන්සේ හා පාත්‍රා ධාතුව මානාභරණගේ මරණින් ඔහු සුගලා දේවියට අයිතිය. මෙම අවස්ථාවේ දී මානාභරණ මරණයට පත් වූ නිසා රුහුණේ නායකයෝ පරාක්‍රමබාහු රජුගේ ආධිපත්‍යය නොපිළිගෙන සුගලා දේවියගේ නායකත්වය ඇතිව රෝහණ දේශයේ සිය බලය තහවුරු කර ගැනීමට සටන් වැදුණේ ය. මොවුන් රාජ්‍ය උරුමය සඳහා මෙබඳු ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පරාක්‍රමබාහු රජුගේ බලය ගැන නොදැනීම නිසා නොව රාජ්‍ය බලය ස්ථාවර වීමට අවශ්‍යයෙන් ම තිබිය යුතු දළදා වහන්සේ සුගලාදේවිය සතුව පැවතීම නිසා ය.

පොළොන්නරුවෙන් පසුව රාජධානිය දඹදෙණියට මාරු විය. අගනුවර ම දළදා මාළිගය ඉදිකිරීමේ සිරිත අනුගමනය කරමින් දඹදෙණියෙහි දළදා මාළිගයක් ඉදිකිරීම ප්‍රඥාගෝචර නොවන බව තුන්වන විජයබාහු රජතුමා (ක්‍රි.ව. 1232-1236) කල්පනා කළේ ය. රට රජ සේනා සන්නද්ධ ව සිටි මාඝ රජුගෙන් එල්ලවිය හැකි තර්ජන හේතු කොට ගෙන මායා රටේ පැවති අවිනිශ්චිත දේශපාලන පරිසරය නිසා එසේ සිතීමට දඹදෙණියේ රජ වු තුන්වැනි විජයබාහු රජු පෙළඹුණි. මේ අනුව තුන් වන විජයබාහු රජතුමා දළදා මාළිගය ඉදි කර වූයේ බිල්ලසේල කඳු මුදුනෙහි ය. “බිල්ල සේල” යනු සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වර්තමාන බෙලිගල ලෙස නිසැකව හඳුනා ගෙන ඇත. මේ බව චූලවංශයෙහි සහ පූජාවලියෙහි ද සඳහන් වේ. දඹදෙණියේ රජවරුන් විසින් බෙලිගල ඉදිකරවන ලද ගොඩනැගිලි වල නටබුන් පුරාවිද්‍යා ගවේෂණවලින් හෙළි වී ඇත. මෙහි දළදා මාළිගයක නටබුන් සොයාගෙන තිබේ. (කෑගලු වාර්තාව H.C.P. බෙල් පි.25-8 හා පුරාවිද්‍යා පාලන වාර්තාව ආචාර්ය සෙනරත් පරණවිතාන පි. 14-1946– කොත්මලේ සඟවා තිබූ දන්ත ධාතුන් වහන්සේ නැවත ලබා ගෙන එය තැන්පත් කිරීම සඳහා ඉහත සඳහන් කළ පරිදි බෙලිගල දළදා මාළිගයක් ඉදිකිරීම ගිහි – පැවිදි දෙපක්ෂයේ ම ගෞරවාදරය විජයබාහු රජු වෙත යොමුවීමට හේතු වූ පියවරක් බව නිසැක ය. (මධ්‍යකාලීන ලංකා ඉතිහාසය. මහාචාර්ය අමරදාස ලියනගමගේ පි. 146- අධ්‍යාපන අමාත්‍යාංශය 1989 ) තුන්වන විජයබාහු රජුගෙන් පසුව දඹදෙණියේ රජ වු දෙවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1236-1270 බෙලිගල වැඩහුන් දළදා වහන්සේ දඹදෙණියට වැඩමවා දඹදෙණිය පර්වතය මතුයෙහි දළදා මාළිගාවක් ඉදිකොට එහි තැන්පත් කළේය. අතිශය භක්තිමත් පාලකයෙකු වූ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා සිය රාජධානියෙහි වැදගත් මධ්‍යස්ථානයන්හි වෙහෙර විහාර කරවා ඒ තැන් කරා දළදා වහන්සේ මහ පෙරහරින් වැඩමවා ප්‍රදර්ශනය කිරීම හා පුද පූජා පැවැත්වීම ද කළේ ය. (අපේ සංස්කෘතික උරුමය ප්‍රථම කාණ්ඩය පි. 27-28 මධ්‍යම සංස්කෘතික අරමුදල – 1995)

මෙම ලිපියේ ඉතිරි කොටස නිකිණි අව අටවක (11) පෝදා පත්‍රයේ පළවේ.